සොයන්න
උණුසුම් පුවත්

ආර්ථික දියුනුවට

ටැක්ස් වැදිලා ඉන්න හිටින්න අමාරු වෙද්දි පටි තද කරගමු

පහුගිය කාලෙ අතිශය නරක විදියට පහර වැදිච්ච වචන පේළියක් තමයි පටි තද කර ගැනීම කියන්නෙ. ඇයි? මේක පාවිච්චි කළේ හැම තිස්සෙම වගේ පාලක පක්ෂයෙන්. ඔවුන් කරපු වංචා දූෂණ නිසා රටේ මිනිස්සු පටි තද කරගන්න ඕන නෑ කියන එක තමයි හැම කෙනෙකුගේම අදහස වුණේ. ඒ නිසා මේ ගැන කියපු හැම අවස්ථාවකදිම ඊට පහර වැදුනා. ඒ කතා බහෙන් කාලෙකට පස්සෙ පුරවැසියො විදියට අපිටම ඒ කතාව කියන්න සිද්ධ වෙන එකත් අවුලක්. හැබැයි අපිට මේක නොකියා බෑ. මොකද එළැඹෙන 2023 නව වසරේදී අපිට මුහුණ දෙන්න වෙනවා අලුතෙන් වදින ඉන්කම් ටැක්ස් එකකට. ඒ වගේම ඉතුරුම් වෙනුවෙන් යොදන ටැක්ස් එකකට. ඔය කතා එක්ක හිතුවම අපිට සිද්ධ වෙනවා දැන්ම ඉඳම්ම පටි තද කරගන්න. ඒ නිසා හැම තැනම හැමෝම කතා වෙන ටැක්ස් ගැන සටහනක් නොතියා අපි අද Ceylon Journal වෙතින් කියන්නේ අපිට වැඩි අවුලක් නොදැනෙන විදියට පටි තද කරගන්න විදි ගැනයි.

 

බල ශක්තිය ඉතුරු කරමු

මුලින්ම පටන් ගමු නරකම දෙයක් වෙන්න පුළුවන් තැනින්. බිල් වැඩි වෙනවා වගේම කළුවරේත් ඉන්න වෙන්න ඉඩ තියෙන නිසා මේ කියන්නෙ බල ශක්තිය ඉතුරු කරන්න අපිට කරන්න පුළුවන් දේවල් ගැන. බල ශක්තිය අඩුවෙන් පාවිච්චි කරන තරමට කාබන් විමෝචනය අවම වෙනවා. ඩ්‍රයර් එකක් වෙනුවට අවුවේ රෙදි වේලන්න, අනවශ්‍ය විදුලි පහන් නිවා දමන්න, සතියකට පමණ එකවර රෙදි හෝදන්න සහ මදින්න, බලශක්තිය අවමව පරිභෝජනය කරන විදුලි උපාංග(LED බල්බ වැනි) භාවිතා කරන්න, නිවසට හැකිතාක් ස්වභාවික ආලෝකය සහ වාතය එන ලෙසින් ​දොර ජනෙල් විවර කර තබන්න, දින කිහිපයකට එකවර ආහාර පිස ගබඩා කරගැනීමෙන් ගෑස් භාවිතය අවම කරන්න, තනි තනි පුද්ගලයා කාර්වල ගමන් කරනවා වෙනුවට තුන් හතර දෙනෙකු ගමන් කිරීම හෝ පොදු ප්‍රවාහනය භාවිතා කිරීම වගේම ශරීරයටත් සුබදායී වන ලෙස පාපැදියක් භාවිතා කිරී​ම, විදුලි සෝපාන වෙනුවට පඩිපෙළ භාවිතා කිරී​මම වැනි ක්‍රියාමාර්ග වෙත යොමුවෙන්න ඔබටත් පුළුවන්. බලශක්තියක් ලෙසින් ගත නොහැකි වුවත් හැකි තාක් ජය පරිහානිය අවම කිරීමත් වැදගත්.

