එදිනෙදා ජීවිතය
ගතට අගුණ මත්පැන් ගතට හිතට පහසු විදියට බොමුද?

මත්පැන් ඔයාට හොඳ නෑ. හැබැයි අපි හොඳ නැති හැමදේම ජීවිතෙන් අත්හරින්න පුරුදු කරපු මිනිස්සු නෙමෙයිනෙ. අන්න ඒ නිසා හොඳ නැති දෙයක් වුණත් මත්පැන් නිසි විදියට බොන එක ගැන කතා කරන්නයි මේ හදන්නෙ. මුලින්ම කියන්නෙ අපිට මේ දේවල් ගැන කතා කරන්න කිසිඳු සුදුසුකමක් නෑ. අන්න ඒ නිසාම අත්දැකීම් සහ අපි හොයාගත්තු වෛද්‍ය උපදෙස් ඇසුරෙන් තමයි මේ සටහන ලියන්නෙ. ඒ නිසාම ඔයාගෙ වටිනා අදහසුත් මේ සටහනට එකතු කරන්න අමතක කරන්න එපා. ඒ වගේම විශේෂයෙන් කියන්න උවමනා වෙන්නේ Ceylon Journal අපි කිසිඳු මොහොතක මත්පැන් බීම අනුමත නොකරන බවත් මේ සටහනෙන් එයට අනුබල දීමක් සිද්ධ නොකරන බවත්.
එපා!
බිවුවම කන්ට්‍රෝල් නැත්තං, බීමෙන් අවුල් යන ලෙඩ ඇඟේ තියෙනවා නම් බොන්න එපා. කට්ටියගෙ බල කිරීමට බොන්න එපා. වෙන කෙනෙකුගෙ කැමැත්ත ලැබෙයි කියලා හිතලා බොන්න එපා. තව කෙනෙක් අකමැති වුණා කියලා බොන්න එපා. බොන්න ඕන නැත්තං බොන්න එපා.
පස්මහබැලුම්
පස්මහබැලුම් කියන්නෙ ආගමික කාරණයක් වුණාට මේ කියන දේ නම් එහෙම දෙයක් නෙමෙයි. මේ කියන්නෙ බොන්න කලින් බලන්න ඕන දේවල් කීපයක්. පළමු දේ බොන්න අවශ්‍ය තරමට සල්ලි අතේ තියෙනවද කියන දේ බලන්න. දෙවැන්න බොන්න අවශ්‍ය තරම් මානසික නිදහස මේ මොහොතේ තියෙනවද කියලා බලන්න. තුන්වැන්න බොන්න යන්නෙ කාත් එක්කද කියලා බලන්න. බීමෙන් පස්සෙ නොසිතූ දේ වෙන්න පුළුවන් නිසා පසුවදාට වැදගත් වැඩ තියෙනවාද කියන දේ තමයි සිවුවැන්න. පස්වැන්න තමයි වැදගත්ම දේ… අද බොන්න ඕනද? කියලා බලන්න.
ලිමිට්
තමුන්ගෙ ලිමිට් එක දැනගන්න. ඒ ලිමිට් එකේදි තමුන්ගෙ මනසට දැනෙන දේ අධ්‍යයනය කරන්න. ඒ ලිමිට් එකට එන්න ලං වෙද්දි බීම නවත්තන්න. නැත්තං ඔයත් බීලා හාන කෙනෙක් වෙයි.
ගුණ දේ
මත්පැන් බීම අගුණ දෙයක්. ඉතිං ඒ නිසා ඇඟට වෙන හානිය අවම කරන එක වැදගත්. ඒ වෙනුවෙන් හොඳට වතුර බොන්න. එළවළුවක් පළතුරක් ආහාරයට ගන්න. තරමකට බොන්න අමතක කරන්න එපා.
බීමේදි රීති ටිකක් තියෙනවා. මේ රීති ටික පිළිපැදීමත් වැදගත්. මොකද නරක දෙයක් වුණත් කරන දේ හරියට කරන්න එපැයි.
චියර්ස්! කියන හේතුව
කට්ටියත් එක්ක සෙට්වෙනකොට සවුදිය පිරීම වැදගත්. ඒවගේම සවුදිය පුරලා උගුරක් හෝ නොබී වීදුරුව මේසෙ උඩින් තියන එක එච්චර ගරුසරු ඇති වැඩක් නෙමෙයි. සවුදිය පුරන එකත් හැඟීමෙන් කළ යුතුයි. මොකක් හෝ කාරණාවකට නම් ඒ කාරණාවට හොඳක්ම වෙන්න ඕන කියන සිතුවිල්ලත්, මොකුත් අරමුණක් නැති හුදෙක් මිතුරු බීමක් නම් අපිට ජය වෙන්නෝන කියලා හිතාගෙනත් බොන්න.
පුටුවෙන් නැගිට්ටොත්
ඔෆිස් වැඩ, ගෑනු කතා, චූ බර වගේ හේතු හින්දා ටේබල් එකෙන් නැගිටින්න වෙන එක සුලබ කාරණයක්. ඒ වෙලාවට කට්ටියට කියලා යන්න. ඒ වගේම ටෙලිෆෝන් කෝල් එකක් වගේ නම් ෂොට් එක තමුන් එක්ක අරගෙන යන එකත් හොඳයි. මොකද ටොයිලට් යනකොට අරක්කු වීදුරු උස්සන් යන්න හොඳ නැහැනෙ.
