සොයන්න
උණුසුම් පුවත්

විදෙස් පුවත්

ට්‍රම්ප් පාලනයට අමෙරිකානු ජනතාවගෙන් දැඩි විරෝධයක්

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් දෙවෙනි වරටත් ධූරයට පත්වීමෙන් පසු ගෝලීයව බලපෑමක් එල්ල කරන දැඩි ප්‍රතිපත්තීන් අනුගමනය කරමින් සිටීම පෙනී යන කරුණක්. කෙසේ වෙතත් ට්‍රම්ප් ජනපතිවරයාගේ මෙම සමාජ ආර්ථික ප්‍රතිපත්තීන් සම්බන්ධයෙන් අමෙරිකානු ජනතාවගෙන්ම දැවැන්ත විරෝධයක් පැන නැගෙමින් තිබෙන අතර​, ප්‍රාන්ත 50ක් පුරා මිලියන ගණනක ජනතාවක් සිය විරෝධතා දියත් කරමින් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තාවන් සඳහන් කරන ආකාරයට​ ප්‍රාන්ත 50 පුරා ස්ථාන 1200කට අධික සංඛ්‍යාවකදීයි ජනතාව මෙලෙස විරෝධතාවන් දියත් කර ඇත්තේ.

රජයේ වියදම් අවම කිරීම සඳහා සිදු කරනු ලබන රැකියා කප්පාදුව සහ සංක්‍රමණිකයන්, සංක්‍රාන්ති ලිංගික ප්‍රජාවන් වැන්නවුන් ඉලක්ක කරගනිමින් ට්‍රම්ප් පරිපාලනය අනුගමනය කරන දැඩි ප්‍රතිපත්තීන් සම්බන්ධයෙන් ජනතාව සිය දැඩි විරෝධය මුදා හරිමින් සිටිනවා. මේ අතර​ එලෝන් මස්ක් රාජ්‍යයේ පරිපාලනමය කටයුතු වෙනුවෙන් දක්වන මැදිහත්වීමද ජනතාවගේ දැඩි විවේචනයට ලක්වන කරුණක් වී තිබෙනවා.

‘Hands Off’ ලෙස නම් කර තිබෙන මෙම විරෝධතා මාලාවට සම්බන්ධ වන ජනතාව සඳහන් කර සිටින්නේ මෙකී ප්‍රතිපත්තීන් සමාජ​, ආර්ථික වශයෙන් දරුණු බලපෑම් රැසක් ඇති කරනු ලබන බවයි.මෙම විරෝධතා මාලවට සමගාමීවම ජර්මනිය, බ්‍රිතාන්‍ය​, ප්‍රංශය, පෘතුගාලය අතුළු රටවල් රැසකදීත් විරෝධතා පවත්වා තිබෙනවා.

 

Tags