 

ආයෙත් පාවිච්චි කරමු

නැවත නැවතත් භාවිතා කළ හැකි ප්ලාස්ටික් නොවන දිරායන උපාංග ඔබේ පරිභෝජනයට එකතු කරගැනීමත් පරරිසරය වෙනුවෙන් තිරසාර හෙටක් උදාකරන්නට ඔබට ගත හැකි ක්‍රියාමාර්ගයක්. නැතිනම් බොහෝවිට ඔබ භාවිතා කරන උපාංග පසුකාලයකදී ඉඩම් ගොඩ කරන්නට හෝ මුහුදට අපද්‍රව්‍ය ලෙසින් එකතු වීම සිදු වෙනවා. මේ නිසා රෙදි බෑග්, නැවත භාවිත කළ හැකි පරිසර හිතකාමී වතුර බෝතල්, ලෝහ බීම බට, නැවත බලගැන්විය හැකි බැටරි, උණබට නිෂ්පාදන(දත්බුරුසු, පිඟන්) වැනි දෑ ඔබේ එදිනෙදා පාවිච්චිය වෙනුවෙන් යොදාගන්න. මේක පරිසරයට සුබවාදී වෙනවා වගේම ඔබටත් නොදැනීම එබේ පොකැට්ටුවටත් සාධනීය වාසියක් ඉෂ්ඨ කරනවා.

 

මුළුතැන්ගෙදරට මුල් තැන දෙමු!

තුන් වැනියට ලිවුවට මේක ප්‍රධානම දෙයක්. ඒ තමයි ගෙදර වියදම් අධික තැනක් වෙන මුළුතැන්ගෙදරින් වියදම් අවම කරන්න මූලික උත්සාහයක් ගැනීම. මේක අමාරු දෙයක් නෙමෙයි. ඒ නිසා අපි කෙටියෙන් කියන්නම්.

බඩු ලිස්ට් එක – මේ දේ තමයි මූලිකම කරුණ. ඒ වගේම බොහෝ දෙනෙක් දැනටත් මේක අනුගමනය කරනවා. කුස්සියේ උයන පිහන ද්‍රව්‍ය ඉවරවෙන ඉවරවෙන සැරේට ටික ටික මිලට නොගෙන මාසෙකට සරිලන ප්‍රමාණය එක සැරේ මිලදී ගන්න. අනපේක්ෂිත සහ අනවශ්‍ය වියදම් මෙයින් මගහැරෙනවා. මාසයක් දෙකක් තිස්සේ යන මුළු වියදම ගණනය කරලා වැටුප ගත්ත ගමන් “ආහාර වියදම්” කියලා ගාණක් වෙන් කරගන්න. 

අත්‍යවශ්‍ය සහ අනවශ්‍ය – සමහර ගෙවල්වල පැන්ට්‍රි කබඩ් ඇතුළේ කල් ඉකුත් වුණ විවිධ ආහාර අමුද්‍රව්‍ය පිරි පැකට් වර්ග බොහෝමයක් තියෙනවා. මේකට හේතුව තමයි දකින දකින දේවල් ප්‍රයෝජනයට ගත්තත් නැතත් ආසාවට මිළට ගැනීම. අත්‍යවශ්‍ය භාණ්ඩවලට මුල් තැන දෙන්න. නිතර ඉවුම් පිහුම්වලට භාවිතා නොවෙන ද්‍රව්‍ය සීමා සහිත කරගන්න. කෙටියෙන්ම කියනවනම් කොච්චර සල්ලි තිබුනත් දෙයක් මිළට ගන්නකොට තමන් ඒ දේ ප්‍රයෝජනයට ගන්නවද කියන දේ අවංකවම හිතලා මතලා මිළට ගන්න.

