විදෙස් පුවත්
ප්‍රංශයේ අයිෆල් කුළුණ සංචාරකයන්ට තාවකාලිකව වැසෙයි
ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි අයිෆල් කුළුණ සංචාරකයින්ට තාවකාලිකව වසා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අයිෆල් කුළුණේ සේවකයින් වැඩ වර්ජනයක් දියත් කිරීම හේතුවෙනුයි.
එම නිසා ලොව වැඩිම සංචාරක ආකර්ශණයක් දිනාගත්තා වූ අයිෆල් කුළුණ ඊයේ (19) සිට තාවකාලිකව වසා දමා තිබෙනවා. ලබන ජුලි 26 වන දා පැරිස් නුවරදී ආරම්භ වීමට නියමිත ඔලිම්පික් උළෙල නිමිත්තෙන් මේ දිනවල අයිෆල් කුළුණේ අළුත්වැඩියා කටයුතු ද සිදු කෙරෙමින් පවතිනවා. සේවක වෘත්තීය සමිති සඳහන් කර සිටින්නේ අයිෆල් කුළුණ අධීක්ෂණය කරනු ලබන සමාගමෙන් 99%කට හිමිකම් කියනු ලබන පැරිස් නගර ශාලාව එම අළුත්වැඩියා කටයුතු සඳහා ලබාදෙන මුදල ප්‍රමාණවත් නොවන බවයි. ඔවුන් පෙන්වා දෙන්නේ මෙම තත්ත්වය හේතුවෙන් නඩත්තු කටයුතු ද අඩාල විය හැකි බවයි.
එම සේවකයින් උක්ත කරුණ සම්බන්ධයෙන් මෙම වසර තුලදී වැඩ වර්ජනයේ නිරත වන දෙවන අවස්ථාව මෙයයි. වර්ජනය නිසාවෙන් අයිෆල් කුළුණ නැරඹීමට පැමිණ සිටින දෙස් විදෙස් සංචාරකයින් දැඩි අපහසුතාවයකට පත්ව තිබෙන බව ද විදෙස් මාධ්‍ය වාර්තාවන් සඳහන් කරනවා. වර්ජනයේ ප්‍රකාශකයින් මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ මෙය දින කිහිපයක් දක්වාම දීර්ඝ වනු ඇති බවයි. ඒ හේතුවෙන් ප්‍රංශයේ පැරිස් නගරයේ වෙළඳ කටයුතු සඳහා ද දැඩි බාධාවන් මතුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවන්හි සඳහන්.