සොයන්න
උණුසුම් පුවත්

එදිනෙදා ජීවිතය

අසල්වැසියෝ ජීවිතේට අත දාද්දි ඔයාලා කරන්නෙ මොනවද?

ෆේස්බුක් ටයිම්ලයින් එකේ උඩ පහළ ගියොත් අසල්වැසියොන්ට එකේක කතා කියපු පෝස්ට් බොහොමයක් දකින්න පුළුවන්. ඒ විදියට තමයි අසල්වැසියො සහ අපේ සම්බන්ධය දැන් වෙද්දි හැඩ ගැහිලා තියෙන්නෙ. ඉඳලා හිටලා පාරක මේ තත්ත්වය වෙනස් වුණත් පොදුවේ නගරබදව මේ කතාවෙ කිසිම වෙනසක් නෑ. ඉස්සරනං විශාල වතුපිටි එක්ක, තාප්ප නැති, එකිනෙකා සතුටෙන් සමාදානයෙන් උන්නු අසල්වැසි සබඳත් අපිට තිබුණත්, ඉඩකඩින් ටික ටික ලං වෙද්දි බැඳීම් තරමක් දුරස් වුණාද කියලත් හිතෙනවා. හොරු පනින නිසා තාප්ප උස් වුණා, රූපවාහිනිය නිසා ගෙදරින් එළියට එන එක අවම වුණා, කම්පියුටර් නිසා කාමරෙන් සාලෙට එන එකත් අවම වුණා, ස්මාට්ෆෝන් නිසා ඔළුව උස්සලා බලන එකත් අවම වුණා, ඒ නිසාම ඉතිං බොහෝ සබඳතා නැවතුනා වෙන්නත් පුළුවන්.

කොහොමින් කොහොම හරි අසල්වැසියො අපේ ජීවිතයට උදව් වෙන අවස්ථා ප්‍රමාණය අඩු වෙද්දි වාතයක් වෙන අවස්ථා ප්‍රමාණය වැඩි වෙලා තියෙන නිසාමයි අපි මේ ගැන කතා කරන්නෙ. අපි කියන්න යන්නෙ අපේ ජීවිතවලට අසල්වැසියෝ අත දාන හැටි ගැන. ඒ වෙනුවෙන් ඔයාලා කරපු කියපු දේවල් ගැන රස කතා ඔයාලට අපිට කමෙන්ට් එකක් විදියට කියන්න පුළුවන්.

 

මොකද්ද පුතා අර ඊයෙ සද්දෙ?

අසල්වැසියොන්ට කරන්ට් ඉෂූස් දැනගන්න පුදුම නොඉවසිල්ලක්​නෙ තියෙන්නෙ. සාමාන්‍ය අතපෙවීම්වලට අමතරව ඊයේ දිනයේ ගෙදරට කන තියාගෙන හිටියට පස්සෙ අහන්න ලැබුනු දේවල් ගැන ඒ හාරඅවුස්සන් පටන්ගන්නෙ කිසිම ලැජ්ජාවක් හරි හිරිකිතයක් හරි නැතුව. පොඩි එකා රෑ අඩන සද්දයක් එක්කම දෙමවුපියන් කේන්තියෙන් කෑගහන සද්දයක් ඇහුනොත්, ඇයි ඊයේ පොඩි එකාට ගැහුවෙ කියල තමයි අහන්නෙ කෙලින්ම. ආයෙ දෙකක් නෑ. ඒ වෙලාවට ඒ ඉතිං මගේ දරුවනෙ කියල පොඩි හින්ට්මය උත්තරයක් දුන්නනං ඔය ප්‍රශ්න නවතීවි. මේ විදියට හැම සද්දයක් ගැනම උදේට වාර්තාවක් අරගන්න එයාලා දොර ගාවට එන්න ඉඩ තියෙනවා.

 

තත්වෙ

අසල්වැසියන් කරන තවත් දෙයක් තමයි තත්වෙ මැන බැලීම. එහෙමත් නැත්තං ස්ටේටස් චෙක් කිරීම. ඉස්කෝලෙට සුදු දිග කලිසම් අඳින්න ගත්ත දිනේ පටන් එයාලා ස්ටේටස් චෙක් කරන ගමන් ඉන්නෙ. තාමත් කෙල්ලෙක් ගැන හිතේ කැමැත්තක් නැද්ද? දැන්වත් කෙල්ලෙක් එක්ක සෙට් නැද්ද? ඒ ගැන තාම ගෙවල්වලට කිවුවෙ නැද්ද? ඒ කෙල්ලව බඳින්නෙ නැද්ද? දරුවෙක් මල්ලෙක් නැද්ද තාමත්? පොඩි එකාගෙ තනියට තව එකෙක් නැද්ද? කියල නොහොයන අසල්වැසියෙක් ලබන්න නං පින් කරන්න ඕන. මොකද ඉතිං බොහෝමයක් අසල්වැසියො ඔය ස්ටේටස් චෙක් කිරිල්ලෙ තමයි ඉන්නෙ. රස්සාවල් ගැන, ඉඩකඩම්, යානවාහන, ඇතුළු කොයි දේ ගැන වු​ණත් ඔය තත්වෙම තමයි.