වැරදිලාවත් පරක්කු වුණොත්
දෙයක් වෙනුවෙන් පරක්කු වෙන එක අනුමත කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. නමුත් ඔයා බොන මේසෙට ආවෙ පරක්කු වෙලා නං ඔයා දැනගන්න ඕන පරක්කු වෙලා ආවම අනිත් කට්ටියට සවුදිය පුරලා තමුන්ගෙ වීදුරුව බොන්න පටන්ගන්න.
බීමට අධිපති වෙන්න එපා!
අනිත් කෙනා කොච්චර බිවුවද, දැන් පොරට වෙරිද වගේ දේවල් හොයන්න එපා. තමුන්ගෙ පමණ දැනගෙන තමුන් බිව්වනං හරි. අනිත් එකා බිවුවෙ ෂොට් තුනයි මම දැනටම හතයි, මොකද්ද බං උඹේ පිරිමිකම? වගේ ගොං ජෝක් දාන්න එපා. එහෙම කියන පොරවල් පිරිමි නෙමෙයි කියන එක මතක තියාගන්න. තමුන් බොන්නෙ තමුන්ට ඕන ගාන. හොඳ පුත්තු ඉන්නව කොයි සෙට් එකෙත්. බොන්නෙ නැති වුනත් තමුන්ගෙ යාළුවො සෙට්වෙද්දි අනිවා එන හිත හොඳ මිනිස්සු. ඒ මිනිස්සුන්ට නිග්‍රහ කරන්න එපා. බලෙන් පොවන්න එපා. හොරෙන් උන් බොන බීම එකට අරක්කු වත්කරන්න එපා. ඒ මිනිස්සු යාළුකම අගය කරන මිනිස්සු විත්තිය හිතේ තියාගන්න. අනිත් මිනිස්සු ගන්න ප්‍රධානම ආතල් එකක් නැතුවත් තමුන්ගෙ යාළුවො වෙනුවෙන් එතැනට එන එක අගය කරන්න.
පාලනය වෙන්න
බයිට් හොඳට තියෙන සෙට්වීම් වගේම බයිට් අඩු සෙට්වීමුත් තියෙනවා. මගේ යාළුවෙකුගේ වෙනිං සෙට් එහෙක කොල්ලො පස්දෙනෙක් අන්තිම බාගෙ ගහන්න බයිට් මදිවෙලා ඉතුරුවෙච්ච පරිප්පු වඩේ එකකින් පස්දෙනාම බීලා තියෙනවා. මොකද බොද්දි පොඩි කටගැස්මක් ඕනනෙ. ඒක තේරුං ගන්න. හොඳට කන්න තියෙන තැනක වැඩිපුර කෑවට කමක් නැති වුනත්, පාලනය විය යුතු තැනදි පාලනය වෙන්නට දැනගන්න.
ඇරියස් කවර්
පස්මහ බැලුම් බලද්දි බොන්න කාත් එක්කද කියලා හිතන්න කිවුවෙ මේකයි. බිවුව කියලා ඔයාගෙ ඇරියස් අනිත් මිනිස්සු පිටින් යවන්න තියාගන්න එපා. ඇරියස් තියෙන මිනිස්සු එක්ක බොන්න එපා වගේම තමුන්ට තමුන්ව පාලනයක් නැතිවෙනකං බොන්නත් එපා. පාලනය තමයි වැදගත්ම.
හිත නිදහස්
හොඳ බීමකදි සෙට් එකම නිදහස් වීම තමයි හොඳම. ඒ නිසා තමුන්ගෙ ප්‍රශ්න වගේම සෙට් එකේ අනිකුන්ගේ ප්‍රශ්නත් විසඳලාම වැඩේට බහින්න. උදාහරණෙකට ගෙදර යන්න විදියක්, වයිෆ්ට රෑට කෑම, හෙට උදේ ඔෆිස් වගේ දේවල්වලට උත්තර හොයාගෙන සෙට්වෙන්න.
ඕයි අඩෝ
රෙස්ටුරන්ට් එකක බොන වෙලාවක නම් වේටර්ලට කතා කරද්දි ඕයි බෝයි වගේ සවුත්තු විදිහට කතා කරන්න එපා. හෝටල් වලට පොලු තිබ්බම(බීල හොරෙන් මාරු/ වලි දාගෙන බිල් නොගෙවීම) සමහරවිට ඒ පාඩුව වේටර්ගෙ පිටින් යන වෙලාවලුත් තියනවා. ඒ අයත් ජීවත්වෙන්න ගහන ගේමට අකුල් හෙලන්නෙපා. මේව අරක්කු වීදුරුවකට එහාගිය එතික්ස්
හැමෝම ගැන බලන්න
සෙට් වෙන්න ආපු හැම යාලුවටම සිහියෙන් ගෙදර යන්න පුලුවන්ද බලන්න. බීල වැඩි කෙනෙක්ව ටැක්සියකවත් නග්ගල යවන්න මතක තියාගන්න. ඒ වගේම තමුන්ට ගෙදර යන්න විදියක් තියෙනවද කියලත් බලන්න. යන්න සල්ලි තියෙනවද කියලා හොයන්න. ඒ අදාළ යාළුවගේ වයිෆ් හෝ අම්මා සැරයිනම් ඌව ගොඩදාන්න තවත් එකෙක ඒ ගමන යන්න.
තවත් වැදගත්ම දෙයක් තමයි බීලා ඩ්‍රයිව් කරන්න එපා කියන එක. මොකද ඔයා බීලා ආතල් ගත්තට අනිත් මිනිස්සුන්ගෙ ජීවිත පළි නෑනෙ.