විදෙස් පුවත්
එවරස්ට් කන්දේ හිමපතනයෙන් කඳු නගින්නන් 200කට ආසන්න පිරිසක් සිරවෙයි
චීනයට අයත් එවරස්ට් කන්දේ නැගෙනහිර මුහුණතේ ඇති වූ දැවැන්ත හිමපතනයක් හේතුවෙන් කඳු නගින්නන් 200කට ආසන්න පිරිසක් එම කන්දේ සිරවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අඛණ්ඩව ඇද හැළෙන දැඩි හිමපතන හේතුවෙන් පසුගිය සිකුරාදා දින සිට එවරස්ට් කන්දේ නැගෙනහිර මුහුණත ඔස්සේ ටිබෙට් නිම්නය හරහා කන්ද තරණය කරමින් සිටි පිරිසට දැඩි බලපෑමක් එල්ලවී තිබේ.
මෙම අනතුරෙන් පසුව, කඳු නගින්නන් රැසක් කඳු මුදුනට ආසන්න ප්‍රදේශවල සිරවී ඇති අතර, ඇතැම් පිරිස් ආසන්න ගම්මාන වෙත ගමන් කරමින් ආරක්ෂාව සොයා ගොස් තිබේ.
චීන රජය මේ වන විට සිරවී සිටින පිරිස මුදා ගැනීමට විශාල ගලවා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, හමුදා, පොලිස් හා විශේෂ සේවා ඒකක මේ සඳහා යොදවා ඇත.
චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා අනුව , සිරවී සිටින පිරිස 200කට ආසන්න වන අතර, තවත් පුද්ගලයින් 350ක් පමණ අසල ගම්මාන වෙත ආරක්ෂිතව ගමන් කර ඇති බවද සඳහන් වේ.
නමුත් පවතින දරුණු කාලගුණික තත්ත්වය හේතුවෙන් ගලවා ගැනීමේ මෙහෙයුම් දැඩිව අපහසු වී ඇති බව වාර්තා වේ.
චීන ජාතික දිනය සමගාමීව පුරා දිනයන් 8ක නිවාඩුවක් පවතින අතර, එම නිවාඩුවේදී බොහෝ චීන ජාතිකයින් එවරස්ට් කන්දේ නැගෙනහිර මුහුණතෙන් කඳු නැගීමට පැමිණ සිටි බවද සඳහන් වේ.
කඳු නගින්නන් 1,000කට ආසන්න පිරිසක් අතරමං වී ඇති බවට ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කළද, නවතම තොරතුරු අනුව පුද්ගලයින් 350ක් පමණ ආරක්ෂිතව ඉවත් කර ඇති අතර තවත් 200ක් පමණ අත්‍යවශ්‍ය උදව් සඳහා සම්බන්ධ කරගෙන ඇති බව චීන මාධ්‍ය වාර්තා කරයි.
