සොයන්න
උණුසුම් පුවත්

විදෙස් පුවත්

Binanceහි ප්‍රධාන විධායක නිලධාරී Changpeng Zhao මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් සිය වරද පිළිගනී

ලොව විශාලතම ක්‍රිප්ටෝකරන්සි (Crypto Currency) හුවමාරුව වන Binanceහි ප්‍රධාන විධායක නිලධාරියා මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් සිය​ වරද පිළිගෙන තිබේ. බිලියනපතියෙකු වන Changpeng Zhao විසින් මෙසේ ඉකුත් අගහරුවාදා දින ඔහු වෙත එල්ල වූ ෆෙඩරල් චෝදනා සම්බන්ධයෙන් වරද පිළිගෙන ඇති අතර; ඔහුගේ මෙම Binance යෙදුම ලොව පුරා විශාල පිරිසක් ආයෝජනයන් වශයෙන් මෙන්ම​ ක්‍රිප්ටෝ හුවමාරු හරහා ලාබ ඉපැයීමේ තෝතැන්නක් වශයෙන් ද​ පවත්වාගෙන ගිය බව නොරහසකි.

නීතී විරෝධී ලෙස මෙන්ම ක්‍රිප්ටෝ සඳහා පදනමක් නොමැති බවට වර නැගුණු සමයක ඒ සඳහා යම් විශ්වසනීයත්වයක් ඇති කරනු ලැබුවේ බයිනෑන්ස් මෘදුකාංගය හරහාය​. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර ඇති පරිදි ෆෙඩරල් ආණ්ඩුව විසින් සිදු කර තිබෙන සම්බන්ධීකරණය යටතේ Binance ඩොලර් බිලියන 4 කට වැඩි මුදලක් දඩ මුදල් සහ අනෙකුත් ගෙවීම් (Penalty Charges) සඳහා යොමු කිරීමට ද​ එකඟ වී ඇත.

Crypto ක්‍ෂේත්‍රය තුල​ දැවැන්ත චරිතයක් වූ Zhao, ඔහු විසින් ආරම්භ කරන ලද මෙම සුවිසල් හුවමාරුවෙහි ප්‍රධාන විධායක නිලධාරී තනතුරෙන් ඉවත් වීමට එකඟ වී ඇති අතරම​, ඩොලර් මිලියන 200 ක දඩ මුදලක් පුද්ගලිකව ඔහුට ගෙවීමට ද​ නියමිතව ඇත​. ලොව විශාලතම ක්‍රිප්ටෝ කරන්සි හුවමාරුව වන බයිනෑන්ස් හරහා සිදුකරන ලද මූල්‍යමය සම්බාධක උල්ලංඝනය කිරීම් වශයෙන් ගත්කල මුදල් විශුද්ධිකරණය, බලපත්‍ර රහිත මුදල් සම්ප්‍රේෂණය වැනි චෝදනා ගත හැකි අතර ඒවායේ නිරත වූ බවට පිළිගැනීමට ඉහළ පෙළ නිලධාරීන්ට සිදුව ඇතැයි ද වාර්තාවන් හි සඳහන් ය​. එක්සත් ජනපද නිලධාරීන් විස්තර කර ඇති පරිදි ආයතනික මට්ටමින් විශාලතම අපරාධ චෝදනා විධායක නිලධාරියෙකු වෙතට එල්ල වූ අවස්ථාව වශයෙන් ද​ මෙය සැලකීමට පුළුවන​. 

වසර ගණනාවක විමර්ශණවල අධ්‍යයනයන්ගෙන් පසුව, බලධාරීන්හට සනාථ වී ඇති සහ ඔවුන් විසින් චෝදනා කරන පරිදි විවිධ විෂමාචාරයන්හි නිරතවන පුද්ගලයින් සඳහා නිදහසේ සිය මූල්‍යමය ගණුදෙනු සිදුකරගෙන යෑමේ අවස්ථාව Binance විසින් සලසා දී ඇත​. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන පරිදි ළමා ලිංගික අපචාර සහ මත්ද්‍රව්‍ය ජාවාරම් වලට අදාළ මූල්‍යමය හුවමාරුවල සිට ISIS, අල්කයිඩා සහ හමාස් වැනි ත්‍රස්තවාදී කණ්ඩායම් සඳහා අවශ්‍ය මූල්‍යකරණයන් සිදු කිරීමට අවශ්‍ය​ සක්‍රීය කිරීම වැනි පුළුල් පරාසයක අවකාශයක් මෙම හුවමාරුව හරහා සැලසී ඇත​.​

