විශේෂාංග
ගබ්සාව ගැන අපි නොදන්නේ මොනවාද? I කොටස
ගබ්සාව ගැන මේ දවස්වල ආයෙමත් කතාබහක් ඇති වෙන්නට පටන් අරං. ඒ හේතු කතා කිරීම අපේ කතිකාව වෙනත් මාණයකට ගෙන යන නිසාම, අපි මේ සටහනෙන් කතා කරන්නෙ ගබ්සාව ගැන අපි දන්නා දේ ගැන සහ ඒ තුළින් සමාජය ගබ්සාව ගැන නොදන්නේ මොනවාද කියන දේ ගැන. ඉතිං ඔයාලගෙ අදහසුත් අපේ සටහන හරහා සිද්ධ වෙන කතිකාවතට එක් කරන්නට අමතක කරන්න එපා. චන්ද්‍රලාල් ද සිල්වාගේ ජනගහන අධ්‍යයනය පොතත් අපිට මේ සටහනට කරුණු සොයන අතරේ උදව් වුණා. කොහොම නමුත් මේ සියල්ල යොමු වෙන්නෙ එක ඉසව්වකට. ඒ ගබ්සාව නීති විරෝධී නොවිය යුතුයි කියන තැනට. ආගම කියන සංකල්පයට මුවා වෙලා, මේ වෙනුවෙන් එල්ල වෙන විරෝධාකල්ප වටහා ගැනීමටත් මේ සටහනෙන් යම් උදව්වක් වේවි.
ගබ්සා ක්‍රමවේදයන්
ගබ්සාව ප්රමුඛව කොටස් දෙකකට වෙන් වෙනවා. ඒ කළලය නොමේරූ අවධියේම ගර්භාෂයෙන් ඉවත් කිරීම හෝ ස්වභාවිකව ඉවත්වීම නිසා සිදුවන නිතැත් ගබ්සාව සහ බාහිර බළපෑමක් මගින් ගබ්සාව සිදු කරන ප්‍රේරිත ගබ්සාවයි. සංවර්ධිත මෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවලත් මේ වන විට වඩාත් ප්‍රචලිත ගබ්සා ක්‍රමය වශයෙන් භාවිතා වන්නේ ඔසප් චක්‍රය ක්‍රමවත් කිරීමේ ක්‍රමයයි. Menstrual Regulation නමින් එහෙමත් නැතිනම් ඔසප් චක්‍ර ක්‍රමය යනු සිරින්ජරයක් මගින් ගර්භාෂයට කිසියම් රසායනික දියරයක් ඇතුලු කොට ඉතා කුඩා කලලය විනාශ කිරීමයි. ඉන්පසු එම විනාශ වු කලලයේ කොටස් ඇද ගන්නා වැනි උපකරණයක් මාර්ගයෙන් වැකූම් කර ඉවත් කරනු ලැබේ. ගබ්සාවක් සිදුකරන තවත් ප්‍රකට ක්‍රමයක් වන්නේ ශල්‍යකර්මයක් මාර්ගයෙන් කලලය ඉවත් කිරීමයි.
ඒ වගේම කලලය විනාශ කිරීම සඳහා ගර්භාෂ සංකෝචනය කරවන ඖෂධ, බඩ විරේක කරවන බෙහෙත් වගේම D&E සහ ඊට අමතරව R.U.486 නම් වු ගිලින පෙති මගින්ද සංවර්ධිත රටවල ගබ්සාව සිදුකෙරේ. මෙකී ක්‍රමවලට අමතරව ගබ්සාව කිරීම සඳහා භාවිතා කරන අනියම් ඖෂධ වර්ග බොහොමයක්ද හදුනාගත හැකිය. ඇලපති , හෝමියෝපති, උනානි, ආයුර්වේද, ආදි වෛද්‍ය ක්‍රමවල දක්නට ලැබෙන ඖෂධ වර්ග කීපයකි. මේවා බොහෝ දුරට සංවර්ධනය වෙමින් පවතින රටවල ගබ්සාව සදහා යොදාගනු දක්නට ලැබෙයි. මේ නිසා ගබ්සාවට ලක් වන කාන්තාවන්ගේ ශාරීරික මෙන්ම මානසික සෞඛ්‍ය සම්බන්ධ ගැටලු මතුවිය හැකි අතර එමගින් ජීවිතය පවා අවදානම් තත්වයකට පත්විය හැක.