 

ඔහොම නෙමෙයි මෙහෙම 1

අසල්වැසියෝ ඇණයක් වෙන තවත් විදියක් තමයි මේ කියන්න යන්නෙ. මේක වෘත්තීයමය අතපෙවීමක්. උදාහරණෙකට මෙහෙම හිතමුකො. ඔන්න ගෙදරක අලුතෙන් හදනව යම් කොටසක්. අසල්වැසියො ඇවිල්ල ඒ දිහා බලන් ඉඳලා මේක මේ හදන විදියට හොඳටම ගඩොල් නාස්ති වෙනව නේද? මුං හොරාකනව ඇති වගේ ටෝක් දෙනව. ඔය කියන දේවල් බාස් මහත්තුරුන්ට ඇහුනම ගෙදර හිමිකාරයත් එක්කම අපහසුතාවයට පත්වෙනවා. ඔය දේම එයාලා වෘත්තීය හා තාක්ෂණවේදය, ඉවුම් පිහුම්, වාහන කාර්මික ආදී නොයෙක් පැතිවලට ගෙනියනවා. එනිසා ඔහොම නෙමෙයි මෙහෙම කියන අය නැති පැත්තක ජීවත් වෙන්න තියෙනවා නම් හොඳයි.

 

මං මේ නිකං හොයා බලන්නයි අහන්නෙ…

පුතා ගෙදර එන්නෙ හුඟක් රෑ වෙලා නේද? ඊයෙ දවල්ටත් කෑවෙ කඩෙන් නේද? මොකද උයන්නෙ නැද්ද? හස්බන්ඩ් ඩ්‍රින්ක් එක දානව වැඩියි නේද? මං ඊයෙත් දැක්ක පාරෙ වැනි වැනි එනව. ඔය විදියට අහන අය අපිට පෙන්වන්නෙ ඒක එයාලා අපි වෙනුවෙන් අනුකම්පාවෙන් අපි ගැන හොයා බලමින් අහන විදියට. නමුත් ඕක තනිකරම කරන්නෙ අවුලවන්න හිතාගෙන. ඇත්තටම ඔය කියන මනුස්සය පාරෙ වැනි වැනි ආවෙ නෑ වෙන්න පුළුවන්. ගෙදරට එන පටුපාරෙ ඒ පාරෙ වැසියෙක් වැනි වැනි ආවත් ඒක තවත් මිනිහෙකුට ප්‍රශ්නයක් වෙන්න විදියක් නැහැනෙ. මේක තනිකරම අවුලවන්න කරන ප්‍රකාශයක්. අන්තිමට ඉතිං මොකෝ ඔච්චර බොන්නෙ ඔයාලා රණ්ඩු වුනාද? වගේ සෙන්ටිමෙන්ටල් වචනයක් දාලා ගිනින්ට පෙට්‍රල් ටිකකුත් දාලම යවන්න එයාලා දක්ෂයි.

 

ඔහොම නෙමෙයි මෙහෙම 2

ඔහොම නෙමෙයි මෙහෙම කියන අයගෙ ඊළඟ පියවර තමයි මේ. ඒ තමයි නිවැසියන්ට අවශ්‍යතාවයක් නැතිදේ ගැන ඔලුවට දාන එක. හැම දාම පාරෙ ත්‍රීවීල්වල යන්න එපා, දැන් කාර් එකක් ගන්න කාලෙ හරි. අපෙ පුතා ඔය විදියෙ වැඩ ගැන හොඳට දන්නවා. එයාට කිවුවොත් මොකෝ? ආයෙ ඉතිං පර්චස් පහේ ඉඩක් ගෙයක් අටවං ඉන්න මිනිස්සුන්ට අත්ට්‍රැක්ටරයක් ගත්තොත් මොකෝ වගේ ගොං අයිඩියාස් තමයි එයාලා දෙන්නෙ. දැන් ලොකු අල්මාරියක් ගන්න. ගෙවල් ගාව කඩේ අල්මාරි ලාබයි. වගේ ගොන් කතා කියල මොළ කන එක එයාලගෙ රාජකාරිය. ඔහොම නෙමෙයි මෙහෙම 2 වර්ගයේ කට්ටිය කරන්නෙ නැති දෙයක් වෙනුවෙන් අපිව වෙහෙසවන එක.

 

මාගේ දෑස ​දෙස බලනු!

ඔය අසල්වැසියො අතදාන තවත් දෙයක් තමයි ටීවී එකේ සද්දෙ කියන්නෙ. මේ කියන්නෙ තමුන් බලන දේ රටටම ඇහෙන්න සද්දෙට දාන එක ගැන නෙමෙයි. මේ කියන්නෙ බලන දේ ගැන. එයාලාට ඕන කරනවා අපිත් එයාලා බලන දේ ම බලන්න සලස්වන්න. එයාලා මුලින්ම ඇවිත් මැච් නේද හැමදාම බලන්නෙ? කියල ඇහුවම අපිට හිතෙන්නෙ අපේ ටීවී එකේ සද්දෙ වැඩියි කියල වුනාට එයාලා කම්ප්ලේන් කරන්න නෙමෙයි ඇවිත් තියෙන්නෙ. එයාලා ඇවිත් තියෙන්නෙ මැච් විතරක්ම බලන්නෙ නැතුව සුමදුර ධර්ම සංඝායනාත් බලන්න කියන්න. එහෙමත් නැත්තං රෑ අට යන සෝක් කතාව බලන්න කියන්න. එහෙමත් නැත්නම් දැනුම වැඩෙන්න මෙන්න මේ වැඩසටහන බලන්න කියන්න.

Tags