සොයන්න
උණුසුම් පුවත්

උණුසුම් පුවත්

විදෙස්ගත ශ්‍රමිකයින් සඳහා නවතම ණය යෝජනා ක්‍රමයක් දියත් කෙරේ

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඒකාබද්ධව “මනුසවි” නමින් නවතම ණය යෝජනා ක්‍රමයක් ඉකුත් සඳුදා දින (04) විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් දියත් කරන ලදී. අදාළ ණය යෝජනා ගිවිසුම් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ ශ්‍රී ලංකා මහබැංකු නිලධාරීන් අතර හුවමාරු විණි.

ව්‍යාපාරයක් ආරම්භ කිරීම හෝ වැඩිදියුණු කිරීම, නිවසක් මිලදී ගැනීම, ඉදිකිරීම හෝ පුළුල් කිරීම, ඉඩමක් හෝ වාහනයක් මිලදී ගැනීම සහ​ දරුවන්ගේ උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ඇතුළු ඵලදායි අරමුණු සඳහා මෙම ණය මුදල ලබා ගත හැකි බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් සඳහන් කර සිටියි. විදේශ සේවා නියුක්ති කාර්යාංශය මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් බිලියන 05ක මුදලක් වෙන් කර ඇති අතර​, විදේශගත ශ්‍රමිකයෙකු සඳහා ලබා ගත හැකි උපරිම ණය සීමාව මිලියන 02ක් (ලක්‍ෂ 20ක්) වශයෙනුත්, ගැණුම්කරුගෙන් අය කළ හැකි උපරිම පොලී අනුපාතය 8%ක් සහ එම මුදල නැවත ගෙවා නිම කිරීම සඳහා මාස 36ක කාල සීමාවකුත් ලබා දී ඇත​.

මෙම ණය යෝජනා ක්‍රමය සඳහා සුදුසුකම් ලැබීමට​ විදෙස්ගත ශ්‍රමිකයකු විසින් බලපත්‍රලාභී වාණිජ බැංකුවක තනි හෝ හවුල් විදේශ මුදල් තැන්පතු සිදුකරගෙන යන ගිණුමක් (separate or a joint Personal Foreign Currency Account) නැතිනම්, ඉතිරිකිරීමේ ගිණුමක් (Savings Account) පවත්වාගෙන යාම අවශ්‍ය වන අතර, අවම වශයෙන් ඉකුත් මාස තුන ඇතුළත හෝ අදාළ ගිණුමට විදේශ විනිමය ප්‍රේෂණය කර තිබිය යුතු වේ. 

ණය ලබා ගැනීම සඳහා විදේශගත වීමට පෙර හෝ විදේශගතව සිටියදී අදාළ බැංකුව වෙත අයදුම්පත් යොමු කළ හැකි අතර, අයදුම්කරුට තමන් වෙනුවෙන් ණය මුදල ලබා ගැනීම සඳහා ඇටෝර්නි බලය හරහා සිය සමීපතමයෙකුට බලය පැවරිය හැකිය. මෙම ක්‍රමවේදය යටතේ අදාළ ණය මුදල ශ්‍රී ලංකා රුපියල් හරහා නැවත ගෙවීමට නොහැකි න​මුත්, තමාගේ විදේශ රැකියාවට අදාළ සේවා කාලය නිම වී ශ්‍රී ලංකාවට පැමිණීමෙන් අනතුරුව පවතින වෙළඳපොළ පොලී අනුපාතයන් යටතේ ණය මුදල ශ්‍රී ලංකා රුපියල් හරහා ගෙවා අවසන් කල හැකිය​.

මෙම මුලපිරීම සඳහා දායක වන පහත සඳහන් බලපත්‍රලාභී වාණිජ බැංකු සඳහා 4% ක වාර්ෂික පොලී අනුපාතයකට ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව (Regional Development Department) හරහා ප්‍රතිමූල්‍යකරණ පහසුකම් සපයනු ලැබේ.

  • ලංකා බැංකුව​
  • මහජන බැංකුව​
  • කොමර්ෂල් බැංකුව
  • හැටන් නැෂනල් බැංකුව​
  • සම්පත් බැංකුව​
  • සෙලාන් බැංකුව​
  • Cargills ​බැංකුව​
  • DFCC බැංකුව
  • National Development Bank (NDB)
  • Pan Asia බැංකුව
  • Union Bank
Tags