සොයන්න
උණුසුම් පුවත්

විදෙස් පුවත්

ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම් ගැන සාම සාකච්ඡා පවත්වන්න කිසිම සුදානමක් නැහැ – ඩොනල්ඩ් ට්‍රම්ප්

ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම් පිළිබඳව ඉරානය සමඟ සාම සාකච්ඡා පැවැත්වීම සඳහා තමා කිසිදු අවස්ථාවක සම්බන්ධ වී නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

අමෙරිකානු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධව මෑත කාලීන සාකච්ඡාවලදී තමා ඉදිරිපත් කළ ගිවිසුමකට ඉරානය අත්සන් කළ යුතු බව බවයි.

තවද ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම් සඳහා තමා සටන් විරාමයක් සොයන්නේ නොමැති බවත් සටන් විරාමයකට වඩා හොඳ අවසානයක් සොයන බවත් ඔහු පවසා තිබෙනවා.

ඉරානයට ඇති බවට දැනට චෝදනා එල්ල වී ඇති න්‍යෂ්ටික අවි සම්බන්ධව අදහස් දක්වමින් ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ ඉරානයට න්‍යෂ්ටික අවියක් තිබිය නොහැකි බවයි.

ටෙහෙරානයේ සියලු ජනතාවට තමන් ඉවත් වන ලෙස දැනුම් දුන්නේ තමාට මිනිසුන් ආරක්ෂිතව සිටීම වැදගත් බවද ඔහු සඳහන් කරනවා.

කෙසේ වෙතත් අමෙරිකානු ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය සමඟ ටෙහෙරානයේ ජනතාව පිටත්ව යාම ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අගනුවරින් ජනතාව පිටත්ව යාම ආරම්භ වීම සමඟ එරට මාර්ග රැසක මේ වන විටත් දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී ඇති බව වාර්තා වනවා.

තවද පවතින තත්ත්වය මත ටෙහෙරානයේ ඉන්ධන පිරවුම්හල් අසල දැඩි පෝලිම් ද නිර්මාණය වී ඇති බවද සඳහන්.

මේ අතර ඉරාන – ඊශ්‍රායල යුද ගැටුම් වර්ධනය වීම සමඟ ඉරානයේ රජයේ රූපවාහිනී නාලිකාවකාටද ඊයේ (16) ඊශ්‍රායලය ප්‍රහාර දියත් කළ අතර ඉරානය අද (17) ඊශ්‍රායලයේ මොසාඩ් බුද්ධි ඒජන්සියේ මුලස්ථානයට ප්‍රහාර එල්ල කර ඇති බව වාර්තා වනවා.

ඉරාන රජය විසින් පවත්වාගෙන යනු ලබන තස්නිම් ප්‍රවෘත්ති ඒජන්සිය විසින් මේ බව වාර්තා කර තිබෙනවා.

ඉරාන විප්ලවවාදී ආරක්ෂක බලකාය උපුටා දක්වමින් තස්නිම් ප්‍රවෘත්ති සේවය වාර්තා කළේ මොසාඩ් සංවිධානයට ඉරාන මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බවයි.

කෙසේ වෙතත් ප්‍රහාරය සම්බන්ධව ඊශ්‍රායලය මේ දක්වා කිසිඳු අදහසක් දක්වා නැහැ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊශ්‍රායල රජයේ සීමාවන් හේතුවෙන් එරට ක්‍රියාත්මක වන මාධ්‍යවලට ඇතැම් සිදුවීම් වාර්තා කළ නොහැකි බවයි.

කෙසේ වෙතත් ඊශ්‍රායලය අද (17) උදෑසන වාර්තා කර ඇති පරිදි ඉරානය විසින් ඊශ්‍රායලයට අද දිනයේදී මිසයිල 30ක් එල්ල කර තිබෙනවා.

ඊශ්‍රායල ආරක්ෂක අංශ පවසා ඇත්තේ බොහොමයක් මිසයිල බිම හෙළීමට සමත් වුවද ඇතැම් මසයිල ඊශ්‍රායලය පතිත වී ඇති බවයි.

Tags