සොයන්න
උණුසුම් පුවත්

එදිනෙදා ජීවිතය

මිනිමලිසම් කියන්නෙ ලෝබකමද?

සමහරුන්ට මිනිමලිසම් කියන්නෙ ෆැෂන් එකක්. නමුත් ඇත්තටම මිනිමලිසම් කියන්නෙ ෆැෂන් එකකට වඩා අපේ ජීවිතයට ආභරණයක් වෙන්න පුළුවන් දෙයක්. ඇයි අපි එහෙම කියන්නෙ? අපි එහෙම කියන්නෙ ඒකෙන් තියෙන වාසි නිසා. පළමු වාසිය තමයි ලේසිය. දෙවැනි වාසිය තමයි ලාභය. තුන්වැනි වාසිය තමයි වගකීම් අඩුවීම නිසා ලැබෙන සතුට. මේ වගේ මනුස්සයෙක් ජීවිතයේ අත්විඳිය යුතු වාසි තුනක් තනි ක්‍රියාවකින් ලැබෙනවා නම් ඒක අත්හැර සිටීම අපරාදයක්. අන්න ඒ නිසා මිනිමලිසම් පුරුදු වීම අපි හැමෝටම හොඳ දෙයක්. එහෙම වුණත් මේ සටහන කියවලා එක පාරටම මිනිමලිසම් තමුන්ගේ ජීවිත තුළ යොදාගන්න එක අපේ ජීවන රටාව වෙනස් වීමත් එක්ක තරමක් අසීරු වෙන්න පුළුවන්. එනිසා පියවරෙන් පියවර ඒ දේ කරලා බලන්න කියලා අපි ආරාධනා කරනවා. Minimal living එහෙමත් නැත්තං ලුහු ජීවිතයක් කියන්නෙ හරුවෙන්න තරමක් අපහසු වුණත්, හුරු වුණොත් පහසුව වැඩි වෙන දෙයක්.

 

මිනිමලිසම් කියන්නේ මොකද්ද?

ලුහු ජීවිතයක් කියන එකේ මූලික ම පොඩි අදහස තමයි ජීවත්වෙන්න ඕන දේ ඕනම නං විතරක් ජීවත් වීම වෙනුවෙන් පාවිච්චි කිරීම. ඒ තමයි අපේ පරිභෝජනය අඩු වෙලා අපිට මුදල් ඉතුරු වීම. ඒ නිසා හැදෙන වටිනාම දෙයක් තියෙනවා. ඒ තමයි හිතේ නිදහස. ඒ වගේම මේ නිසා ජීවිතයට ලැබෙන ලේසියත් අමතක කරන්න බෑ. අපි කියන්නෙ අඩුවෙන් කන්න කියල නෙමෙයි, දරුවාට සෙල්ලම් බඩු දෙකක් විතරක් දෙන්න කියලත් නෙමෙයි. 

මිනිමලිසම් කියන්නෙ අත්‍යවශ්‍ය දේ පමණක් තියාගෙන ජීවත් වීමට. ඒක ජීවිතයට කාලය සහ මුදල් ඉතිරි කරන්න උදවුවක්. 

 

ඒ වෙනුවෙන් ඔයට වැඩිපුරම අවශ්‍ය මොකද්ද?  

මිනිමලිසම් පවත්වා ගෙන යන්න නම් ඔයාට වැඩිපුරම අවශ්‍ය වෙන්නෙ ඔයාගෙ හිත ගැන ස්ව්‍යං පාලනයක්. මේ කියන ස්ව්‍යං පාලනයට වැදගත්ම වෙන්නෙ ඔයාට ඕන කරන්නෙ මොනවද කියන එක. සාලෙට පුටු කීයක් ඕනද කියන තැන ඉඳන් මේසෙ උඩට පෑන් කීයක් ඕනද කියන දේට වෙනකං හිතන්න වෙනවා. ඒ නිසා ඒ ගැන පොඩි ලැයිස්තුවක් හදාගන්න එක හොඳයි. මේ ලැයිස්තුවට අනුව ජීවිතය හැඩගස්වාගන්න එක ඊටපස්සෙ කරන්න වෙන දෙයක්. මේ දේට හුරු වුණු මුල් කාලෙදි දැනෙන අපහසුව, ජීවිතයට ​ලොකු පහසුවක් වෙනවා පස්සෙ කාලෙකදි. ලෝකයෙන් ඔයා ගන්න ඉඩ අඩු කරගෙන ඔයාගෙ ජීවිතේ ඇතුළෙ ඔයාට ඇති ඉඩ වැඩි කරගන්න. ෆෝන් එකේ තියෙන ඇප් ගාන අඩු කරගන්න, දකින දකින වතාවට ආසා හිතෙන සපත්තු ගැනිල්ල අවම කරන්න. 

 

ඉඩ හදාගන්න ඕන කොහොමද?

