විදෙස් පුවත්
60 දෙනෙකුට මරු කැඳවූ රුසියාවේ මොස්කව්හි පිහිටි ප්‍රසංග ශාලාවකට එල්ල වූ ප්‍රහාරයේ වගකීම ISIS විසින් භාරගනී. (Video)

පසුගිය සිකුරාදා (22) මොස්කව් අගනුවරට ආසන්නයේ පිහිටි ජනප්‍රිය ප්‍රසංග ශාලා සංකීර්ණයක් වෙතට කඩා වැදුණු සන්නන්ධ පිරිසක් විසින් එල්ල කරන ලද ප්‍රහාරයෙන් මේ වන විට වාර්තා වන තොරතුරු අනුව පුද්ගලයින් 60 දෙනෙකු මිය ගොස් 145 දෙනෙකුට පමණ තුවාල සිදුවී තිබෙනවා. CCTV දර්ශණ වල පටිගත වී ඇති ආකාරයට මෙම ප්‍රහාරකයින් ස්වයංක්‍රීය ගිනි අවි සහ පුපුරණ ද්‍රව්‍ය රැගෙන එම ස්ථානයට ඇතුළු වී සිවිල් වැසියන් වෙත වෙඩි ප්‍රහාරයන් එල්ල කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන පරිදි ප්‍රහාරයෙන් පසු එහි වගකීම ISIS සංවිධානය විසින් භාරගෙන තිබෙනවා.
ISIS අනුබද්ධ ප්‍රවෘත්ති ඒජන්සියක් වන Amaq විසින් සිකුරාදා ටෙලිග්‍රෑම් හි ප්‍රකාශයට පත් කරන ලද කෙටි ප්‍රකාශයක ත්‍රස්ත කණ්ඩායම ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇතැයි සඳහන් කර ඇති නමුත් එම කරුණ සනාථ වන පරිදි කිසිදු සාක්‍ෂි සැපයීමක් සිදුකර නොමැත. ප්‍රහාරය ඇසින් දුටු සාක්‍ෂිකරුවන් සඳහන් කර සිටින්නේ බෝම්බ ප්‍රහාරයන් එල්ල කරමින් ස්වයංක්‍රීය ගිනි අවි වලින් නිරායුධ පිරිස් ඉලක්ක කොට වෙඩි තබන ලද එක් කොටසක් ප්‍රහාරයෙන් අනතුරුව Renault වර්ගයේ කාර් රථයක නැගී පලා ගිය බවයි.
රුසියානු රාජ්‍ය මාධ්‍යයන් වාර්තා කර ඇති ආකාරයට මෙම ප්‍රහාරය එල්ල වූ ප්‍රසංග ශාලාවේ වහලය අර්ධ වශයෙන් සම්පූර්ණයෙන්ම පාහේ කඩා වැටීමට ද ලක්ව තිබෙනවා. ගින්න යම් තරමකට පාලනය කර ගැනීම සඳහා බලධාරීන් හට පැය හයකට ආසන්න කාලයක් ගතවී ඇති අතර, වාර්තාව තබන අවස්ථාව වන විට දී එය සම්පූර්ණයෙන් මැඩ පැවැත්වීමට අපොහොසත්ව තිබෙනවා. දශක ගණනාවකට පසු මොස්කව් නුවර වෙත එල්ල වූ මාරාන්තිකම ත්‍රස්ත ප්‍රහාරය වශයෙන් මෙය සැලකිය හැකි අතර, එය එල්ල වූයේ ජනාධිපති ව්ලැඩිමීර් පුටින් තවත් ධුර කාලයක් සඳහා මැතිවරණයෙන් අතිමහත් බහුතරයකින් ජයග්‍රහණය කර සතියකටත් අඩු කාලයක වීම ද සඳහන් කල යුතු කරුණක්.