සොයන්න
උණුසුම් පුවත්

එදිනෙදා ජීවිතය

පොඩ්ඩාගේ පොඩි බඩගින්නට රසට පිරිසිදුවට ගෙදරම හදන්න පුළුවන් ස්නැක්ස්

මේ කෑම අපි විශේෂයෙන්ම හදාගන්න කියන්නෙ පොඩි ළමයින් වෙනුවෙන් වුණාට මේවා වැඩිහිටියන්ටත් හරිම රසට කන්න පුළුවන් ස්නැක්ස් බව මේ සටහන කියෙව්වට පස්සෙ ඔයාලටත් තේරුම් යාවි. හැබැයි මේ වගේ ස්නැක්ස් උවමනා වෙන්නෙ නං විශේෂ කාරණාවක් නිසා. ඒ තමයි පොඩ්ඩො කෑම කන්න තරමක් මැළි වීම. පොඩ්ඩො කෑම නොකා හිටියාම අම්මලාගෙ හිතට අමාරු නිසා සාමාන්‍යයෙන් පොඩ්ඩො ගැන කතා කරද්දි පවුල් සෞඛ්‍ය සේවිකාවො කියන්නෙ නම් වසට ප්‍රධාන වේල් තුනක් සහ අමතර වේල් දෙකක් හැකි උපරිම පෝෂ්‍යදායි ආකාරයට පොඩ්ඩොන්ට ලබා දෙන්න කියලයි. අන්න ඒ නිසා ම අපි හිතුවා පොඩ්ඩන්ගෙ බඩ පිරෙන්න, අවශ්‍ය පෝෂණයත් හොඳටම ලැබෙන්න, ගෙදරදීම පිරිසිදුවට හදාගන්න පුළුවන්, පොඩ්ඩන්ටම තනියෙන් කන්නත් පුළුවන් විදියේ කෙටි කෑම වර්ග කිහිපයක් හදාගන්න විදිය ගැන සටහනක් තබන්න.

අපි මේ සටහන තියන්නෙ ප්‍රධාන වශයෙන්ම යොදාගන්න දේ අනුව හදාගන්න පුළුවන් කෑම වර්ග විදියට. මීට අමතරව ඔයාලගෙ අලුත් අදහස් තියෙනවා නම් අපිට කියන්නත් අමතක කරන්න එපා.

 

1.එළවලු

තැම්බූ එළවලු

කැරට්, බෝංචි, ගෝවා, බ්‍රොකොලි, වට්ටක්කා, බීට් රූට් කැමති හැඩයකට කපාගන්න. භාජනයකට වතුර දමා ලුණු ස්වල්පයක් එකතු කර උතුරවා ගන්න. වට්ටක්කා කැබලි ටික උතුරන වතුරට දමා විනාඩි 3-4ක් තම්බා ගන්න. එයට කැරට් එකතු කර විනාඩි 2ක් පමණ තම්බාගන්න. බෝංචි කැබලි දමා තව විනාඩියක් පමණ තම්බා ලිප නිවා ගෝවා සහ බ්‍රොකොලි එකතු කර විනාඩියක් පමණ තියා එම එළවලු වෙනත් බඳුනකට ඉවත්කර වතුර පෙරාගන්න. උතුරවාගත් වතුර බඳුනටම බීට් රූට් කැබලි දමා විනාඩි කිහිපයක් තම්බාගෙන වතුර පෙරාගන්න. මෙම එළවළුවලට ගම්මිරිස් කුඩු ස්වල්පයක් සහ බටර් එකතුකර වැඩිහිටියෙකුගේ අධීක්ෂණය යටතේ බබාට තනියම කන්න දෙන්න.

 

2.බැදපු එළවලු

කැබලි කපා ගත් එළවලු බාගෙට තම්බාගන්න. කොර්න් පිටි සහ පාන් පිටි සම සමව අරන් වතුර සහ ලුණු ගම්මිරිස් ස්වල්පයක් එකතු කර බැටර් එකක් හදාගන්න. පාන් පිටි වෙනුවට කඩල පිටි ගන්නත් පුළුවන්. බැටර් එකේ තවරාගත් එළවලු කැබලි බිස්කට් කුඩුවල දවටා ගැඹුරු තෙලේ බැදගන්න.

 

3.ඇට වර්ග

තැම්බූ ඇට වර්ග

කඩල, රතු කව්පි, සුදු කව්පි, කොල්ලු කඩල, මුං ඇට, ග්‍රීන් පීස්, බඩ ඉරිඟු වගේ වර්ග කිහිපයකින් ඇට ස්වල්පය බැගින් අරන් තම්බලා බටර් ස්වල්පයක්, රටකජු සහ වියළි මිදී  සහ ආමන්ඩ් එකතු කරලා බබාට කන්න දෙන්න. විවිධ වර්ණ සහ රස නිසා බබාලා මේ විදියට කන්න ආසා වෙනවා. අවශ්‍ය නම් තම්බාගත් එළවලු සහ පැස්ටා ස්වල්පයකුත් එකතු කරන්න.

