විදෙස් පුවත්
ඉරානයට සහ ඊශ්‍රායලයට ට්‍රම්ප් ගෙන ආ සටන් විරාමය ගැන ඉරානයේ මතය කියයි
ඉරානය සහ ඊශ්‍රායලය අතර පුර්ණ සටන් විරාමයක් සඳහා එකඟ වී ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.
සිය සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇති බව සඳහන්.
මෙහිදී ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ ඉදිරි පැය 6ක කාලය තුළ එම සටන් විරාමය ආරම්භ වනු ඇති බවයි.
මැදපෙරදිග යුද්ධය ඉදිරි පැය 24 තුළ නිල වශයෙන් අවසන් බවද ඔහු පවසනවා.
තම සමාජ මාධ්‍ය සටහනේ අවසානයේ “දෙවි පිහිටයි ඉරානය, දෙවි පිහිටයි මැදපෙරදිග, දෙවි පිහිටයි අමෙරිකාව සහ දෙවි පිහිටයි ලෝකය” යනුවෙන් අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.
මේ අතර කිසිඳු සටන් විරාමයක් හෝ හමුදා මෙහෙයුම් නැවැත්වීමේ තීරණයක් සම්බන්ධයෙන් වූ ගිවිසුමක් ගෙන නොමැති බව ඉරානය පවසනවා.
සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි මේ බව සඳහන් කර තිබෙනවා.
එහිදී ඔහු පවසා ඇත්තේ ඊශ්‍රායල ප්‍රහාර නවත්වන්නේ නම් ඉරානයට ද ඒ පිළිබඳ එකඟතාවයකට පැමිණිය හැකි බවයි.
ඊට අමතරව ඊශ්‍රායල ප්‍රහාර හමුවේ සිය හමුදා මෙහෙයුම් අවසන් මිනිත්තුව දක්වා සිදු කරන බවද ඉරාන විදේශ අමාත්‍යවරයා පවසනවා.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි කියා සිටින්නේ සියලු ඉරාන වැසියන් සමග එක්ව රට ආරක්ෂා කිරීමට අවසන් ලේ බිංදුව දක්වා සුදානමින් සිටින සතුරාගේ ඕනෑම ප්‍රහාරයකට ප්‍රතිචාර දැක්වීමට නිර්භීතව ඉදිරිපත්ව සිටින සන්නද්ධ හමුදාවන්ට තම ස්තූතිය පිරිනමන බවයි.
