විදෙස් පුවත්
මොරොක්කෝවේ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව දෙදහස ඉක්මවයි.

දශක ගණනාවකට පසු මොරොක්කෝවේ ඇති වූ මාරාන්තික භූමිකම්පා තත්වය හේතුවෙන් මියගිය ගණන දෙදහසකට අධික බව විදෙස් මාධ්‍ය විසින් මේ වන විට වාර්තා කර තිබේ. දිවි ගලවා ගත් පුද්ගලයන් සෙවීමේ අඛණ්ඩ මෙහෙයුම් සඳහා මුදා ගැනීමේ කණ්ඩායම් විසින් සෙනසුරාදා දින (09) මොරොක්කෝවේ දුෂ්කර කඳුකර ප්‍රදේශයන්හි සුන්බුන් පිරික්සමින් ගලවා ගැනීම් වෙනුවෙන් දැඩි පරිශ්‍රමයක් යොදා ඇත. භූමිකම්පාවෙන් පසු මොරොක්කෝව දින තුනක ශෝක කාලයක් ප්‍රකාශ කර ඇති අතර සියලුම පොදු ගොඩනැගිලිවල එරට ජාතික කොඩිය අඩකුඹු කර තැබීමට ද කටයුතු කර ඇත.
රිච්ටර් මාපකයේ 6.8 ක ප්‍රබල භූමිකම්පාව හේතුවෙන් එරට වේලාවෙන් පස්වරු 11 පසුවීමත් සමග ඇට්ලස් කඳුවැටි කලාපය කම්පනයට ලක්වී ඇත. භූ කම්පනයට අදාළ අපකේන්ද්‍රය පිහිටා ඇතැයි සැලකෙන්නේ Marrakech සිට නිරිත දෙසින් කිලෝමීටර 72 ක පමණ දුරකට වන්නටය. Marrakech යනුවෙන් හඳුන්වනුයේ 840,000 ක පමණ ජනතාවක් වෙසෙන නගරයක් සහ ජනප්‍රිය සංචාරක ගමනාන්තයකි. භූ කම්පනය හේතුවෙන් ඓතිහාසික Marrakech නගරයට ද හානි සිදුවී ඇතැයි විදෙස් මාධ්‍යයන් විසින් වාර්තා කොට තිබේ.
එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය උපුටා දක්වමින් මොරොක්කෝවේ රාජ්‍ය රූපවාහිනී සේවය වාර්තා කර ඇති පරිදි මේ වන විට පුද්ගල මරණ 2012ක් වාර්තා වී ඇති අතර තවත් 1,404 දෙනෙකු බරපතල තත්ත්වයේ පසුවන බවට ද දක්වා ඇත. භූමිකම්පාවෙන් විපතට පත් ප්‍රදේශවලට හදිසි සේවා යොදවා ඇති අතරම ආධාර බෙදා දීම සඳහා සහන කොමිසමක් කඩිනමින් පිහිටුවන ලෙසට ද බලධාරීන් විසින් අදාළ අංශ දැනුවත් කර ඇත.