මේ වන විට මියගොස් සිටින ලිංගික අපරාධකරුවෙකු වූ ජෙෆ්රි එප්ස්ටීන්ට අදාළ නව ලිපිගොනු මිලියන ගණනක් ඇමෙරිකා එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව (DOJ) විසින් නිකුත් කරනු ලැබ ඇති අතර, එම ලේඛන මහ ජනතාවට නිකුත් කළ යුතු බවට වන නීතියක් පසුගිය වසරේ සම්මත වීමෙන් පසු රජය නිකුත් කළ විශාලතම ලේඛන සංඛ්‍යාව මෙය යි.
පිටු මිලියන 3ක්, ඡායාරූප 180,000ක් සහ වීඩියෝ 2000ක් පසුගිය සිකුරාදා මහජන ප්‍රදර්ශනය සඳහා ඉන්ටර්නෙට් ඔස්සේ නිකුත් කෙරිණි.
එප්ස්ටීන් සම්බන්ධ සියලු ම ලියකියවිලි මහ ජනතාවට නිකුත් කළ යුතු බවට වූ නීතිය, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අත්සන් කරනු ලැබීමෙන් සති හයකට පසුව මෙම ලේඛන නිකුත් කෙරිණි.
“අද මේ ලේඛන නිකුත් කරන්නේ ඇමෙරිකානු ජනතාවට විනිවිදභාවය සහතික කිරීම සඳහා ඉතා පුළුල් ලේඛන සමාලෝචන ක්‍රියාවලියක අවසාන ප්‍රතිඵලයක් ලෙස යි,” නියෝජ්‍ය නීතිපති ටොඩ් බ්ලැන්ච් පැවසීය.
ජෙෆ්රි එප්ස්ටීන් සිරගතව සිටි කාලය, ඔහුගේ මරණය පිළිබඳ විස්තර, බාලවයස්කාර ගැහැනු ළමයින් ප්‍රවාහනය කිරීමට ඔහුට උදව් කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ එප්ස්ටීන්ගේ හවුල්කාරිය වන ගිලෙන් මැක්ස්වෙල් පිළිබඳ විමර්ශන වාර්තා මෙම ලිපිගොනුවලට ඇතුළත් වේ.
එප්ස්ටීන් සහ ඉහළ පෙළේ පුද්ගලයින් අතර හුවමාරු වූ ඊමේල් ද ඒ අතර වේ.
බොහෝ ඊමේල් සහ ලේඛන දශකයකට වඩා පැරණි ඒවා වන අතර, එමඟින් එප්ස්ටීන්ගේ නීතිමය ගැටලු මධ්‍යයේ ඔහු පැවැත්වූ සබඳතා පෙන්නුම් කරයි. නීතිඥයින් සමග මතභේදාත්මක අභියාචනා ගිවිසුමකට එළඹීමෙන් පසු 2008 දී ෆ්ලොරිඩාවේදී 14 හැවිරිදි ගැහැනු ළමයෙකු සමග ලිංගිකව හැසිරීම සම්බන්ධයෙන් ඔහු වරදකරු කරනු ලැබී ය.
පුළුල් ලිංගික ජාවාරම් නඩුවක චෝදනා මත සිරගතව සිටියදී ඔහු 2019 අගෝස්තු මාසයේදී මිය ගියේ ය.
1953 ජනවාරි 20 වන දින උපත ලබා 2019 අගෝස්තු 10 වන දින මිය ගිය ජෙෆ්රි එඩ්වඩ් එප්ස්ටයින් කියන්නේ ඇමරිකානු ව්යාපාරිකයෙක්. පසුව ඔහු මිනිස් ජාවාරම්කරුවෙකු, අනුක්රමික දූෂකයෙකු සහ ළමා ලිංගික අපරාධකරුවෙකු ලෙස කුප්රකට වෙනවා. ඔහුගේ නම එක්සත් ජනපද ඉතිහාසයේ අතිශය කුප්රකෆ ලිංගික අපරාධකරුවන්ගෙන් කෙනෙකු විදිහට ලැයිස්තුගත කර තිබෙනවා.
එප්ස්ටයින් කියන්නේ යුදෙව් පවුලක උපත ලබා නිව්යෝර්ක් නගරයේ හැදී වැඩුණු කෙනෙක්. ඔහුගේ වෘත්තීය ජීවිතය ආරම්භයේ සිටම මතභේදයන්ට තුඩු දෙන කාරණාවක් වුනා. සම්පූර්ණ විශ්ව විද්යාල උපාධියක් නොමැතිව, ඔහු නිව්යෝර්ක්හි ප්රභූ ඩෝල්ටන් පාසලේ ගුරුවරයෙකු ලෙස ඔහු සේවය කලා. එහිදී ඔහු ඉගැන්වු විෂයන් වුනේ ගණිතය සහ භෞතික විද්යාව. හැබැයි නුසුදුසු හැසිරීම් හේතුවෙන් 1976 දී ඔහු පාසලෙන් නෙරපා හරිනවා.
එතනින් පසු එප්ස්ටයින් බැංකු හා මූල්‍ය ලෝකයට පිවිසෙනවා .
