සොයන්න
උණුසුම් පුවත්

විදෙස් පුවත්

ඉක්වදෝරයේ ජනාධිපති අපේක්‍ෂකයෙකු වෙඩි පහරකින් ජීවිතක්‍ෂයට​!

දූෂණයට, මත්ද්‍රව්‍ය මාෆියාවට එරෙහිව දැඩිව හඩ නැගූ සහ ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකු වශයෙන් ද කටයුතු කල ඉක්වදෝර ජනාධිපති අපේක්‍ෂක ෆර්නැන්ඩෝ විලවිසෙන්සියෝ (Fernando Villavicencio) බදාදා දින ඔහුගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු අතරතුරදී වෙඩි තබා ඝාතනය කර තිබේ.

මිය යන විට 59 හැවිරිදි වියේ පසුවූ ඔහු එරට ජාතික සභාවේ නීති සම්පාදකයෙකු වශයෙන් ද කටයුතු කර ඇත​. ඉක්වදෝරය තුළ පවතින දූෂිත ක්‍රමවේදයත් මත්ද්‍රව්‍ය ජාවාරම් හේතුවෙන් ඇතිව තිබෙන ප්‍රචණ්ඩත්වයත් පිළිබඳ ඔහු විසින් විවෘතව අදහස් ප්‍රකාශ කර ඇති අතර තම රට “මත්ද්‍රව්‍ය රාජ්‍යයක්” බවට පත්වීම වැළැක්වීමටත් පවතින “දේශපාලන මාෆියාව“ට එරෙහිව​ සටන් දියත් කිරීමටත් ඔහු විසින් යෝජනා කර ඇත​.

ඉහත සඳහන් ප්‍රකාශයන් මෙන්ම මීට පෙර ඔහු විසින් සිදු කර ඇති කාර්‍යභාරයත්; අනාගත දේශපාලන පොරොන්දුත් හේතු කොට ඔහු වටා බලවත් සතුරන් ප්‍රමාණයක් නිර්මාණය වී තිබී ඇත​. Fernando Villavicencio මහතා මීට පෙර අවස්ථා කීපයකදීද තමාට අපරාධ කණ්ඩායම් වලින් මරණ තර්ජන එල්ල වී ඇති බව අවධාරණය කර ඇත​.

තම මැතිවරණ ප්‍රචාරණයන් තුළින් ඔහු පොරොන්දු වී ඇත්තේ ඉක්වදෝරය ග්‍රහණය කරගනිමින් තිබෙන මාරාන්තික ප්‍රචණ්ඩත්වය, අපරාධ සහ දූෂණ මර්දනය කිරීමට තමා හැකි උපරිම ශක්ති ප්‍රමාණයෙන් කටයුතු කරන බවයි. කෙසේ වෙතත්, දූෂණ විරෝධී උත්සාහයන් සඳහා දිගු කලක් තිස්සේ ප්‍රසිද්ධ වී සිටි ඔහු මේ වන විට සදහටම නිහඩ වී අවසන් ය​.

නීති සම්පාදකයෙකු වන Cléver Jiménez ගේ උපදේශකයෙකු ලෙස සේවය කරමින් සිටින අතරවාරයේ, 2009 දී සිය දේශපාලන ජීවිතය ආරම්භ කල Fernando Villavicencio 2021 දී තමා විසින්ම මැතිවරණයට ඉදිරිපත්ව ජාතික සභාවට තේරී පත්වී මේ වසරේ මැයි මස​ දක්වා සිය සේවයද අකුරටම ඉටු කර ඇති බව වාර්තාවන්හි වැඩිදුරටත් දැක්වේ.

Tags