සොයන්න
උණුසුම් පුවත්

එදිනෙදා ජීවිතය

පොඩ්ඩෙකුට සෙල්ලම් බඩු අරං දෙන්න කලින් මේ ගැනත් හිතන්​න

සාමාන්‍යයෙන් අපි කාටහරි දෙන්න දෙයක් අරගනිද්දි අපි හිතන්නෙ ඒ කෙනාගෙ කැමැත්ත අකමැත්ත ගැන විතරයි. හැබැයි ඉතිං පොඩ්ඩෙකුට තෑග්ගක් දෙනවනං අපිට ඊට වඩා ගොඩක් දේවල් ගැන හිතන්න වෙනවා. ඒ මොනවා ගැනද කියලායි මේ සටහන ලියැවෙන්නෙ. අනික ඔය චොක්ලට් හෝ වෙනිං කෑම බීම වගේ දේවල් නං නොයෙක් සෞඛ්‍ය හේතු නිසා අපි දරුවන්ට නොදී මගහැරියත් සෙල්ලම් බඩු කියන්නෙ කවදාවත් දීලා ඉවරයක් කරන්න බැරි දෙයක්. ඒ වගේම කොයිතරම් පරිස්සමෙන් පාවිච්චි කළත්, දරුවා ලොකු වෙද්දි ආයෙ ආයෙත් ඒ අදාළ වයසට ගැලපෙන්න ඕන කරන දෙයක්. අන්න ඒ නිසා හිතවතෙකුගෙ දරුවෙකුට හරි සෙල්ලම් බඩුවක් අරගෙන යද්දි මේ අපි කියන කාරණා ගැන තරමක් හිතලා බලලා සෙල්ලම් බඩුවක් තෝරන්න.

 

කැමැත්ත

 

අපි මුලින්ම කිවුවනෙ කැමැත්ත විතරක් හොයලා හරියන්නෙ නෑ කියලා. හැබැයි කැමැත්ත හොයන්නෙ නැතුවත් බෑ. සමහර ළමයි වැඩිපුරම ආසා පාටක් එහෙමත් තියෙනවා සෙල්ලම් බඩුවල. මොකද තෑග්ගක් දෙද්දි වැඩිපුරම සතුටු වෙන්න ඕන තෑග්ග ලබන කෙනා. මේ කතාවෙදි නම් දරුවා. ඒ නිසා දරුවෙකුට තෑග්ගක් දෙන්නට කලින් දරුවා වැඩිපුරම කැමති මොනවගේ දේවල්වලටද කියලා අම්මා තාත්තාගෙන් අසා දැනගන්න එකත් වටිනවා. උදාහරණෙකට දරුවා වැඩිපුරම කැමති ක්‍රිකට් ආම්පන්නවලටද? කාර්වලටද? නැත්නම් සෙල්ලං ගෙවල් වැනි දේටද කියා හඳුනාගැනීම එම දරුවා සතුටු වෙන තත්ත්වයක්. 

 

ටිකක් වැඩිපුර විස්තර හොයන්න

පොඩ්ඩාගේ කැමැත්ත වගේම දෙමව්පියන්ගේ අදහසත් විමසන්න පුළුවන් නම් කදිමයි. මොකද ඔබේ තෑග්ගෙන් සතුටු වෙන්න සහ පුදුම වෙන්න ඕන පොඩි දරුවා විතරයිනෙ. එනිසා දෙමව්පියන්ගෙන් විමසලා තෑග්ගක් අරගෙන දෙන්න පුළුවන් නම් වටිනවා. එහෙම කරන එකෙන් දෙමව්පියන් කලින් අරං දීපු තෑග්ගක් අරං නොදීමට හේතුවක් වෙනවා. ඒ නිසා ඔයාගේ මුදල් අපරාදේ නාස්ති වෙන්නෙ නෑ. ඒ වගේම සමහර දෙමව්පියන් දරුවන්ට ලබා නොදෙනවා යැයි සිතා සිටින සෙල්ලම් බඩුත් ලබා නොදී ඉන්නට මේ ක්‍රමය නිසා හැකියාවක් ලැබෙනවා.

 

කරදරයක් කරගන්නෙ නෑ නේද?