ඒ විදිහට මූල්‍ය අංශයට පිවිසෙන එප්ස්ටයින් ක්‍රම ක්‍රමයෙන් අතිවිශාල ධනස්කන්ධයක හිමිකරුවෙක් මෙන්ම සමාජයට බලපෑම් කල හැකි පුද්ගලයෙකු බව පත්වෙනවා.ඔහු තමාගේම ආයෝජන කළමනාකරණ සමාගමක් ආරම්භ කරනවා වගේම ඒකත් එක්ක ප්‍රභූ සමාජ ජාලයක් ඔහු නිර්මාණය කරනවා.දේශපාලනඥයන්, ධනවත් ව්‍යාපාරිකයන්, රාජකීය පවුල්වල සාමාජිකයන්, විද්‍යාඥයින් සහ තවත් විවිධ කීර්තිමත් පුද්ගලයින් සමඟ ඔහු සම්බන්ධතා ගොඩනගා ගන්නවා.
ඔහුට පෞද්ගලික ජෙට් යානයක්, නිව්යෝර්ක් සහ ෆ්ලොරිඩාවේ සුඛෝපභෝගී නිවාස සහ කැරිබියන් දූපතේ ‘ලිට්ල් ශාන්ත ජේම්ස්’ නමින් හැඳින්වෙන පෞද්ගලික දූපතක් පවා හිමිව තිබුනා. එප්ස්ටයින් ගෙ මේ දූපත තමයි ඔහුගේ අපරාධවල ප්රධාන මධ්යස්ථානය බවට පත් වෙන්නෙ.
චෝදනාවලට අනුව, එප්ස්ටයින් වසර ගණනාවක් තිස්සේ තරුණ ගැහැණු ළමයින්, බොහෝ අවස්ථාවලදී බාලවයස්කරුවන්, ලිංගික අරමුණු සඳහා ජාවාරම් කර තිබෙනවා. ඔහු විසින් ඔවුන්ට ලිංගික අඩම්තේට්ටම් සිදුකර අපයෝජනයට ලක් කලා වගේම සමහර අවස්ථා වලදි ඔවුන්ව බලගතු පුද්ගලයින්ට හඳුන්වා දීමද සිදුකර තිබෙනවා.
2008 දී ලිංගික අපරාධ සම්බන්ධයෙන් ඔහු ප්
රථම වරට වරදකරු කරනු ලැබුවද, මතභේදාත්මක අභියාචනා ගනුදෙනුවක් හරහා ඔහුට සාපේක්ෂව සැහැල්ලු දඬුවමක් ලැබුනා. මේ නිසා ඒ කාලයේ දි එක්සත් ජනපද අධිකරණ පද්ධතිය පිළිබඳ පුළුල් විවේචනයන්ට ද ලක්වුනා.
එප්ස්ටයින් කියන්නේ අපරාධකරුවෙක් විතරක් නෙවෙයි. ඔහු දක්ෂ ජාලකරුවෙක්. බොහෝ බලගතු පුද්ගලයින් පුරුද්දක් විදිහට ඔහු හා සම්බන්ධ වී, ඔහුගේ පෞද්ගලික ගුවන් යානයෙන් ගමන් කර, ඔහුගේ දූපතට ගොස් හෝ ඔහු සමඟ සමාජීය හා ව්යාපාරික සබඳතා පැවැත්වූවා. ඉතින් ඒ සම්බන්ධතා නිසා නඩු ලේඛනවල ඔවුන්ගේ නම් සදහන් වෙනවා.
ඒ නම් එන්නෙ විවිධ මූලාශ්රවලින්. වින්දිතයින්ගේ විස්තර, විද්යුත් තැපැල් හෝ කෙටි පණිවිඩ, ගුවන් ගමන් ලොග්, වගේ දේවල් වලින් කවුරුන් කා එක්ක කොහෙට ගියාද වගේ තොරතුරු ලබාගන්න පුලුවන්. ඒ වගේම තවත් බොහෝ නම් දුරකථන වාර්තා සහ රැස්වීම් සටහන් වල ද දක්නට ලැබෙනවා.
මේ නඩු වලදී, සමහරක් සාක්ෂිකරුවන් විදිහට නම් කරලා තියෙනවා වගේම තවත් සමහර අය අදාළ පුද්ගලයින් පමණයි. ඊට අමතරව චෝදනා ලැබූ අයත් ඒ අතර ඉන්නවා. බ්රිතාන්ය රාජකීය පවුලේ සාමාජිකයෙකු වන ඇන්ඩෘ කුමරුත් එවැනි කෙනෙක්. නමුත් ඔහු මූල්ය ගිවිසුමක් හරහා අධිකරණයෙන් පිටත නඩුව විසඳාගෙන තිබෙනවා.
හැබැයි මේ ගැන දැන් වන විට වැඩි කතා බහකට ලක් වෙලා තියෙන්නේ ඒ එක හේතුවක් නිසාවත් නෙවෙයි. මේ වසරේ නිකුත් වුන නවතම ප්රධාන ලේඛනවල එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ නම සැලකිය යුතු වාර ගණනක් සදහන් වෙලා තියෙනවා.
ට්රම්ප්ට අමතරව හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන්, ප්රින්ස් ඇන්ඩෲ, මයික්රොසොෆ්ට් සම-නිර්මාතෘ බිල් ගේට්ස්, එලොන් මස්ක්, ස්ටීව් බැනන්, හොවාර්ඩ් ලුට්නික් සහ ස්ටීව් ටිෂ් වැනි ලෝක ධනවතුන් සහ බලවතුන්ගේ නම්ද එප්ස්ටයින්ගේ සමාජික හා වෘත්තීය සම්බන්ධතා ලෙස විවිධ මූලාශ්රවල සදහන්ව තිබෙනවා