ගබ්සාව සඳහා මෙම ක්‍රමවලට අමතරව සාම්ප්‍රදායික හා නොදියුණු ක්‍රම ලෙස සැළකෙන එඬරැ නැටි භාවිතා කිරීම, අමු අන්නාසි ආහාරයට ගැනීම, විශේෂ සම්බාහන ක්‍රම වැනි ක්‍රම තවමත් ඇතැම් ග්‍රාමීය මෙන්ම නාගරික කාන්තාවන් අතරද කලාතුරකින් භාවිතා වන බව වාර්තා වේ.
සංඛයාත්මක දත්ත
අපේ මාතෘකාවට මුලින්ම එළැඹෙන තැන මෙතැනයි. එනම් බාහිර බළපෑමක් මගින් සිදු කරන ගබ්සාව හඳුන්වන අනෙක් නමයි. ඒ සාපරාධී ගබ්සාව යනුවෙනි. ලංකාව තුළ නෛතිකව ගබ්සාවට අවසර ඇත්තේ එම ගබ්සාව සිදු නොකළහොත් මවගේ ජීවිතයට හානියක් සිදු වේනම් පමණයි. ඒ නිසාම මේ කතාවේ සංඛ්‍යාලේඛන ගැන සටහන් තබන්නට පෙර එම ගැට අප ලිහා ගත යුතුව ඇත. ශ්‍රී ලංකාවේ මේ වන විට කරන ලද වැටලීම් හරහා හෙළිදරවු කර ගත් කරුණුවලට අනුව, දිනකට ගබ්සා 765 – 1000 අතර ප්‍රමාණයක් සිදු කරන අතර, මෙවන් ගබ්සා නිසා වසරක් ඇතුළත 300000 ක පමණ ජීවිත ප්‍රමාණයක් රටට අහිමි වන බව නිල නොවන තොරතුරු ඔස්සේ අනාවරණය කර ගෙන ඇත. ගබ්සාව පිළිබඳව පළමු පර්යේෂණය සිදු කරන ලද්දේ 1998 දීය. එයින් හෙළිදරව් වූ කරුණක් නම්, ලංකාවේ වසරකට සිදු වන දරු උපත් ප්‍රමාණය 375,000කට ආසන්න වන බවයි. නමුත් ලක්ෂ තුන ඉක්මවා ප්‍රමාණයක් ගබ්සා සිදු වීම බරපතළ අර්බුදයක් බවට පත්ව ඇත.
පෙළඹවීම්
ගබ්සාව පිළිබඳ කතා කරන සටහනක බොහෝ විට අඩු පාඩුවක් වන්නේ ඒ වෙනුවෙන් වන පෙළඹවීම කුමක්ද යන්නයි. ලංකාවේ ගබ්සාවන්ගේ ස්වභාවය සලකා බැලීමේ දී වැඩි වශයෙන් ගබ්සා කිරීමට පැමිණෙන්නේ විවාහක වයසේ සිටින කාන්තාවන් වන අතර ඔවුන්ගේ වයස් පරතරය 24-30ත් අතර වේ. දරුවන් තිදෙනකුට වඩා වැඩි මව්වරුන් බහුලව ගබ්සා කිරීමට යොමු වේ. මේ කෙරෙහි බලපාන හේතු දක්නට ලැබේ. එනම් දරුවන් අතර විශාල වයස් පරතරයක් පැවතීම, දරුවන් ඒ තුළින් සමාජයේ ලජ්ජාවට බඳුන් වේ යැයි සිතීම එම කරුණු ලෙස පෙන්වා දිය හැකිය. අඩු පරතරයකින් යුතු දරුවන් සිටින විට දී ද නොදැනුවත්භාවය නිසා කාන්තාවන් පවුල් සැලසුම් ක්‍රමයක් බවට ගබ්සාව