විදෙස් පුවත්
ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනුවලදී ඉන්දීය රුපියල් භාවිතයට
ඉන්දියාවේ මහ බැංකුව, ශ්‍රී ලංකාව, නේපාලය සහ භූතානය ආදියට වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමේදී ඉන්දීය රුපියල් (INR) භාවිත කිරීමට තීරණය කර තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, මෙම තීරණය කලාපීය වෙළෙඳාමේදී අමෙරිකානු ඩොලරය මත යැපීම අවම කිරීමේ අරමුණින් ගත් පියවරක් බවයි.
ඉන්දීය රුපියල් භාවිතයෙන් වෙළෙඳ ගනුදෙනු සිදු කිරීමෙන්, ඩොලර් හිඟය සහ විනිමය අර්බුදවලින් ගොඩබෑමට කලාපීය රටවල්ට පහසුවක් ලැබෙනු ඇති බව විශේෂඥයන් පෙන්වා දෙති.
ඉන්දීය මහ බැංකුව තවදුරටත් සඳහන් කරන්නේ, වෙළෙඳ ගනුදෙනු වලට පමණක් නොව, අදාළ රටවල් සඳහා ලබාදෙන ණය මුදල් ද ඉන්දීය රුපියල් මගින් ලබාදීමට තීරණය කර ඇති බවයි.
මෙම පියවර යටතේ, ඉන්දියාවේ ප්‍රමුඛ වෙළෙඳ හවුල්කරුවන් සඳහා නිල විනිමය අනුපාතයක්ද හඳුන්වා දීමට නියමිත බව වාර්තා වේ.
ඉන්දියාවට ආසන්න රටවල් සමග රුපියල් මගින් වෙළෙඳ ගනුදෙනු සිදු කිරීම, එම රටවල්ගේ ආර්ථික ස්ථායීභාවය වෙනුවෙන්ද, ඉන්දියාවේ කලාපීය ආර්ථික බලපෑම වර්ධනය කිරීමේ උත්සාහයකත් වශයෙන් ද සලකනු ලබයි.
