සොයන්න
උණුසුම් පුවත්

විදෙස් පුවත්

ජපානයේ අග්‍රාමාත්‍ය තරඟය උණුසුම් වෙයි

ජපාන අග්‍රාමාත්‍ය ෂිගෙරු ඉෂිබා මහතා 2025 සැප්තැම්බර් 7 දින ධුරයෙන් ඉල්ලා අස්වූ පසු, රටේ පාලක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (LDP) නව නායකයෙකු තෝරාගැනීම සඳහා ඔක්තෝබර් 4 දින මැතිවරණයකට සූදානම් වෙයි. ජපානයේ දේශපාලන සම්ප්‍රදානයට අනුව, පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමි පක්ෂයේ නායකයා අග්‍රාමාත්‍ය ධුරයට පත්වන බැවින්, මෙම තරඟය ජාතික වශයෙන්ම ඉතා වැදගත් වේ.

අග්‍රාමාත්‍ය ධුරය සඳහා අපේක්ෂකයින් පස් දෙනෙකු නාමයෝජනා වී ඇති අතර, ප්‍රධාන තරඟය දෙදෙනා අතර සීමා වෙයි. හිටපු ආර්ථික ආරක්ෂක අමාත්‍ය සනායි තකයිචි 34.4% ක සහාය ලබා ගනිමින් පෙරමුණේ පසුවේ. ඇය ජයගත්තහොත්, ජපානයේ පළමු කාන්තා අග්‍රාමාත්‍යවරිය ලෙස ඉතිහාසය රචනා කරයි.

ඇය සමග දැඩි තරඟයේ නිරතවන්නේ කෘෂිකර්ම අමාත්‍ය ශින්ජිරෝ කොයිසුමි වන අතර, ඔහුට 29.3% ක සහය හිමිවී ඇත. කොයිසුමි ජයගත්තහොත්, 45 හැවිරිදි වියේදී ජපානයේ ලාබාලතම අග්‍රාමාත්‍යවරයා බවට පත්වනු ඇත.

ඉෂිබා මහතාගේ ඉල්ලා අස්වීමට හේතු වූයේ පක්ෂය අඛණ්ඩව විපක්ෂයට පරාජය වූ මැතිවරණයයි. 2024 ඔක්තෝබර් මස පැවති පහළ මන්ත්‍රී මණ්ඩල මැතිවරණය සහ 2025 ජූලි මස පැවති ඉහළ මන්ත්‍රී මණ්ඩල මැතිවරණය තුළ LDP පක්ෂය බහුතර බලය අහිමි වීමේදී පක්ෂය තුළින් දැඩි විවේචනයක් එල්ල විය.

දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ, අබේ යුගයෙන් පසුව LDP පක්ෂය ක්‍රමයෙන් දුර්වල වී ඇති බවයි. අරමුදල් වංචා, අබේ ඝාතනයෙන් පසු එළියට ආ විවාදස්පද ආගමික සබඳතා, සහ ජනතාව අතර ඇති වූ අප්‍රසාදය මත විපක්ෂය ශක්තිමත් වී ඇති බවද සලකා බලයි.

ආර්ථික අර්බුද — උද්ධමනය, සහල් මිල ඉහළ යාම, යෙන් මුදල් ඒකකය දුර්වල වීම — ජනතාවගේ අප්‍රසාදය තවදුරටත් ගැඹුරු කර ඇත. මේ හේතුවෙන් තරුණ ඡන්දය ‘ජපානයට ප්‍රමුඛත්වය’ වැනි දක්ෂිණාංශික පක්ෂ වෙත මාරු වී ඇති බව පෙන්වා දෙයි.

ඉදිරියේදී, ඔක්තෝබර් 4 නායකත්ව මැතිවරණයෙන් තෝරාගන්නා නායකයා ජපානයේ නව අග්‍රාමාත්‍යවරයා බවට පත්වන අතර, LDP පක්ෂය නැවත ශක්තිමත් කරනවාද නැතිනම් විපක්ෂයට තවත් බලගැන්වීමක් දෙනවාද යන්න තීරණය කරනු ඇත.

Tags