විදෙස් පුවත්
ධාරාණිපාත වර්ෂාවෙන් උතුරු ඉන්දියාවට දැඩි බලපෑම්!
උතුරු ඉන්දියාවට මේ වන විට බලපා ඇති මෝසම් තත්වය හේතුවෙන් අධික වර්ෂාවක් පසුගිය දින කිහිපය පුරාවට ඇද හැලුණු අතර, එම නිසා හිමාචල් ප්‍රදේශ් සහ උත්තරාකන්ද් යන ප්‍රාන්තවල නායයාමේ සහ හදිසි ගංවතුර තත්වයක් ඇතිව තිබේ. අයහපත් කාලගුණ තත්වය හමුවේ මියගොස් ඇති පිරිස හැටකට අධික බව විදෙස් මාධ්‍ය වාර්තාවන්හි වැඩිදුරටත් දැක්වේ.
බොහෝ මරණ ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ හිමාචල් ප්‍රදේශ් හි වන අතර සෙනසුරාදා දින සිට මේ දක්වා එම ප්‍රාන්තයෙන් වාර්තා වී ඇති පුද්ගල මරණ ගණන 55කි. එරට ජනප්‍රිය සංචාරක ප්‍රදේශයක් වන ෂිම්ලා ප්‍රාන්ත අගනුවර හින්දු විහාරස්ථානයක් ගංවතුර තත්වයත් සමග ඇතිවූ නායයාමක් හේතුවෙන් කඩා වැටීමෙන් මියගිය සංඛ්‍යාවද පුද්ගලයින් නව දෙනෙකු බව ප්‍රාන්ත මහ ඇමතිවරයා වන Sukhvinder Singh Sukhu සඳුදා දින X (Twitter) පණිවුඩයක් මගින් දක්වා තිබේ.
කඩාවැටුණු හින්දු විහාරස්ථානය තුල සිරව සිටි පුද්ගලයන් 5 දෙනෙකු බේරාගැනීමට ප්‍රාදේශීය පරිපාලකයන් සමත් වී ඇති අතරම තවත් 20-25 අතර ප්‍රමාණයක් සිරවී සිටින බවත්, මුදාගැනීමේ ප්රයත්නයන් අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් පවතින බවත් ඔහු විසින් සඳුදා (14) ඉන්දීය මාධ්‍ය වෙත සඳහන් කර ඇත.