සොයන්න
උණුසුම් පුවත්

විශේෂාංග

ඉහල බදු ප්‍රතිපත්තීන් හමුවේ මුදල් විශුද්ධිකරණය වලක්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවට ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද ?

වර්තමානයේ අප රට තුල ක්‍රියාත්මක වන ආර්ථික පසු බෑම්වලට විසඳුමක් ලෙස මෙතෙක් ක්‍රියාත්මක වූ දේශීය ආදායම් බදු කිහිපයක් සංශෝධනය කරන ලදි. මේ අනුව ආදායම් බදු, එකතුකල අගය මත බද්ද ආදී ලෙස බදු කිහිපයක අගය වැඩිවීමක් සිදු වූ අතර පවතින උද්ධමනකාරී වාතාවරණය හමුවේ මෙම බදු සංශෝධනය පුද්ගලයින්ට හා ව්‍යාපාරවලට දැඩි බලපෑමක් එල්ල කරනු ලබයි. මෙවන් වාතාවරණයක් තුල බදු දැලෙන් පිටත ව්‍යාපාර කිරීමට  හෝ ආදායම් ලබා ගැනීමට ව්‍යාපාර හෝ පුද්ගලයින් යොමුවීමේ ප්‍රවනතාවයක් ඇතිවීම වලක්වාලිය නොහැක. එයට හේතුව වන්නේ බැංකු හෝ වෙනත් මූල්‍ය ආයතනයක් තුළ ගනුදෙනු කිරීමේදී එම ගණුදෙනු ස්වයංක්‍රීයවම පරිඝනක තුල සටහන් වීම හා එම පරිඝනක දත්ත පුද්ගලයකුගේ හෝ ව්‍යාපාරයක මූල්‍ය ශක්‍යතාව පෙන්නුම්කිරීම සඳහා එම තොරතුරු යොදා ගත හැකි වීමයි. මේ අනුව බදු මුද‍ලෙන් නිදහස් වීම සඳහා පුද්ගලයින් විසින් මුදල් භාවිතයට යොමු විය හැක. මේ ක්‍රමය තුලින් ව්‍යවහාර මුදල් මත පදනම් වූ සමාජයේ ගෙවීම් හා පියවීම් යාන්ත්‍රණයක් නිර්මාණය වේ.

 

සමාජයේ මුදල් සංසරණය වැඩිවීම අපරාධ සඳහා හේතු වන්නේ ද නැද්ද යන්න මීලඟට සලකා බැලිය යුතු වේ. සමාජය තුල ව්‍යවහාර මුදල් භාවිතය ඉහල යන අවස්ථාවන්වලදී එම තත්වය අපරාධ සිදුකර ලබා ගන්නා මූල්‍යමය ප්‍රතිලාභ මුදල් විශුද්ධිකරණ ක්‍රියාවලිය තුලින් අපරාධකරුවන්ට භාවිතා කිරීමට පහසු තත්ත්වයක් නිර්මාණය කරයි. මුදල් විශුද්ධිකරණය යන්න සාමාන්‍ය ව්‍යවහාරයේදී කලු සල්ලි සුදු කිරිම යනුවෙන් හඳුන්වා දෙනු ලබයි. මෙහිදී අනීතිකව උපයාගන්නා ලද මුදල් නීත්‍යානුකූලව උපයාගන්නා මුදල් ලෙස‍ පෙන්නුම් කරයි. මෙහිදී අනුගමනය කරනු ලබන ක්‍රියාවලිය මුදල් විශුද්ධිකරණය නම් වේ.

 

මුදල් විශුද්ධිකරණය යන්න 1930 පමන කාලයක සිට ඇමරිකා එක්සත් ජනපද බලධාරින්ගේ අවධානයට යොමු වූ කරුණක් වූ අතර මුදල් විශුද්ධිකරනය වලක්වාලමින් මෙරට සහ අනෙකුත් රටවල විවිධ අණපනත් නීතිගත කරන ලදි. 2006 අංක 5 දරණ  මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ පනත මගින් අපරට තුලද මුදල් විශුද්ධිකරණය යන්න වලක්වා ඇත. මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ පනතේ මූලිකම පරමාර්ථය වන්නේ අනීතිකව උපයා ගන්නා මුදල් එම අපරාධකරුවන්ට භුක්ති විඳීමට ඉඩ ලබා නොදීම හා අපරාධ වලින් ලැබෙන මූල්‍යමය ප්‍රතිලාභ ඉවත්කිරීම තුලින් තවදුරටත් අපරාධ කිරීමට පුද්ගලයින් පෙළඹවීමේ මං අවහිර කිරීමයි. මෙහිදී අණපනත් සෑදිම පමනක් ප්‍රමාණවත් වන්නේ ද නොඑසේ නම් ශ්‍රී ලංකා මහ බැංකුවට එතනින් එහාගිය ක්‍රමයක් අපරාධ නිවාරණය සඳහා ගත හැකි වන්නේ ද යන්න සලකා බැලිය යුතුවේ.

 

අපරාධ නිවාරණය සඳහා මහ බැංකුවට ගත හැකි එක් ක්‍රියා මාර්ගයක් වන්නේ සමාජය තුළ සංසරණය වන ව්‍යාවහාර මුදල් ප්‍රමාණය සහ එහි වටිනාකම අවම කිරීම සඳහා නීති පැනවීමයි. මේ සඳහා ක්‍රියාමාර්ග කිහිපයක් අනුගමනය කළ හැක.

