විදෙස් පුවත්
සීනි බදු වංචාවට එරෙහි විමර්ශන අවසන් වෙයි
2020 වසරේ ඔක්තෝම්බර් මස සිනි සඳහා පනවා තිබූ රුපියල් 50ක බද්ද ශත 25 දක්වා අඩු කිරීමේ සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනවලදී කිසිඳු අපරාධමය වරදක් අනාවරණය වී නොමැති බව නීතිපතිවරයා විසින් උපදෙස් ලබාදී ඇති බව නීතිපතිවරයා විසින් උපදෙස් ලබා දී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා.
මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල පසුගිය 12 වනදා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ දී මෙම දැනුම් දීම සිදුකරනු ලැබුවා.
මේ අනුව ඊට අදාළ විමර්ශන කටයුතු අවසන් කිරීමට අවසර දුන් මහේස්ත්‍රාත්වරයා මෙම සිද්ධියේ දී යම් දූෂණයක් හෝ අල්ලසක් පිළිබඳව කරුණු අනාවරණය වුයේ නම් මෙම නඩු ගොනුව අදාළ ආයතන වෙත යොමු කර විමර්ශන සිදු කිරීමට හැකියාව තිබෙන බව සඳහන් කර සිටියා.
2020 වසරේ ඔක්තෝබර් මස 13 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සීනි සඳහා පනවා තිබූ රුපියල් 50ක බද්ද ශත 25ක් දක්වා අඩු කිරීමට රජය ගනු ලැබූ තීරණය තුළින් රජයට පාඩුවක් සිදුව ඇත්දැයි සොයා බැලීම සඳහා විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලා පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.
සීනි බද්ද අඩු කිරීමේ තීරණය තුළින් රජයට රුපියල් කෝටි 1600 කට අධික පාඩුවක් සහ බද්ද අඩු කිරීමේ වාසිය ජනතාවට හිමි නොවී මහා සීනි බදු වංචාවක් සිදුවූ බවට එම සමයේ දී විවිධ පාර්ශව විසින් චෝදනා එල්ල කර තිබුණා.
ඉන්පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊට අදාළ විමර්ශන පවත්වා සියලු උදෘත නීතිපති දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළා.
ඒවා අධ්‍යයනය කිරීමෙන් පසුව නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු වෙත දැනුම් දී තිබුණේ මෙම විමර්ශන තුළින් අපරාධමය වරදක් උද්ගත නොවන බවයි.
සීනි බදු අඩු කිරීම තුළින් යම් පාර්ශවයකට හෝ පුද්ගලයෙකුට අයුතු ලාභයක් ලැබී දූෂණයමය වරදක් සිදුවී තිබේද යන්න සම්බන්ධව සොයා බැලීමට හා සීනි බදු අඩු කිරීම තුළින් අල්ලසක් හෝ වෙනත් ගණුදෙනුවක් සිදුවී ඇද්ද යන්න සම්බන්ධව තවදුරටත් විමර්ශනය කර අනාවරණය කරගත යුතු බවටද නීතිපතිවරයා වැඩිදුරටත් උපදෙස් ලබාදී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට ඉදිරිපත් කළ කරුණුවල සඳහන් වෙයි.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත්වරයා සීනි බදු අඩුකිරීමේ ක්‍රියාවලියට අදාළව සිදුකෙරුණු විමර්ශන වාර්තා තවදුරටත් විමර්ශනය කර වරදකරුවන් අනාවරණය කර ගැනීම සඳහා අවශ්‍ය නම් නඩු ගොනුව අදාළ ආයතනවලට යොමු කළ හැකි බවද නියෝග කර තිබෙනවා.