ඩොලර් බිලියන 23කට වඩා වැඩි ධනස්කන්ධයක් උපයාගෙන ඇති Zhao, ඵලදායී මුදල් විශුද්ධිකරණයට එරෙහි වැඩසටහනක් පවත්වාගෙන යාමට අපොහොසත් වීම සම්බන්ධයෙන් අවසනදී වරදකරු බවට පත්වීය​. FTX සම-නිර්මාතෘ Sam Bankman-Fried ගේ මෑත කාලීන වැරදිවලට ඉහල තලයකින් Binance නිර්මාතෘවරයාගේ චෝදනා භාර ගැනීම සනිටුහන් වනු ඇති බවටද​ එක්සත් ජනපද බලධාරීන් විසින් අපේක්‍ෂා කරමින් සිටියි. එමෙන්ම​ crypto කර්මාන්තය පුරා විසිරී සිටින විවිධ අකටයුතුකම් හරහා උපයා ගත් විශාල ධනස්කන්ධයන් විවිධාකාරයෙන් යෙදවීමේ නිරතවන පුද්ගලයන් හට ද මෙම තත්ත්වය පැහැදිලි පණිවිඩයක් යොමු කරනු ඇති බව ඔවුන්ගේ අදහසයි.

නීතිපති Merrick Garland නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනුයේ“Binance ලොව විශාලතම cryptocurrency හුවමාරුව බවට පත් වූයේ එය සිදු කරන ලද අපරාධයන් නිසාය. මේ වන විට එය එක්සත් ජනපද ඉතිහාසයේ විශාලතම ආයතනික මට්ටමේ දඩ මුදලක් සහ චෝදනා ගාස්තූන් ගෙවමින් සිටියි.” වශයෙනි.

Zhao හ​ට උපරිම වශයෙන් වසර 10 ක සිර දඬුවමකට මුහුණ දීමට සිදු විය හැකි නමුත්, ඔහුගේ අවසානාත්මක දඬුවම බොහෝ දුරට කාල සීමාව අඩු එකක් වනු ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත​. ෆෙඩරල් මාර්ගෝපදේශ මගින් Zhaoට මාස 18 ක් පමණ විය හැකි දඬුවමක ඉහළ අවසානයක් තැබිය හැකි බව අනුමාන කර ඇති අතර​, දඬුවම් නියම කිරීමේ අවසානාත්මක තීරණය විනිශ්චයකරුවෙකු සතුය​. අභියාචනා ගිවිසුමට අනුව, Zhao ඩොලර් මිලියන 50 ක දඩයක් ගෙවිය යුතු බවට නඩු පවරන්නන්ගේ නිර්දේශය සඳහා ද​ එකඟ වි ඇත​. සාපරාධී චෝදනා සඳහා දඩ මුදල් ගෙවීමට අමතරව​,  Commodity Futures Trading Commission මගින් පමුණුවා ඇති පරිදි ඩොලර් මිලියන 150ක මුදලක් සිවිල් ගාස්තු වශයෙන් ද ඔහුට ගෙවීමට සිදුවනු ඇත​.

යෝජිත එකඟතා නියෝගය ප්‍රකාරව​ Binance විසින් ඩොලර් බිලියන 1.35 ක අයථා ලාභ ඉපැයීම නිසාවෙන් CFTC වෙත ඩොලර් බිලියන 1.35ක​ සිවිල් මුල්‍ය දඩයක් ගෙවීමට අවශ්‍ය බවද වැඩිදුරටත් සඳහන් කර ඇත​. Binance 2017 දී කැනේඩියානු ජාතිකයෙකු වන Zhao විසින් ආරම්භ කරන ලද අතර​, එක්සත් ජනපද වෙළඳපල නියාමකයින් විසින් මෙම වසරේ Binance සමාගම​ට එරෙහිව සිවිල් නඩු ගොනු කරන ලදී. ඔවුන්ගේ චෝදනාව වූයේ එක්සත් ජනපදය තුල ලියාපදිංචි නොකළ සුරැකුම්පත් සඳහා නීති විරෝධී හුවමාරුවක් Binance විසින් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ය​.

 

Tags