අරපිරිමැස්ම – ආහාර පිළියෙල කරනකොට හට්ටි පිටින් විසි කරන ප්‍රමාණයට පිළියෙල නොකර නිවැසියන්ට අවශ්‍ය තරමට පිසගන්න. ෆ්‍රිජ් එකේ දාගෙන උනත් කන්න පුළුවන් සීමාවක් තියෙන නිසාත් දවසේ වේල් තුනටම එකම දේ අහාරයට ගන්න අපහසු නිසාත් තරම දැනගෙන උයන එක තමයි හොදම දේ. එහෙමත් නැත්තන් ඉතුරු වුණ ආහාර නියමිත විදියට  සුදුසු භාජනවල අසුරගෙන අධිශීතකරණයේ තබලා පසුව ප්‍රයෝජනයට ගන්නත් හැකියාව තියෙනවා. එහෙමත් නැත්තන් ඉතුරුවුණ බත්, ඉදිආප්ප, පිට්ටු වගේ දේවලින් වෙනත් ආහාර වර්ග, අතුරුපස වර්ග හදන විදියත් වැඩිහිටියෙකුගෙන් වගේම අන්තර්ජාලය ඇසුරෙන් වුනත් ඉගෙනගන්න පුළුවන්කම තියෙනවා. සේදුම් දියර පවා අරපිරිමැස්මෙන් පාවිච්චි කිරීමෙන් ඔබට කුඩා හෝ මුදලක් ඉතුරු කරගැනීමේ හැකියාව තියෙනවා. මාස කීපයක් මෙය ක්‍රියාත්මක කිරීමෙන් පසුව ඔබට එහි වටිනාකම වටහාගැනීමට හැකියාව ලැබේවි.

නිසිලෙස අසුරමු – ආහාර ද්‍රව්‍ය මිළට ගන්න කලින් කල් ඉකුත් වීමේ දින හොදින් පරික්ෂා කිරීම අත්‍යවශ්‍යයි. මිළදී ගත්ත අහාර ද්‍රව්‍ය ඒ ඒ දෑ වෙනුවෙන් අදාළ ලෙස හුළන් නොවදින විදියට ඇසිරීම, ශීතකරණයේ දැමීම, හිරු එළිය නොවැටෙන සේ තැබීම සිද්ධ කරන්න වෙනවා. කල් ඉකුත් වීමේ දිනයන්  අමතක වීමේ අවධානමක් තියෙනවනම් කාඩ්බෝර්ඩ් අසුරනවල ඒ දිනය සදහන් කොටස කපා අදාළ බෝතලයේ ඇළවීමේ හැකියාව ඔබට තියෙනවා. කෘමි සතුන් නොයෙන ආකාරයට භාජනවල ඇසිරූ සහල් සහ ඇට වර්ගත්, නරක් නොවෙන ආකාරයට සෝදා පිරිසිදු කර කඩදාසි සහ පොලිතින් බෑග්වල ඇසිරූ එළවලු, පළතුරු, පලා  යනාදිය ශීතකරණයේත්, සෝදා එක් එක් වේලට අවශ්‍ය පමණයට වෙන් කළ මස් මාළු අධි ශීතකරණයේත් ඇසිරීමෙන් අපතේ යෑම වළක්වා ගැනීමට හැකි වේවි.

