සොයන්න
උණුසුම් පුවත්

විදෙස් පුවත්

ජනාධිපතිවරණය කල් තැබීමෙන් කැළඹුණු සෙනගාලය. සමාජ මාධ්‍යත් තහනම්..​ (Video)

බටහිර අප්‍රිකාවේ පිහිටි සෙනගල් රාජ්‍යයේ ආණ්ඩුව සති කිහිපයක් තුල දෙවන වරටත් අද දින අන්තර්ජාල සේවාවන් අත්හිටුවා තිබෙනවා. ඊට හේතු වී ඇත්තේ මේ මාසයේදී පැවැත්වීමට නියමිතව තිබූ ජනාධිපතිවරණය වත්මන් ජනපතිවරයා විසින් කල් දැමීමත් සමග මතුව තිබෙන මහජන විරෝධතා මර්ධනය කිරීමේ අරමුණයි. සැබවින්ම බටහිර අප්‍රිකාවේ ඉහළම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය ලෙසින් විරුදාවලිය ලැබූ සෙනගල් හි ජනාධිපතිවරණය නිසි කලට නොපවත්වා කල් දැමීමට එරට ජනපති Macky Sall විසින් ගනු ලැබූ තීරණයත් සමග රට පුරා මහජන විරෝධතා ව්‍යාප්ත වූවා.

මෙම මස තුලදී පැවැත්වීමට නියමිතව තිබූ ජනාධිපතිවරණය දෙසැම්බර් මාසය දක්වා කල් තැබීමට වත්මන් ජනාධිපතිවරයා ගත් තීරණයට ඔහුට පක්‍ෂ මන්ත්‍රීවරුන් විසින් සහය පලකර තිබෙනවා. ඒ හා සමගාමීවම රට පුරා විරෝධතාවයන් ආරම්භ වූ අතර​, එම විරෝධතා හේතුවෙන් මේ වන විට තිදෙනෙකු මියගොස් තිබෙනවා. පවතින කලහකාරී තත්ත්වය මර්ධනයට සහ ජනතා අදහස් පාලනය කිරීමට ආණ්ඩුව විසින් රට තුල අන්තර්ජාල සේවාවන් ද​ අත්හිටුවා තිබෙනවා. විරෝධතාකරුවන් චෝදනා කරනුයේ ජනපතිවරයා දෙවන ධූර කාලයක් සඳහා පත්වීමේ යටි අරමුණු සහිතව මෙසේ ජනාධිපතිවරණය කල්දමා ඇති බවයි.

සෙනගල් රාජ්‍යයේ කිසිදු දිනයෙක ජනාධිපතිවරණයක් ප්‍රමාද වී නොමැති බවත් ජනාධිපතිවරයා කඩිනමින් මෙම තීරණය සමාලෝචනය කල යුතු බවත් එරට ආගමික නායකයින් විසින් අවධාරණය කරනු ලැබුවා. දේශපාලන විශ්ලේෂකයින් විසින් ද අනතුරු අගවන්නේ සෙනගාලය තුළ​ මෙතෙක් වූ බටහිර අප්‍රිකාවේ වඩාත් ස්ථාවර ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය ලෙස පැවති කීර්ති නාමය මෙම අර්බුධය හමුවේ බිඳ වැටෙනු ඇති බවටයි.

AL Jazeera වාර්තාව පහතින්:

Tags