විදෙස් පුවත්
තාවකාලිකව වසා දැමුණු මැදපෙරදිග ගුවන් කලාප නැවත විවෘත වෙයි
තාවකාලිකව වසා දැමුණු මැදපෙරදිග ගුවන් කලාප යළි විවෘත කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ කටාර් ගුවන් කලාප ඇතුළු වසා දැමුණු අනෙක් සියලු ගුවන් කලාප මෙලෙස විවෘත කර ඇති බවයි.
ඉරානය විසින් කටාර් හි පිහිටි අමෙරිකානු හමුදා කඳවුරකට සහ ඉරාකයේ පිහිටි අමෙරිකානු කඳවුරකට ඊයේ (23) මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ මැදපෙරදිග ගුවන් කලාප කිහිපයක් මෙලෙස වසා දැමීමට පියවර ගැනුණා.
සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළේ මේ හේතුවෙන් ගුවන් ගමන් රැසක් අවලංගු වූ අතර ශ්‍රී ලංකාවේ සිට මැදපෙරදිග රටවල් දක්වා පියාසර කළ ගුවන් යානා 5ක් වෙනත් ගුවන්තොටුපොළ වෙත හරහා යැවීමට පියවර ගත් බවයි.
එම ගුවන් යානා මස්කට්, ඩුබායි සහ රියාද් යන ගුවන්තොටුපොළවල් වෙත ගොඩ බෑමට කටයුතු කළ බවද එම අධිකාරිය පවසනවා.
ප්‍රහාරවලින් අනතුරුව නැවත සිය ගුවන් අවකාශය විවෘත කළ බව කටාර්හි සිවිල් ගුවන් සේවා අධිකාරිය ප්‍රකාශ කර තිබෙනවා.
කටාර් රජය පවසන්නේ මේ වන විට රටේ ආරක්ෂක තත්ත්වය සාමාන්‍ය අතට පත්ව ඇති බවයි.
ඊට අමතරව කුවේට්, බහරේන් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ද මේ වන විට සිය ගුවන් අවකාශ විවෘත කර තිබෙනවා.