පස්සෙ හදාගන්නවා කියලා පැත්තකට දාලා තියෙන පරණ බ්ලෙන්ඩරේ, ඇඳගන්න බැරි නිසා පාවිච්චියකුත් නැති ලොකු ගානක් දීලා ගත්තු නිසා විසි කරන්නත් බැරි ටීෂර්ට්, ඩිලිවර් කරපු ඕඩර් එකක් දාලා ආපු පෙට්ටිය, එකම පාටට මේසෙ උඩ ගොඩ ගැහිලා තියෙන පෑන්, ෆෝන් එකේ පිරිලා තියෙන පාවිච්චි නොකරන ඇප්, ලැප්ටොප් එකේ ඇහිරිලා තියෙන නයිට් ටයිම් ඩේටා අපරාදෙ නිසා ඩවුන්ලෝඩ් කරපු ෆිල්ම්, සාලෙ තියෙන දූවිලි හැමදාම ගසාදාන්න වෙන කවුරුත් හිඳ නොගන්න පුටු, බීලා ඉවර බෝතල්, රෙදි වනන එක්සසයිස් මැෂින්, නොකියවන පොත්, කුස්සියේ පිරුණු හිස් පෙට්ටි ඇතුළු හැමදේම අයින් කරන්න. අයින් කරන්න කියන්නෙ විසි කරන්න කියන එකම නෙමෙයි. අවශ්‍ය වෙන කෙනෙකුට තෑග්ගක් දෙන්න වගේම, හොඳ වටිනාකමක් ඇති දෙයක් නම් විකුණන්නත් පුළුවන්. ලැප්ටොප් එකේ, ෆෝන් එකේ, මේසේ, කුස්සියේ, සාලේ ඉඩ වැඩිවෙලා තියෙනවා දකිද්දි හිතට සතුටක් ඒවි. එතකොට හිතේවි තවතවත් අනවශ්‍ය දේවල් අස් කරන්න.

 

හිතට ව්‍යායාමයක්!

මේ නීතියට කියන්නෙ Use it or lose it කියලා. හරිම සරළයි ඔයාට එපා දේ කියන්නෙ ඔයා පාවිච්චි නොකරන දේ. මේක ගැන හරි තීරණයක් ගන්න අන්තිම මාස 6 තුළ ඔයා යම් දෙයක් දෙපාරකට වඩා පාවිච්චි නොකරාද කියල හිතන්න. සමහර ගෙවල් තියෙනවා අවුරුද්දකට පාරක් දානයක් දෙන නිසා ගෙදර පුටු පුරවාගෙන ඉන්න. එහෙම වෙලාවට පුටු රෙන්ට් කරන්න පුළුවන් වගේම හිත මිතුරන්ගෙන් ඉල්ලාගන්නත් පුළුවන්. අවුරුද්දකට පාරක් එන දේකට දවස් 364ක් හිර වෙලා ඉන්න එක අපරාදයක්නෙ. 

ඒ වගේම මේ කාරණේ ගැන හිතන්න තවත් වැදගත් දෙයක් වෙන්නෙ අනාගතේට ඕන නිසා බඩු පොදි ගහගන්න එපා කියන දේ. මොනවහරි දෙයක් දැන් එපා නං එපා. ඕන වුණු කාලෙක අරගන්න.
තමුන්ගෙන්ම ප්‍රශ්න අහන එක මේ වැඩේදි වැදගත්. ඉමෝෂනල් වීම මේ වගේ වැඩකදි අපිට ලොකුවටම හරස් වෙන දෙයක්. පරම්පරා පින්තූරු, දරුවන්ගෙ කුඩා කාලයේ ඇඳුම් වගේ දේවල් ගැන හිතද්දි, ඔබේ සිතුවිල්ල පාලනය කිරීම ඉතා වැදගත්.

 

පිළිවෙලට වැඩි ඉඩක්

ඉඩ අඩු වෙද්දි පිළිවෙල කියන දේත් කරලියට එනවා. දැන් තියෙන අඩු දේවල් ටික කැටගරි විදියට අඩුක් කරගැනීම ගැනත් හිතන්න උවමනායි. මේ හැමදෙයක්ම කරන ප්‍රධාන හේතු කිහිපය ගැන හැමතිස්සෙම හිතන්න. ජීවිතයට පහසුව, අරපිරිමැස්ම, අස්පස් කිරීමේ ලේසිය කියන දේ ගැන හිතන්න. සමහරු මිනිමල් ජීවිතයක් වෙනුවෙන් පොඩි ඇනෙක්ස්වලටත් මාරු වෙනවා. ඒක මේ පහසුව ජීවිතට ගොඩක් ලං වුණාම එන සිතුවිල්ලක්. ගෙදර ඉඩ වැඩි වුණත්, බඩු අඩුයි නම් දැනෙන නිදහස වැඩියි.

 

ස්විස් ආමි නයිෆ් එකක් වගේ…

මෙන්න මේ කියන ස්විස් ආමි නයිෆ් එක වගේ දේවල් ජීවත් වෙන්න පාවිච්චි කරන එක වාසියක්. අඩු ඉඩක තියන්නත් පුළුවන්, රාජකාරි බොහොමයක් කරන්නත් පුළුවන් දේවල් ගැන හිතන්න. මෙහෙම දේවල් බොහෝ වෙලාවට ලියන මේසයට සහ මුළුතැන්ගෙයට සම්බන්ධ කරලා හිතුවොත් හොයාගන්න පුළුවන්. ඒ වගේම ස්විස් ආමි නයිෆ් එක අපි දාගන්නෙ සාක්කුවේනෙ. අන්න ඒ වගේ ගෙදරත් බඩු ඇසිරීමේදි අපි හොඳට හිතුවොත් මේ මිනිමලිස්ට් ජීවිතයට ඒක උදවුවක් වේවි. 

 

අඩුවෙන් ගේන්න

මිනිමලිස්ට් ජීවිතේකට ගියාම ඒ තුළ පවතින්න කරන්න පුළුවන් ලොකුම උදවුව තමයි මිනිමලිස්ට් වෙන්න කලින් පරිභෝජනය කරපු බඩු ලැයිස්තුවෙන් ගැලවෙන එක. ඒ නිසා මාසිකව හෝ සතියකට වරක් නිවසට ගෙනාපු බඩු ලැයිස්තුවටත් හොඳ එඩිට් එකක් දෙන්න.

 

ලේසියෙන් ජීවත් වෙන්න.

Tags