විදෙස් පුවත්
අයර්ලන්තය විසින් එදාමෙදා තුර සිදු කරන ලද විශාලතම මත්ද්‍රව්‍ය වැටළීම.

අයර්ලන්ත ඉතිහාසයේ මෙතෙක් සිදුවූ විශාලතම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගැනීම ඉකුත් අඟහරුවාදා Cork වෙරළට ඔබ්බෙන් සිදුකරන ලද බව එරට පොලීසිය විසින් විදෙස් මාධ්‍ය වෙතට අනාවරණය කොට තිබේ. අත්අඩංගුවට ගෙන ඇති යාත්‍රාව “MV Matthew” යනුවෙන් හඳුන්වනු ලබන අතර එය ගමන් ආරම්භ කර ඇත්තේ දකුණු ඇමරිකාවේ සිට බවට මේ වන විට තොරතුරු අනාවරණය වී ඇත. යාත්‍රාව තුල තිබී කොකේන් කිලෝග්‍රෑම් 2253ක ප්‍රමාණයක් සොයාගෙන ඇති අතර ඒවායේ මුළු වටිනාකම යුරෝ මිලියන 157ක් (ඩොලර් මිලියන 165ක්) පමණ වන බවට සඳහන් ය.
අවුරුදු 31, 50 සහ 60 යන වයස්වල පසුවන පුද්ගලයන් තිදෙනෙකු මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන ඇති අතර සංවිධානාත්මක අපරාධ චෝදනා යටතේ එම පිරිස වැඩිදුර ප්‍රශ්ණ කිරීම සඳහා Wexford ප්‍රාන්තයේ Garda පොලිස් ස්ථානය වෙතට යොමුකර ඇත. විමර්‍ෂණ නිලධාරීන් විසින් කරුණු දක්වා සිටින්නේ මෙම මත්ද්‍රව්‍ය තොග අයර්ලන්තය, එක්සත් රාජධානිය සහ යුරෝපයේ වෙසෙන අපරාධ කල්ලි අතට පත්කිරීම අරමුණු කරගනිමින් යොමුකරන්නට ඇති බවටය.
එරට ආරක්‍ෂක හමුදාව විසින් හෙලිකොප්ටර් යොදාගනිමින් දැවැන්ත පරිශ්‍රමයක් දරා නෞකාව සිය භාරයට ගෙන ඇත. X (Twitter) හරහා හුවමාරු වී තිබූ වීඩියෝවක දැක්වෙන පරිදි අභියෝගාත්මක කාලගුණික තත්ත්වයන් මධ්‍යයේ වුවද ඔවුහු සාර්ථකව මෙම මෙහෙයුම දියත් කොට ඇත. එරට බුද්ධි අංශ සහ ලිස්බන්හි පිහිටි මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වන සමුද්‍රීය විශ්ලේෂණ සහ මෙහෙයුම් මධ්‍යස්ථානය විසින් සහයෝගීතාවයෙන් යුක්තව මෙම මෙහෙයුම දියත්කර ඇති බවට මාධ්‍ය වාර්තාවන්හි වැඩිදුරටත් සඳහන් වේ.