තෑග්ගක් දෙද්දි හිතන්න ඕන වැදගත් ම දෙයක් තමයි, ඒ දෙන තෑග්ග පොඩ්ඩෙකුට දෙන්නට තරම් ආරක්ෂාකාරියිද කියන එක. එහෙම තෑග්ගක් හොයන්න ලේසි නැති වෙන්න හේතු කීපයක්ම තියෙනවා. සමහර තෑගි පොඩ්ඩො ගිලින්න ඉඩ තියෙනව. එනිසා අපි තෝරාගන්න තෑග්ග පොඩ්ඩෙකුට ගිලින්න පුළුවන්ද කියන එකත් මුලින්ම බලන්න ඕන. මොකද සමහර සෙල්ලම් බඩු උගුරේ හිරවීමෙන් පොඩ්ඩොන්ට වෙච්ච කරදර ගැන අපිට ඕන තරම් අහන්න ලැබිලා තියෙනවානෙ. ඊටපස්සෙ අනිවාර්යෙන්ම හිතන්න ඕන දේ තමයි මේකෙන් පොඩ්ඩො තුවාලයක් කරගනියිද කියන එක. ඒ කියන්නෙ මේ සෙල්ලං බඩුවෙ තියුණු උල් වගේ දේවල් තියෙනවද කියන එක. ඒ වගේම ලේසියෙන් බිඳෙන වීදුරු තෑගි, ඇතුළත නොයෙක් රසායනික ද්‍රව්‍ය පිරවූ තෑගිත් දරුවාට ලබා නොදී සිටිනවා නම් හොඳයි.

 

ඒ ඒ හැටියට ඒ ඒ තෑගි

පොඩ්ඩාගේ හැසිරීමේ හැටියට තෑගි දෙන එකත් වටින වැඩක්. සාමාන්‍යයෙන් ඒ අදාළ පොඩි දරුවා අතට හසුවන බොහෝ දේ විසි කරන දරුවෙකු නම්, එය නිවැසියන්ට වගේම නිවසේ බඩු මුට්ටුවලටත් අහිතකර කාලයක් බව නොරහසක්. එවැනි පොඩ්ඩෙකුට ශක්තිමත් ලීවලින් සැදූ නිෂ්පාදන හෝ ඝනකම සෙල්ලම් බඩු ලබා නොදෙන තරමට එම නිවැසියන්ට එය වාසි සහගත වනු ඇති. ඒ නිසා ඔබ තෑග්ගක් ලබාදෙන පොඩ්ඩා එවන් පොඩ්ඩෙක් නම් ස්පොන්ජ් වලින් ආවරණිත නිෂ්පාදන ලබාදෙන්නට ඔබට හැකියි. ඒ වගේම හැමදේම ගලවලා බලන්න ආසා කරන පොඩ්ඩන්ට ඒ විදියට ගලවන්න ලේසි සෙල්ලම් බඩු දෙන එකත් එයාලට වටිනවා.

 

 

වයසට ගැලපෙනවද?

පොඩ්ඩෙකුට තෑග්ගක් අරගෙන දෙන්නට කලින් ඒ තෑග්ග ඒ පොඩ්ඩාගේ වයසට ගැලපෙනවාද කියා බලන එකත් වැදගත්. බොහෝ නිෂ්පාදනවලනම් අදාළ වයස් කාණ්ඩය නම් කර තිබෙනවා. ඒ වයස් කාණ්ඩය නිවැරදි ලෙසින් තෝරාගැනීම අතිශය වැදගත්. දරුවාට පහළ වයස් කාණ්ඩයක යමක් දුන්නොත් එය දරුවාගේ මනසට කිසිඳු සුබවාදී දෙයක් නොකරන අතරම, ඉහළ වයස් කාණ්ඩයක යමක් ලබාදුනහොත් එය දරුවාට තේරුම් ගැනීමට අපහසු වේවි.

 

නිර්මාණශීලීත්වයට හෝ ක්‍රියාශීලීත්වයට

සාමාන්‍යයෙන් තෑග්ගෙන් දරුවා සතුටු වෙන්න ඕන තමයි. ඔයා දෙන තෑග්ග කොයි තරම් දරුවාගේ මනස දියුණු කරත් එයින් දරුවා සතුටු වෙන්නේ නැතිනම් වැඩක් වෙන්​​නෙ නෑ. නමුත් හැකිතාක් තෝරාගන්න තෑග්ගෙන් දරුවාගේ නිර්මාණශීලීත්වයට උදවුවක් කරනවාද කියාත් සැළකිලිමත් වෙන්න. උදාහරණයකට දරුවාට නිකම්ම බලාගෙන සිටින්නට තෑග්ගක් ලබාදෙනවාට වඩා දරුවාගේ මොළය වෙහෙසවන, දරුවාටත් එක්ව ක්‍රියාකාරකමක් සිදු කළ හැකි තෑග්ගක් දරුවාට දෙන්න පුළුවන් නම් වටිනවා. එය ශරීරය තරමක් වෙහෙසවන සුළු, දරුවාගේ ක්‍රියාශීලීත්වය නංවන දෙයක් නම් තවත් කදිමයි. ඒ වගේම අධ්‍යාපනයේ මුල් පියවර තබන දරුවෙකුට නම් වඩා නිර්මාණශීලී ලෙසින් අධ්‍යාපනයට උදව් වෙන තෑගි අරං දීමත් වටිනවා.

Tags