 

කඩල, කඩල පරිප්පු හෝ කැමති ඇට වර්ගයක් තම්බා ගැඹුරු තෙලේ බැද ලුණු, මිරිස්කුඩු ස්වල්පයක් දවටා කෑමට ගන්න පුළුවන්.  

 

4.පළතුරු පොප්සිකල්

මේ ගිනියම් දවස්වල අයිස් ක්‍රීම් පොප්සිකල් එකක් දුන්නොත් මොන පොඩ්ඩා ද එපා කියන්නේ? අඹ, දොඩම්, පැපොල්, ස්ට්‍රෝබෙරි, මිදී, කිවි, කොමඩු වගේ පාට කිහිපයක පළතුරු අරන් කැබලි කපාගන්න. ඩ්‍රින්කින් යෝගට් සමග මේ පලතුරු කැබලි මිශ්‍ර කරලා පොප්සිකල් මෝල්ඩ් වල දාලා අධි ශීතකරණයේ තියන්න.

 

එහෙමත් නැත්තන් පළතුරු වෙන වෙනම බ්ලෙන්ඩ් කරගෙන තට්ටුව බැගින් පොප්සිකල් මෝල්ඩ් එකට පුරවන්න. හැබැයි මේ ක්‍රමයේදී ටිකක් වෙලා යනවා. මොකද එක පළතුරු තට්ටුවක් හයි වෙනකන් ඉදලා තමයි අනිත් පළතුරු තට්ටුව දාන්නේ. අතර මැදට යෝගට් දාන්නත් පුළුවන්.

 

5.අලවර්ග වලින්

 

 i. අර්තාපල්/ බතල චිප්ස්

අල වර්ගය බාගෙට තම්බලා තෙත මාත්තු කරලා පෙති හෝ තීරු කපාගන්න. ගැඹුරු තෙලේ මඳ ගින්නේ බැදගෙන ලුණු ගම්මිරිස් ස්වල්පයක් දවටාගන්න.

 

 ii.බැදපු අල

ඉහතින් දක්වලා තියෙන එළවලු බැදපු විදියටම තම්බාගත් අල වර්ගත් බදින්න පුළුවන්. හැබැයි අල වර්ග මුලින්ම හොඳින් තම්බගන්න.

 

iii.අල රොටි

කැරට්, බෝංචි, ළූණු, පලා වගේ දාලා හදන පෝෂණ  රොටියට තම්බලා පොඩි කරගත්ත අල ගෙඩියකුත් එකතු කරලා සාමාන්‍ය විදියටම රොටිය හදාගන්න.

 

6.නුඩ්ල්ස්, පැස්ටා

i.චීස් පැස්ටා

මේක නම් ප්‍රධාන වේලකට වුණත් දෙන පුළුවන්. පැස්ටා තම්බගන්න වෙලා යන නිසා පැස්ටා ටික විනාඩි 20ක් විතර වතුරේ පොඟවා ගන්න. වතුර බඳුනකට ලුණු ස්වල්පයක් එක කර උතුරවාගෙන් පැස්ටා ටික දමා අවශ්‍ය තරමට තම්බා ගන්න. සීතල වතුරින් සෝදා ගත් පැස්ටා ෆ්‍රෙෂ් මිල්ක් එකතුකර කිරි ටික හිඳෙන තුරු තම්බන්න. කිරි හිඳෙන්නට පෙර පොඩි කරගත් චීස් කෑල්ලක්, ගම්මිරිස් කුඩු ස්වල්පයක් හා අවශ්‍යනම් ලුණු බිඳක් එකතු කරගන්න. මෙයටම අවශ්‍ය නම් මස් හෝ මාළු හෝ බිත්තර දමා රස කරගන්නටත් පුළුවන්.

 

ii.නුඩ්ල්ස් මුරුක්කු

සහල් නුඩ්ල්ස් වර්ගයක් තෝරාගෙන තරමක කැබලිවලට කඩාගන්න (අඟල් 2ක් පමණ ). තාච්චියක් ලිපේ තියා තෙල් හොඳින් රත්කරගෙන ලිපේ ගින්දර අඩු කරගන්න. නුඩ්ල්ස් ස්වල්පය බැගින් වරින් වර තෙලට දමා බැදුණු පසු තෙල් බේරෙන්න තියන්න. හරි විදියට බැදෙනවා නම් නුඩ්ල්ස් තෙලට වැටෙනකොට පපඩම් වගේ හීනියට පිපෙනවා. කර වෙලා දුඹුරු පාට වෙනවා නම් ඒ හරි විදියට බැදිලා නෙවෙයි. තෙල් බේරාගත්ත නුඩ්ල්ස් මුරුක්කුවලට ලුණු මිරිස් කුඩු ස්වල්පයක් එකතුකරගන්න.

Tags