භාවිතයට ගනු හඳුනා ගත හැකිය. ආර්ථික අපහසුතාවන් ද ගබ්සාව කෙරෙහි යොමු වීමට බලපාන හේතුවක් ලෙස පෙන්වා දිය හැකිය. එමෙන්ම රැකියාවේ පවතින අර්බුදකාරි තත්ත්වයන් හේතු කොට ගෙන ද ගබ්සාව කෙරෙහි යොමු වේ. නිවාඩු නොමැති වීම, ඇතැම් රැකියා සඳහා විවාහක හා දරුවන් සිටින කාන්තාවන් සේවයට නොගැනීම, සේවා කාලය පිළිබඳ ප්‍රශ්න, වැටුප් රහිත නිවාඩු වැනි හේතු ද මේ සඳහා යොමු වීම කෙරෙහි මූලික වන්නේය. ඇතැම් අවස්ථාවල රෝගී තත්ත්වයන් නිසාවෙන් ද ගබ්සා කිරීම් කෙරෙහි යොමු වේ. විශේෂයෙන්ම හතිය, පිළිකා, හෘදයාබාධ වැනි තත්ත්වයන් යටතේ ඇති වන මානසික කඩා වැටීම් හේතු කොට ගෙන ගබ්සා කිරීම් වෙත කාන්තාවන් පෙළඹෙනු දැකගත හැකිය.
අවිවාහක මාතෘත්වය ව්‍යාභිචාරය වැනි දේ අප සංස්කෘතිය තුළ දැඩි දෝෂ දර්ශනයට ලක්වන අතර එවැනි දෝෂ දර්ශනයන්ගෙන් පළා යාම උදෙසා ගබ්සාව උපයෝගි කරගනු ලබන බව පර්යේෂණ මගින් අනාවරණය වී තිබේ.
සෞඛ්‍ය අවධානම
දත්ත, ක්‍රමවේද, පෙළඹවීම් වලින් අනතුරුව අපේ මෙම ගබ්සාව පිළිබඳ සටහන් පෙළේ පළමු කොටස අවසන් කරන්නේ බොහෝ දෙනෙකු නොදන්නා සෞඛ්‍ය අවධානම පිළිබඳව අවධානය යොමු කරමින්. නව තාක්ෂණය යොදා ගනිමින් ඖෂධ ලබාගන්නා පුද්ගලයින්හට මුහුණ දීමට සිදුවන ඛේදනීය සිදුවීම් අතරේ පළමුවැන්න, සෞඛ්‍ය අවධානමයි.
මෙම සෞඛ්‍ය අවධානම ඉහළ යන හේතු කීපයක් අපට ගොනු කර පෙන්විය හැකි වුවත්, ඒ සියල්ලේ මූලය යොමුවන්නේ එක් තැනකටය. ඒ ගබ්සාව ශ්‍රී ලංකාව තුළ නීති විරෝධී වීම යන තත්ත්වයයි. මේ නිසා බොහෝ දෙනෙකු මේ පිළිබඳ සොයාබලන්නේ ලොවට හොරෙනි. ඒ නිසා කිසිවෙකුගෙන් විමසීමකින් තොරව හොරෙන් කරන්නට යෑමෙන් හොරුන් අතට පත්වීමට ඇති ඉඩ ඉහළය. අන්තර්ජාලයෙන් ඇනවුම් කර එන බෙහෙත් සොයා බෑලිමකින් තොරව බීමෙන් ලැබෙන ප්‍රථිපල භයානකය. හොර දොස්තරලා සහ හොර බෙහෙත් නිසා සිදුවන මෙම ව්‍යසනය නැවැත්විය හැකි එකම ක්‍රමය මෙය නීත්‍යානුකූල කර යම් ක්‍රමවේදයක් ඇති කිරීමයි.
අපේ මෙම සටහනේ දෙවැනි කොටස වෙන්වන්නේ, ඒ වෙනුවෙනි.