සොයන්න
උණුසුම් පුවත්

විදෙස් පුවත්

සිය දරු දෙදෙනා ඝාතනය කල පියෙකුට සහ අනියම් පෙම්වතියට​ මරණ දඩුවම​

වත්මන් පෙම්වතිය සමග එක්ව තමාගේ පෙර විවාහයේ දරුවන් දෙදෙනා ඝාතනය කල චීන ජාතිකයෙකුට සහ ඔහුගේ පෙම්වතියට මරණ දණ්ඩනය ලබා දුන් පුවතක් විදෙස් මාධ්‍යයන් වාර්තා කරනවා. Zhang Bo නම් මෙම චීන ජාතිකයා තම පෙම්වතිය සමග එක්ව නව ජීවිතයක් ගත කිරීමේ අරමුණින් තමාගේ දරුවන් දෙදෙනාව ගොඩනැගිල්ලක පහළොස්වන මහලෙන් බිම හෙලා තිබෙනවා. මෙලෙස ඔහු විසින් ඝාතනය කොට ඇත්තේ අවුරුදු දෙකක් වන ගැහැණු දරුවෙකු සහ අවුරුද්දක් වයසැති පිරිමි දරුවෙකුයි. 

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ සිද්ධිය විමර්ශණයේදී Zhang තමන් විවාහක බවත් දරුවන් දෙදෙනෙකු සිටින බවත් සගවමින් Ye Chengchen සමග අනියම් සබඳතාවයක් ආරම්භ කර ඇති බව පෙනී ගිය බවයි. පසුව ඔවුන්ගේ විවාහයට දරුවන් දෙදෙනා බාධාවක් වන නිසා ඔවුන්ව මරා දමන මෙන් Zhang ගේ පෙම්වතිය ඔහුට නිරන්තරයෙන් බලකර තිබෙනවා. ඒ 2020දී Zhang ඔහුගේ බිරිඳගෙන් දික්කසාද වීමෙන් පසුවයි.

ඝාතනයට හවුල්වීම සහ පෙළඹවීම නිසා Zhang ගේ පෙම්වතිය වන Ye ද අධිකරණය විසින් වරදකරුවෙකු ලෙස නම්කර තිබෙනවා. ඔවුන්ගේ අභිප්‍රාය නින්දිත සහ ම්ලේච්ඡ යැයි තීරණය කරනු ලැබූ අධිකරණය මෙම යුවලට 2021දී මරණ දඩුවම නියම කර තිබෙනවා. දීර්ඝ අභියාචනා ක්‍රියාවලියකින් පසු දෙවන නඩු විභාගයත් පැවති අතර​, එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ද ඔවුන් තවදුරටත් වැරදිකරුවන් බව පවසා මරණ දණ්ඩනය සඳහා අනුමැතිය ලබා දී තිබෙනවා. මරණ දඩුවම අනුමත කිරීමෙන් පසුව පසුගිය බදාදා ඔවුන්ට මරණ දඩුවම ලබාදී තිබුණා.

නමුත් මේ වන විට ද ඔවුන් මරණයට පත් කරනු ලැබුවේ කෙසේද යන්න වාර්තා වී නොමැති අතර​, විදෙස් මාධ්‍යයන් සඳහන් කරනා ආකාරයට චීනයේ මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට අදාළ දත්ත රහසිගතව තබාගන්නා බවට වාර්තා වනවා. චීනයේ මරණ දඩුවම ක්‍රියාත්මක කරන වඩාත් සුලභ ක්‍රමය වන්නේ මාරාන්තික එන්නත්කරණයයි. විදෙස් මාධ්‍ය සඳහන් කරනුයේ මෙම මාරාන්තික එන්නත්කරණය හරහා ඔවුන්ට මරණ දඩුවම ලබා දෙන්නට ඇතැයි බොහෝ දෙනා විශ්වාස කරන බවයි. මේ වන විට මෙම සිදුවීම සමස්ත චීනයම කම්පාවට පත්කර තිබෙනවා.

Tags