සොයන්න
උණුසුම් පුවත්

විදෙස් පුවත්

මධ්‍යම මියන්මාරයේ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 24 දෙනෙකු මරුට

මධ්‍යම මියන්මාරයේ පැවති බෞද්ධ උත්සවයකට එල්ල වූ පැරමෝටර් බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 24 දෙනෙකු මියගොස් තවත් 47 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එරටින් පිටුවහල් කරන ලද එක්සත් ජාතික රජයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, මෙම ප්‍රහාරය සිදුවූයේ තඩින්ග්යුට් බෞද්ධ නිවාඩු උත්සවය පැවැත්වූ අවස්ථාවකදී බවයි. චන්ග් යූ නගරයේදී මෝටර් බලයෙන් ක්‍රියාත්මක වන පැරග්ලයිඩරයක් මගින් බෝම්බ දෙකක් එල්ල කර ඇති අතර, එවිට පුද්ගලයින් සියයකට ආසන්න පිරිසක් රැස්ව සිටි බව ද වාර්තා වේ.

මියන්මාරයේ හමුදා ජුන්ටාවට එරෙහිව පැවැත්වූ ඉටිපන්දම් දැල්වීමේ විරෝධතාවයකට සමගම මෙම ප්‍රහාරය සිදුවී ඇත. 2021 දී හමුදා කුමන්ත්‍රණයකින් පසුව රටේ බලය අල්ලා ගත් ජුන්ටාවට එරෙහිව පසුගිය වසර කිහිපය තිස්සේ විරෝධතා පවත්වාගෙන යනු ලබයි.

ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනය ප්‍රකාශ කළේ, පසුගිය කාලය තුළ ජුන්ටාව විසින් මෝටර් බලයෙන් ක්‍රියාත්මක වන පැරග්ලයිඩර් යානා භාවිතා කරමින් ප්‍රජාවන්ට පහර දීම කනස්සල්ල දනවන බවයි.

අදාළ ප්‍රහාරය මියන්මාරයේ සිවිල් වැසියන්ට එරෙහිව සිදුකළ අති බරපතළ තර්ජනයක් ලෙසට විචාරකයන් සඳහන් කරති. එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන පරිදි, 2021 සිට මේ දක්වා සිවිල් ගැටුම්වලදී මියන්මාරය තුළ පුද්ගලයින් 5,000කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇත.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණය නිදහස් හා සාධාරණ නොවන බව විචාරකයින් පවසන අතර, එය ජුන්ටාවට බලය තවදුරටත් පවත්වා ගැනීමට ඉඩ සලසනු ඇති බවත් ඔවුන් අවධාරණය කරති.

Tags