විශේෂාංග
ඒ ඒ රටට අයිති ඒ ඒ රටේ මත්පැන්

ලංකාවේ අපිට අයිති මත්පැන් වර්ගය අරක්කුද? නැත්තං කසිප්පුද? ඒ ගැන සංවාදයට ඉඩ තියලා, අපි අද කියන්නෙ ලෝකෙ වටේම ඒ ඒ රටට ආවේණික මත්පැන් ගැන. සමහර රටවලින් අපිට පුරුදු නම් එහෙමත් ඇහෙන්න පුළුවන්. ගල්ඔය පෙරන නිසා ගල් අරක්කු, පොල්වලින් පෙරන නිසා පොල් අරක්කු, වෙල් ෆැන්ටා වගේ ආවේණික කතන්දර බොහොමයක් අපිටත් තියෙනවා නම්, අපිට වඩා විශාල රටවල් ගැන කවර කතාද? අන්න ඒ නිසා කියන්න වටින කතාවක් තියෙන හොඳම විශේෂාංග කිහිපය මේ සටහනෙන් ඉදිරිපත් කරන්නට අපි තීරණය කළා. ඒ ඒ රටවල ඉන්න ඔයාලා, ඒ ඒ රටවල විස්තරත් අපිට හොයලා කියන්නට හැකියි නම් මේ සටහනට තවත් වැඩි අගයක් එක්වේවි.
රුසියාවේ වොඩ්කා
ආවේණික බීම ගැන කතා කරනවානං මුලින්ම කියන්න ඕන දෙයක් මේ. මොකද රුසියාවට ආවේණික රුසියාවේ වොඩ්කා අනික් රටවලත් අතිශය ප්‍රසිද්ධයි. වොඩ්කා වලටම වෙන්වුණු බාර් තියෙන රුසියාවෙ හිම සීතෙ බොන්නම කියාපු බීමක් වෙච්ච වොඩ්කා මේ ලැයිස්තුවට ඇතුල් නොකළොත් අපිට ගහන්න ඕන. රුසියාවෙ කදිමම වොඩ්කා බ්‍රෑන්ඩ් විදියට Russian Standard Gold (40%), Mamont Vodka (40%), Moskovskaya Osobaya Vodka (38%), Beluga Noble (40%), Green Mark (38%) දක්වන්න පුළුවන්. ලංකාවෙ නං වැඩිපුරම ප්‍රසිද්ධ ස්වීඩනයෙ හදන ඇබ්සලූට් වොඩ්කා සහ රුසියාවෙ මොස්කවුවල හදන ස්මර්න්ඕෆ්. එතනෝල් සහ වතුර මික්ස් වෙලා එන නිසා වොඩ්කා තමයි ලෝකෙ අමිශ්‍රිතම ඇල්කොහොල් විශේෂය කියල පිළිගන්නෙ. අලවලින් වගේම ධාන්‍ය වර්ග වලිනුත් පෙරණ වොඩ්කා කැමති විදියකට බොන්න පුළුවන් බීමක් වීමත් විශේෂයක්. ඕනනං පැණි රසට, නැත්තං සැරට, අමුවෙන් වගේම රෙඩ්බුල් වගේ දෙයක් එක්කත් බොන්න පුළුවන්. නියම වර්සටයිල් බීමක්. නාසා එක අභ්‍යවකාශෙට අරක්කු ගෙනයාම තහනම් කළාට හිතුවක්කාර රුසියන්කාරයො අභ්‍යවකාශෙට වොඩ්කා ගෙනිච්චා. හැබැයි රුසියාවෙ වොඩ්කා ගැන තියෙන ලොකුම කතාව ඒක නෙමෙයි. 1885 වෙනකං රුසියාවෙ වොඩ්කා බෝතල්වල ආවෙ නෑ. ලීටර් 12.3 වොඩ්කා බකට් තමයි ගන්න තිබ්බෙ.
පුරුදු අරක්කු
ලෝකයේ භාෂාවන්වලට බොහෝ වචන දායාද කරපු මැද පෙරදිගින් අරක්කු කියන වචනෙ හැදෙන්නත් උදව්වක් වෙලා තියෙන්න පුළුවන්. ඒ ගැන කතාව මේ. ලංකාවෙ අරක්කු ගැන කියලා කතාව පටන්ගත්තට අරක්කු තියෙන්නෙ අපේ රටේ විතරක් නෙමෙයි. මේ Arak කියන බීම එක අපේ අරක්කුවලට සමාන වුනාට පෙනුමෙන් ඒ වගේ නෙමෙයි. මූලිකව මේ අරක්කු එක හදන්න ගන්නෙ අසමෝදගම්. පෙනුම අපේ පොල් රා වලට සමානයි. මේකෙම පර්සියානු සම්භවය තියෙන එක පෙරන්නෙ බොහෝවිට රටඉඳි වලින්. ඉන්දුනීසියා, ජෝර්දාන්, ඊශ්‍රායල්, ලෙබනන් සහ සිරියා වගේම තුර්කියෙත් මේ බීම ප්‍රසිද්ධයි. දහඩිය දැමීම කියන අදහස එන අරාබි වචනෙ වෙච්චි Araq කියන එකෙන් මේ වචනෙ හැදුනා කියලයි කියන්නෙ. වතුර දාලයි ෂැන්ඩි කරන්නෙ. මේක වැඩිපුරම ප්‍රසිද්ධ වෙන්නෙ මේකෙ තියෙන සැර නිසා. සාමාන්‍යයෙන් සියේට පනහක විතර ඇල්කොහොල් ප්‍රතිශතයක් තියෙන නිසා හොඳට වදින බීමක්.
