සොයන්න
උණුසුම් පුවත්

විදෙස් පුවත්

ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම උදෙසා සෙනගල් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක්

බටහිර අප්‍රිකාවේ ඉහළම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය ලෙස විරුදාවලිය ලැබූ සෙනගල් රාජ්‍යයේ වත්මන් ජනාධිපති මැකී සෝල් පසුගියදා නියෝගයක් නිකුත් කරමින් සඳහන් කලේ ජනාධිපතිවරණය ලබන දෙසැම්බර් මස 15 වනදා දක්වා කල් තබන බවයි. ඊට අදාළව ජනාධිපතිවරයාට සහාය පළ කරන මන්ත්‍රීවරුන්ගේ දායකත්වයෙන් එරට පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් පනතක් ද සම්මත කර ඇති බවට සඳහන්. මේ සඳහා මන්ත්‍රීවරුන් 165 දෙනෙකුගෙන් 105කගේ සහය හිමිව ඇති අතර​, ජනාධිපතිවරණය කල් තැබීම හේතුවෙන් රට පුරා විරාධතාවයන් ඇති වුණා.

ජනාධිපතිවරයා සඳහන් කරනු ලැබුවේ විපක්‍ෂ අපේක්‍ෂකයින්ගේ සුදුසුකම් පිළිබඳව මතුව ඇති ගැටළු හේතුවෙන් මෙසේ මැතිවරණය කල් තබන බවයි. නමුත් පාර්ශව ගණනාවක් මෙම තීරණය එරට අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කරනු ලැබුවා. ඒ අනුව අදාළ ජනාධිපති නියෝගය සහ පාර්ලිමේන්තු පනත වහාම ක්‍රියාත්මක වන පරිදි බල රහිත කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා. ඒ අනුව අපේක්‍ෂිත පරිදි පෙබරවාරි මස 25 වන දා ජනාධිපතිවරණය පැවැත්වීමට කාලය ප්‍රමාණවත් නොවන නමුත් එය හැකි ඉක්මනින් සංවිධානය කල යුතු බවටද අධිකරණ නියෝගයේ වැඩිදුරටත් සඳහන්.

වත්මන් ජනාධිපතිවරයා වන මැකී සෝල්ගේ නිල කාලය ලබන අප්‍රේල් මස 02 වනදායින් අවසන් වීමට නියමිතයි. සෙනගල් රාජ්‍යය කලාපයේ වඩාත්ම ස්ථාවර සහ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් ලෙස සැලකෙන අතර​, බටහිර අප්‍රිකාවේ හමුදා කුමන්ත්‍රණයක් සිදු නොවූ එකම රට වන්නේ ද එයයි. මීට පෙර රට තුල සාමකාමීව බලය පැවරීම් තුනක් සිදුව ඇති අතර මෙම සිදුවීම දක්වාම ජනාධිපතිවරණයක් ප්‍රමාද වී නැත​. ප්‍රජාතන්ත්‍රවාදී ගති ලක්‍ෂණ ගිලිහෙමින් පවතින යුගයක සෙනගල් රාජ්‍යයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් මෙම තීන්දුව පැසසීමට ලක්කල යුතුමය​.

 

Tags