නොකඩ කෑම – මුළුතැන්ගෙය කියන්නේ භාවිතයෙන් ඉවත්කරන්න බැරි කොටසක්  වගේම රසයෙන් සහ පෝෂණයෙන් පිරුණු ආහාර වේලක් කියන්නේත් එක්තරා අකාරයට ශරීරයට ඖෂධයක්ද වෙන දෙයක්. නිතර නිතර කඩ කෑමට හුරු වීම තුළින්, ඔබ වෙන්කළ “ආහාර වියදම්”  මුදල ඉක්මනින්ම වාෂ්ප වීම පමණක් නොව ශරීරයට ඖෂධයකුත් අහිමි වෙන අතරේ පසුකාලීනව නොයෙකුත් ලෙඩ රෝගවලටත් කරන ආරාධනයක් වෙනවා. තුන් වේලටම ආහාර සැකසීම  අපහසු කරුණක් නම් කල්තබා ගත හැකි ආහාර වැඩිපුර සකසා ඒවා නිසි පරිදි අසුරා තබා පසුව භාවිතයට ගැනීමෙන් එම ගැටළුව මගහරවා ගැනීමේ පුළුවන්කම තියෙනවා. බොහෝ අතුරුපස වර්ග, රස කැවිලි සහ විශාල මුදලක් වැය කිරීමට වන බේකරි නිෂ්පාදන, පීසා වැනි ආහාර වර්ග  පවා එම රසවලටම අඩු පිරිවැයකින් නිවසේදී පිළියෙල කරගැනීමේ හැකියාව  තියෙනවා. මුහුණුපොතේ ඇති ආහාර සම්බන්ධ සමූහයන්ට එක් වීමෙන් මේ සම්බන්ධ බොහෝ දැනුම ලබා ගැනීමේ හැකියාව ලැබෙනවා වගේම ඒ වෙනුවෙන්ම ක්‍රියාත්මක වන යූටියුබ් චැනල් පවා දැකගත හැකියි.

වැව්වොත් දිනන්න පුළුවන් – “වවන්නෝ දිනන්නෝ ” කියලා පැරැන්නෝ කියලා තියෙන්නෙ කට කහනවට නෙවෙයි කියලා බඩු මිල දැක්කම ඕනි කෙනෙක්ට වැටහෙනවා ඇති.  බොහෝ එළවලු සහ පළතුරුවල පුෂ්පය කියන අවධියේදී පවා කෘමි නාශක යොදන බව ප්‍රසිද්ධ කාරණයක්. පලා වර්ගවලට මෙය වැඩිමනත් අදාළයි. කිසියම් මුදලක් වැය කරලා වස ගුළාවක් මිලට ගන්නවා වෙනුවට මේ දේවල් හැකි ආකාරයට නිවසේ වගා කරගතහොත් අවම වශයෙන් නිවසේ සිටින කුඩා දරුවෙකුට හෝ වසෙන් විසෙන් තොර ආහාර වේලක් දීමේ හැකියාව ලැබෙන අතරම “ආහාර වියදම්” වලින් යම් මුදලක් ඉතුරු කරගැනීමේ හැකියාවද ලැබේවි.

කැඩි කැඩිත් වැඩද? – ෆ්‍රිජ්, බ්ලෙන්ඩර්, ටෝස්ටර් වගේ විදුලි උපකරණ මේ වෙනකොට බොහෝ නිවාසවල භාවිතයට ගැනෙනවා. කාර්‍යබහුල ගෘහණියෝ පොල් ටික පවා බ්ලෙන්ඩරයට දමා මිරිකාගැනීමට පුරුදුවෙලා. විශේෂයෙන්ම ශීතකරණය පැය 24 ම ක්‍රියාත්මක වන උපකරණයක් බවට පත්වෙලා.  නමුත් මෙවැනි උපකරණවල ඇති වෙන සුළු දෝෂයක් නිසා, එය විදුලි බිල ඔබට සිතාගත නොහැකි අයුරින් විශාල වශයෙන් ඉහළ යෑමට හේතුවක් වෙන්නට ඉඩ තිබෙනවා. මුළුතැන්ගෙයි භාවිතා වන විදුලි උපකරණ ඇතුළුව නිවසේ ඇති අනෙකුත් විදුලි උපකරණත් නිසි කලට අළුත්වැඩියා කරගනිමින් පරිස්සමෙන් භාවිතා කරගැනීමෙන් මාසික විදුලි බිල අවම මට්ටමක පවත්වාගැනීමේ හැකියාව ඔබටත් ලැබේවි.