සාය ඇඳපු පිරිමින්ගෙන් ස්කොච් විස්කි
මේ තරමක් ගණං වැඩි කතාවක්. අන් මෝල්ට් වර්ගයක් හෝ පෙරුම්කාරකයක් සමග මික්ස් නොවෙච්ච තනි ධාන්‍ය වර්ගයකින් පෙරණ ලද සිංගල් මෝල්ට් විස්කි තමයි ස්කොට්ලන්තෙ ජාතික පානය වෙන්නෙ. ලංකාවෙ අයත් වැඩිපුරම කැමති බීමක් විදියට මේ රන් පාටට දිදුලන පානය හඳුන්වන්න පුළුවන්. ස්කොච් විස්කි හිතුමතේ හදන්න බෑ. ඒකට නීතියකුත් තියෙනව. ස්කොට්ලන්තෙ ජාතික පානය විදියට සිංගල් මෝල්ට් ස්කොච් විස්කි ප්‍රිෆර් කළාට, ස්කොච් විස්කි වර්ග පහක් (Single Malt Scotch Whisky, Single Grain Scotch Whisky, Vatted Malt නොහොත් Blended Malt Scotch Whisky, Blended Grain Scotch Whisky සහ Blended Scotch Whisky) තියෙනව. ඩ්‍රින්ක් එක ඩ්‍රෑම් එකෙන් මනින ස්කොච් විස්කි, ලිඛිත සාක්කි අනුව හදන්න පටන් අරං තියෙන්නෙ 1495දි. ඕක් ලීයෙන් හදපු ගුදම් ඇතුළෙ අවම වශයෙන් අවුරුදු තුනක් පරණ කරලයි ස්කොච් විස්කි එළියට එන්නෙ.
රුජිනගෙ ජින්
සුදු බීම වැඩිය බොන්න අකමැති අයත්, සුදු බොන්න පටන්ගන්න දෙයක් තමයි ජින් කියන්නෙ. මොකද ජින් වඩා ලාබ සහ ලෙමන් වැනි රසින් තිබීම මූලික හේතුවක්. ජින් කියන්නෙ බෙහෙතක්. තාමත් බඩේ අමාරුවකට ජින් චුට්ටක් දෙන එක සිද්ධ වෙනවා. ජින් වැඩිපුරම බොනව කියල කියන්නෙ නැවියො. ඒ වගේම ජින් කියන්නෙ වෙනිං බීම වර්ග වගේ බොහෝ දේවල්වලින් හදන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ වුනත් ජින් ගැන ඇතුළෙ කතාව ලොකුයි. ඒ ලෝකයේ බොහෝ රටවල්වල හදන සහ පානය කරන, රසවල් බොහෝමයකින් තියෙන, ක්‍රම ගණනාවකටම බොන නිසායි. ජින් ගැන මුල්ම සඳහනක් එන්නෙ 13 වැනි සියවසෙන්. ඒත් ජින් ගැන ලිඛිත රෙසිපියක් දකින්න ලැබෙන්නෙ 16 වැනි සියවසේදි. හැබැයි ඇත්තටම ජින් පානයක් විදියට නිශ්චිතව සකසලා ලෝකයට පිළිගන්වන්නෙ ලන්දේසිකාරයෙක් වෙච්චි විද්‍යාඥ ෆ්‍රැන්සිස්කස් සිල්වියස්. ලංකාවෙ වැඩිපුරම ප්‍රසිද්ධ ලෝකල් ලෙමන් ජින් සහ ඩ්‍රයි ජින් වුනත්, ලංකාවෙ වැඩිපුරම ප්‍රසිද්ධ විදෙස් ජින් එක වෙන්නෙ කන්න හිතෙන පාටක් තියෙන බෝතලේක එන බොම්බෙ සැෆයර්. එංගලන්තයෙන්ම ප්‍රමුඛ ජින් බ්‍රෑන්ඩ් බොහෝමයක් නිපදවෙනවා.