  1. මුදල් නීති පනතේ 49 වන වගන්තිය යටතේ මුදල් නිකුත් කිරීමේ පරම අධිකාරිත්වය හිමි වී ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුව වෙත වේ. තව දුරටත් මුදල් නීති පනතේ 53(1) වගන්තියට අනුව මුදලේ වටිනාකම නිර්ණය කිරීමේ අධිකාරිත්වය ද පවතින්නේ ශ්‍රී ලංකා මහ බැංකුව සතුව වේ. දැනට ලංකාව තුල සංසරණය වන ඉහලම වටිනාකමින් යුත් මුදල් ඒකකය වන්නේ රුපියල් පන්දහසේ නෝට්ටුව වේ. මෙසේ ඉහල වටිනාකමින් යුත් නෝට්ටු නිකුත් කිරීම අපරාධයන් සඳහා ආධාර වන්නේ කෙසේදැයි සලකා බලමු. ඉහල වටිනාකමකින් යුතු මුදල් නෝට්ටු නිකුත් කරනු ලැබූ අවස්ථාවක දී අපරාධ මගින් ලබා ගන්නා ලද ප්‍රතිලාභ මුදල් ලෙස භෞතිකව සංසරණය කිරීමට පහසු වේ. අපරාධකරුවන් හෝ ඔවුන්ගේ නියෝජිතයන් බොහෝ අවස්ථාවන්වලදී මුදල් භෞතිකව රැගෙන යනු ලබන අතර ඉහල වටිනාකමකින් යුත් මුදල් නෝට්ටු නිකුත් කරනු ලැබූ විට මෙසේ භෞතිකව රැගෙන යා යුතු හෝ හුවමාරු කරගත යුතු මුදල් ප්‍රමාණය අවම වීම තුලින් අපරාධකරුවන්ට හෝ ඔවුන්ගේ නියෝජිතයන්ට පහසුවක් සැලසේ. ඒ අනුව බොහෝ රටවල සමාජය තුල භෞතිකව සංසරණය වන මුදල් ප්‍රමාණය හා ඒවායේ වටිනාකම අවම කිරීම සඳහා ක්‍රියාමාර්ග ගනු ලබයි. යුරෝපා සංගමය විසින් අපරාධ මැඩලීමේ එක් ක්‍රියාමාර්ගයක් ලෙස ඉහල වටිනාකමින් යුත් මුදල් නෝට්ටු සමාජය තුල සංසරණය වීම වලක්වා ඇත. ඒ අනුව යුරෝපා සංගමය විසින් මීට කලකට ඉහත දී භාවිතය සඳහා නිකතු කර තිබූ යුරෝ 500 මුදල් නෝට්ටුව 2019 වසරේ සිට නිකුත් කිරීම අත්හිටුවා ඇත. ඒ අනුව ඉහල බදු අනුපාත හමුවේ ව්‍යවහාර මුදල් සංසරණය වීම ඉහල යනවාද නැද්ද පිළිබඳ නිසි සමාලෝචනයක් කල යුතු අතර එසේ අධ්‍යයන කිරීමකින් තොරව ඉහල වටිනාකමකින් යුත් මුදල් නෝට්ටු සමාජය වෙත නිකුත් කරන්නේ ද නැද්ද යන්න පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුවේ  අවධානය යොමු කල යුතු වේ.

 

  1. මීට අමතරව ව්‍යවහාර මුදල් සමාජය තුල සංසරණය වීම අවම කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවට ගත හැකි තවත් ක්‍රියාමාර්ගයක් වන්නේ ඉහල වටිනාකමකින් යුත් පියවීම සඳහා අනිවාර්යයෙන්ම බැංකු සම්බන්ධ වන ගෙවීම් හා පියවීම් ක්‍රමවේදයක් භාවිතා කිරීමට උපදෙස් ලබා දීමයි. උදාහරණයක් ලෙස ඉඩමක් හෝ වාහනයක් මිලදී ගන්නා අවස්ථාවකදී ඉතා විශාල මුදලක් හවමාරු වන අතර මෙවැනි විශාල මුදලක් අනිවාර්යයෙන්ම බැංකු ගත කල යුතු බවට නීති පැනවිය හැක. මෙහිදී ව්‍යවහාර මුදල් සංසරණය වීම සඳහා සීමා පැනවීම පමනක් නොව සැක කටයුතු ගනුදෙනුවක් සිදුවන්නේ නම් එය සැක කටයුතු ගනුදෙනු වාර්තා කිරීමේ ක්‍රියාවලිය හරහා ශ්‍රී ලංකා මහ බැංකුව තුල පිහිටුවා ඇති මූල්‍ය බුද්ධි ඒකකය වෙත වාර්තා කිරීම සඳහා අවස්ථාවක් ද සැලසේ.

 

මේ අනුව බලන කල සමාජය තුල සංසරණය වන ව්‍යවහාර මුදල් ප්‍රමාණය හා එහි වටිනාකම ඉහල යන විට එය අපරාධ සිදු කිරීම සඳහා පහසු පසුබිමක් සලසයි. මෙය ශ්‍රී ලංකාවට පමණක් අදාල නොවන අතර ඉතාලිය තුලද ව්‍යවහාර මුදල් වැඩියෙන් සංසරණය වන ප්‍රාන්ත වල අපරාධ සිදුවීමේ ප්‍රතිශතය ඉහල බව පෙනී ගොස් ඇත. මේ කරුණු සැලකීමේදී ව්‍යවහාර මුදල් සංසරණය වීම පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානය යොමු කල යුතු වේ.

(මෙම අදහස් කතෘගේ පෞද්ගලික අදහස් වන අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ අදහස් නොවන බවට කරුණාවෙන් සලකන්න)

නොරගල් දස්නි ලක්මාලි හේමචන්ද්‍ර

Tags