 

මුළුතැන්ගෙයින් මුළු ගෙදරටම

ආයෙත් අපි මුළුතැන්ගෙදර සිට මුලුගෙදරටම බලපාන දෙයක් ගැන කතා කරන්න ආවා. අපේ වියදම් අඩු කරමින් රටටත් වැඩදායි, පරිසරයටත් හිතකාමී, පොකැට්ටුවටත් වාසිදායක දෙයක් කරන්න පුළුවන් අපි අපිට අනවශ්‍ය දේ ඉවත් කරන විදියෙන්. ඔබට එපා දෑ ගැන ලියද්දි අපිට ඒක කොටස් කිහිපයකට වෙන් කරන්නට සිද්ධ වෙනවා. 

පළමු දේ අපද්‍රව්‍ය. අපද්‍රව්‍ය නිසි පරිදි වෙන් කරන්නට අවශ්‍යයි. ඒ වෙන් කරනවා වගේම දිරාපත්වන ආහාර ඉඳුල් වැනි දෑ කොම්පෝස්ට් පොහොර සෑදීමටත්, එයින් පිටවන මීතෙන් වායුව නිවසේ ඉවුම් පිහුම් වෙනුවෙන් යොදාගැනීමටත් ඔබට හැකියාව තිබෙනවා. එවැන්නක් නිවසේම සාදාගන්නට වගේම, එවැන්නක් මිළදීගන්නටත් හැකියාව තිබෙනවා.

දෙවැන්න ඔබට භාවිතයට ගත නොහැකි දෑ. ඔබේ නිවසේ ඔබේ භාවිතයට ගත නොහැකි දෑ විසි කර දමනවා වෙනුවට ප්‍රතිචක්‍රීකරණය කරන්නට හෝ වෙනත් අවශ්‍යතාවයකට භාවිතා කරන්නට හැකි දැයි උත්සාහ කරන්න. ඔබේ දරුවාගේ විසි කරන දමන සෙල්ලම් බඩු කිහිපයක් එකතු කර නව නිර්මාණයක් කිරීම වැනි විනෝදාංශයක් වුවත් මෙයින් ඇරඹිය හැකියි. අපට පෙර පරම්පරාව විසින් අප භාවිතයෙන් ඉවත් කළ ඇඳුම් ගෙන පාපිසි හෝ අත්පිස්නා තැනූ චින්තනයම අපට නවතාවයකින් භාවිතා කළ හැකියි.

තෙවැන්න ඔබට භාවිතා කළ නොහැකි නමුත් අපද්‍රව්‍ය ලෙසින් ඉවත් කළ නොහැකි සහ වෙනත් පාවිච්චියකට ගැනීම අපරාදයක් ලෙසින් සැළකිය හැකි දෑ(ඔබට අඳින්නට බැරි අලුත් ඇඳුම්, පාවහන්, ගෘහඋපකරණ), ඔබට අලෙවි කරන්නට හෝ වෙනත් අයෙකුට ලබා දෙන්නට හැකියාව තිබෙනවා. 

 

මූල්‍ය කලමනාකරණය

අන්තිමට කියන්නෙ මේ කතාවට ඍජුවම අදාල වැදගත්ම දෙයක්. ඒ තමයි මේ බදු නිසා අපිට සිදු වන අලාබය අවම කරගන්න ක්‍රම. අපි මුලින්ම ගණනය කරගන්න ඕන මාසයකට අපිට මේ බදු නිසා ඍජුව අහිමි වන මුදල. වක්‍රව අහිමි වන මුදලටත්(ආහාර පාන සහ අනෙකුත් අවශ්‍යතා මත පනවන බදු) යම් ගණනක් එකතු කරන්න ඕන. අපේ අරමුණ වෙන්න ඕන මාසය අවසානයේ අපෙන් ගිලිහෙන අන්න ඒ මුදල අපි නැවත හොයාගන්න විදියක්. ඒකට හොඳම දේ තමයි ආයෝජනය. ඒක කරන්න විදි රැසක් අපි ඉදිරි සටහනකදී ගෙනෙන්නම්.

 

Tags