ඇමරිකාවෙ බර්බන්
ජැක් ඩැනියල්ස් තමයි ලංකාවෙ අය අතරෙ ප්‍රසිද්ධම බර්බන් එක. තිරිඟුවලින් පෙරණ ඇමරිකාවෙ විස්කි එකට තමයි බර්බන් කියන්නෙ. බර්බන් අතීතෙ 18 වැනි සියවස වෙනකම් ඇදෙනව. බර්බන් හදන්න ප්‍රසිද්ධම කෙන්ටකි ප්‍රදේශය. ඇමරිකාවෙ පෙරලා, පිට රට පටවන ඇල්කොහොලික බීම වලින් උපයන මුදලින් තුනෙන් දෙකක්ම සින්න වෙන්නෙ බර්බන්වලට. බර්බන් හා සමානවම ඇමරිකාවෙ අනිත් ප්‍රසිද්ධම බීම ජාතිය විදියට ටෙනසි විස්කි හඳුන්වන්න පුළුවන්. ඒකට නම් එකෙන්ම සෙට් වෙන්නෙ අපේ අය ආසම බ්‍රෑන්ඩ් එකක් වෙච්ච ජැක් ඩැනියල්ස්. ඒකෙත් ප්‍රිමියම් රස බලන්න ජෙන්ට්ල්මන් ජැක්වලින් පුළුවන්. බර්බන් අපේ රටේ ඒ තරම් ප්‍රසිද්ධ නැතත් ඇමරිකාව හොල්ලපු බර්බන් ජාති එමට තියෙනවා. බර්බන් කවදාවත් පෙර භාවිතා කරපු ගුදම්වල පරණ කරන්නෙ නෑ. ඒ වෙනුවෙන්ම ගන්න අලුත් ගුදම් එක්වරක් භාවිතයෙන් පස්සෙ අනෙකුත් විස්කි වර්ග පරණ කරන්නට යොදවනවා.
වෙනිසියුලාවෙන් ඇහෙන රම් සද්දෙ
ලංකාවෙ නං රම් කිවුවම ප්‍රසිද්ධම රොක්ලන්ඩ්ලගෙ රෙඩ් සහ වයිට් රම්. ඒකට ඒ ලස්සන බෝතලේ ලේබලෙත් හේතුවක් වෙන්න පුළුවන්. හැබැයි රම් දේශීය පානය විදියට භාවිතා වෙන්නෙ වෙනිසියුලා සහ බාබඩෝස්වලයි. උක්දඬුවලින් කෙලින්ම පෙරණ හෝ තවත් නොයෙක් පැණි වර්ග එක් කරලා හදන රම් කියන්නෙත් නැවියන් අතර ප්‍රසිද්ධ පානයක්. කොහොමත් රම්වලට මුහුද හා බැඳිච්ච කතාවක් තියෙන විත්තිය පයිරේට්ස් ඔෆ් ද කැරබියන් වගේ ෆිල්ම් සීරීස් එකක් බලපු අය දන්නවත් ඇතිනෙ. 1700 ගණන් වෙනකං ඉතිහාසයකට දිව යන රම් ලෝකෙ බොහෝමයක් රටවල හදන බීමක්. රම් වර්ග විවිධ ශ්‍රේණිවලින් පෙරාගන්නවා. ඒ කියන්නෙ තද රතකට හුරු වගේම, රන් පැහැ හෝ අවර්ණ වෙනකංම වගේම පැණි රසින් හෝ සැරක් දැනෙන විදියටත් රම් නිපදවෙනවා.
කොරියාවෙන් සෝජු
කොරියානු ටෙලි කතා නිසා වගේම කොරියාවේ වැඩ කරන ශ්‍රී ලාංකිකයන් නිසා ලංකාවේ අතිශය ප්‍රසිද්ධ පානයක් තමයි සෝජු. මේකත් බොහෝ දුරට අවර්ණ මධ්‍යසාරයක්. බොහෝවිට මේ වර්ගයේ මත්පැන් වල 16.5% – 53% වෙනකන් පරාසයක ඇල්කොහොල් අඩංගු වෙනවා. තිරිඟු සහල් සහ බාර්ලි මූලික කරගෙන තමයි කොරියාවේ මේ මත්පැන් නිෂ්පාදනය කරන්නෙ. ඒ වුණාට වර්තමානයේ අර්තාපල් සහ බතල භාවිතා කරලත් මේ මත්පැන් නිෂ්පාදනය කරනවා. කොරියාවේ මේ මත්පැන් පානය කිරීමේදීත් ආචාර ක්‍රමයක් විදිහට කණ්ඩායමේ ඉන්න ලාබාලම කෙනා අනෙක් අයට මත්පැන් වත්කිරීම කරනවා. අද වෙද්දී කොරියාවෙන් පිට රටවල් ගණනාවක මේ සෝජු කියන මත්පැන් වර්ගය නිෂ්පාදනය කරනවා.