එදිනෙදා ජීවිතය
බඩු මිල වැඩි මේ කාලේ පොකට් එකට වාසි විදියට ජීවත්වෙමු

බඩු මිල එන්න එන්නම වැඩි වෙනවා, විදුලි බිල, ඉන්ධන, ජල බිල, අන්තර්ජාලය වගේ වර්තමානයේ මුඛ්‍ය අවශ්‍යතා ටික සපුරාගන්නට ලැබෙන ආදායම මදි බව උග්‍ර විදියට දැනෙන කාලයක්. ඒ වගේ කාලෙක අපි මේ සටහන තබන්නේ පටි තද කරගන්න කියලා මතක් කරන්න නෙමෙයි. අපි කවුරුවත් අපහසුවෙන් ජීවත් වෙන්න උවමනා නෑ වගේම, අපහසුව දරාගෙන ඉන්න ඕනෙත් නෑ. අපිට පුළුවන් වෙන්න ඕන අපහසුව ජයගන්න. ඒ නිසා මේ සටහන තියන්නෙ අපිට කොයි කාලෙත් වැදගත් වෙන ජීවන රටාවකට උදව්වක් වෙන විදියට. Ceylon Journal අපි මේ කියන කතාව ඔයාලට ජීවිතයේ පහසුව අත්විඳින්න උදව්වක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.
විකල්ප
අපේ ජීවිතේ අපි සතුට විඳපු, පහසුව අත්දැකපු අවශ්‍යතා අවම කරගන්නවා හෝ පටි තද කරගන්නවා වෙනුවට අපිට පුළුවන්ද අපේ අවශ්‍යතා වෙනුවෙන් වඩාත් ලාබදායී විකල්ප තෝරාගන්න? අන්න එහෙමනම් මේ කියන දේ ඒ කාරණයට උදව්වක් වේවි. ඔබට පුළුවන් ඔබට අවශ්‍ය ප්‍රඩක්ට් එක ලබා ගත හැකි ලාබදායී බ්‍රෑන්ඩ් එකක් තෝරාගන්න. එය ඔබට ඔබ වෙනුවෙන් අත්‍යවශ්‍ය යැයි තීරණය කරපු සේවාවන් වෙනුවෙනුත් භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම හැකිතාක් මිලදී ගැනීම් වෙනුවට සකසා ගැනීම් ආරම්භ කළොත් ඔබට විශාල මුදලක් ඉතිරි කරගන්නටත් පුළුවන්. මෙන්න මේ විකල්ප තෝරාගැනීම මගින් මාසයක් පුරාවට නොයෙක් වූ, භාන්ඩ හහා සේවා සඳහා ඔබට විශාල මුදලක් ඉතිරි කර දේවි.
අරපිරිමැස්මට වැඩි ඉඩක්
අපි නොහිතන සුළු වෙනස්කම් එක්ක අපිට නාස්තිය අවම කරගන්නට හැකියාව ලැබෙනවා. විදුලිය වැඩිපුර භාවිතා වන රාත්‍රී කාලය නිවසේ සැවොම එක්ව කාලය ගත කිරීම විදුලි පංකා සහ විදුලි බුබුළු රැසක් නිවා දමන්නට හේතුවක් වෙනවා. නිවසේ දරුවන් පාසල් වෑන් සේවයකින්, රැකියාව සඳහා දෙමවුපියන් වෙනම වාහනවලින් යනවාට වඩා, කාලය සුවපහසු ලෙස සකසා ගෙන එක ගමනකින් මේ සියල්ල සිදු කරගත හැකි නම් ඔබට විශාල වියදමක් ඉතිරි කර ගත හැකි වනු ඇති. නිවසේ සතියක ආහාර වෙනුවෙන් ව්‍යංජන කිහිපයක් එක වර උයා තබා ගැනීමෙන් ආහාර නාස්තිය අවම කරන්නත්, ගෑස් නාස්තිය අවම කරගන්නත් හැකියාව ලැබෙනවා.
ආයෝජන
ඉහත කිවූ සංකල්ප ගැන කතා කරද්දි අපිට වැටහෙන්නට ඕන දෙයක් තමයි ආයෝජන කියන්නෙ. මේ කියන්නෙ සාම්ප්‍රදායික මූල්‍ය ආයෝජන ගැන නම් නෙමෙයි. මේ කියන්නෙ අපි අපගේ සරළ ජීවිතය වෙනුවෙන් කරන ආයෝජන ගැනයි. ඒ ගැන සරළ මිල සූත්‍රයක් ඔබට පෙන්වන්නම්. ඔබ නිවසේ පරිභෝජනයට කෝපි අරගත්තත්, ඔබට රැකියාව ආරම්භයට පෙර කෝපි කෝප්පයක් අවශ්‍යයි. එනිසා ඔබ රැකියා ස්ථානය අසළ කෝපි අවන්හලෙන් රුපියල් 700 – 1000 අතර මුදලකට කෝපි කෝප්පයක් මිලට ගන්නවා. මෙය සතියකට ආසන්න වශයෙන් දින 22ක් සිදු කරන්නට රුපියල් 20,000කට ආසන්න මුදලක් වැය වෙනවා. නමුත් පැය කිහිපයක් රස්නය රඳවා ගත හැකි තර්මල් කප් එකක් වෙනුවෙන් ඔබ ආයෝජනය කළ නම් ඔබට එක් මාසයක් තුළ විශාල මුදලක් අනවශ්‍ය ලෙසින් වියදම් වීම නවත්වා ගත හැකිව තිබුණා. මේ ආකාරයට අපි ඉහත කිවූ මීල් ප්‍රෙප් වැනි බොහෝ සංකල්ප වෙනුවෙන් යම් මූලික මුදල් ආයෝජනයක් සිදු කළ යුතු වුවත්, එය ඔබට ගෙන දෙන වාසිය ඉහළයි.
නැවත නැවතත් ප්‍රයෝජන
රාත්‍රියේ ඉතිරිවන ආහාර නැවත සකසා ගැනීම, ඉවත ලන ඉඳුල් කොම්පෝස්ට් බවට පත් කිරීම, ඉවත ලන ප්ලාස්ටික් සහ පොලිතීන් නැවත භාවිතය, ඉවත ලන රෙදි නැවත භාවිතය වැනි දේ අපි හිතාමතාම මගහරින දේවල් අතරට එකතු වෙනවා. ඒ වගේම නැවත ප්‍රයෝජනයක් අවශ්‍ය නොවුවත් යම් වටිනාකමක් ඇති දෑ, අපට අලෙවි කරන්නටත් හැකියාව තියෙනවා. උදාහරණයකට එක්වරක් දෙවරක් භාවිතා කළ ඇඳුම්, කියවා අවසන් කළ මුත් ළඟ තබා ගත යුතු යැයි නොහැඟෙන පොත්, තෑගි ලැබුණු ඉලෙක්ට්‍රොනික උපාංග නිවස තුළ ගොඩ ගසා ගන්නවා වෙනුවට ෆේස්බුක් මාකට් ප්ලේස් හෝ එවන් සේවාවක් තුළින් නැවත අලෙවි කිරීම ඔබට ප්‍රයෝජනවත් වේවි.
මොළයෙන් මිලදී ගැනීම
නිවසට එදිනෙදා භාන්ඩ මිලදී ගැනීමේදී ඔබ භාවිතා කරන අලෙවිසැල් සහ ඔබේ ක්‍රෙඩිට් කාඩ් පතේ ප්‍රචාරණයන්ට සවන් දීම වඩා වැදගත්. උදාහරණයකට සතියේ තෝරාගත් දිනයක ඔබේ ක්‍රෙඩිට් කාඩ් පත යොදාගෙන මස් හෝ මාළු මිලදී ගන්නා විට 25%ක වට්ටමක් හිමි වන බව ඔබට මගහැරී ඇති. මාසයේ එක් දිනක් ඔබේ ක්‍රෙඩිට් කාඩ් පත භාවිතයෙන් පීට්සා මිලදී ගන්නා විට එකට එකක් නොමිලේ ලැබෙන බව ඔබ නොදන්නවා ඇති. ඔබට අවශ්‍ය ඉලෙක්ට්‍රොනික උපාංගයක් අවුරුද්දේ එක් කාලයකදී 20%ක වට්ටමක් සමග මාස 24කදී ගෙවා නිම කරන්නට ලැබෙන බව ඔබ තවම නොඅසා ඇති. එවැනි දේ ගැන වැඩි අවධානයක් යොමු කිරීම වටිනවා. ඒ වගේම ඔබ සාමාන්‍යයෙන් භාන්ඩ මිලදී ගන්නා සුපිරි වෙළඳසැලේ හෝ තොග කඩයේ ඒ ඒ සතියට වට්ටම් ලබා දෙන අයිතමයන්ට අනුව ඔබේ මාසික අවශ්‍යතා සීරු මාරු කරගැනීමත් ඔබට විශේෂ උදව්වක් වේවි.
අපි මේ කිවුවෙ වැඩි මහන්සියකින් තොරව සැළකිය යුතු මුදලක් අතට ඉතිරි කරගත හැකි ක්‍රම කීපයක්. මේ ගැන ඔබ අත්හදා බලපු ඔබේ තොරතුරුත් අපිට කියන්න අමතක කරන්න එපා.