සොයන්න
උණුසුම් පුවත්

විශේෂාංග

ස්ත්රී දූෂණයකදී ලංකාවේ මාධ්ය ආයතනවලට තවත් කරන්න ඉතුරු මොනවද?

ලංකාවෙ මාධ්‍ය ආයතන මේ වෙද්දි හරිහමං මාධ්‍යකරණයක නියැලෙන්නෙ නෑ කියලා තමයි පොදු සමාජයේ කතිකාවේ දිශාව පෙන්වන්නෙ. ඉතිං මේ ගැන බොහෝ දෙනා ලියනවා. ඒ අය ලියනවා ලංකාවේ මාධ්‍ය ආයතනවල සදාචාරත්මක වැරදි ගැන, මාධ්‍ය ආයතන හදන්න පුළුවන් විදිය ගැන, මාධ්‍ය ආයතනවලට වැරදුනේ කොතනද? කියන එක ගැන. අන්න ඒ නිසා අපි කතා කරන්න හිතුවා මාධ්‍ය ආයතනයක් විදියට තවදුරටත් ලංකාවේ මාධ්‍ය ආයනවලට දූෂණ අපයෝජන සිදුවීමක කරන්න ඉතුරු මොනවද කියන දේ ගැන කතා කරන්න. මොකද අනිත් අය මේ ඉහත කියපු හැමදේම කතා කරලා ඉවරයිනෙ. ඉතිං Ceylon Journal අපේ මේ කතාබහ තව කරන්න ඉතුරු දේ ගැන.

 

දැනට සිද්ධ වෙන විදිය

තාම ඉතිං ලංකාවෙ මීඩියා කට්ටිය ස්ත්‍රී දූෂණයක් සිද්ධ වුණු ගමන්ම ඒ ගැන බලන්න යන්නෙ සාම්ප්‍රදායික විදියට. දූෂණය වුණු කෙනාගෙ, එයාගෙ ගෙදර අයගෙ, ගෙදර ආර්ථික තත්ත්වෙ, වැඩ කරන තැන හොයාගෙන හැකි තාක් පබ්ලිසිටි දෙනවා. ඊටපස්සෙ දූෂණය කරපු කෙනාව හොයාගෙන, එයා දැනටමත් වැරැද්දක් කරලා නිසා එයාගෙ තොරගුරු ආරක්ෂා කරගෙන එයාගෙන් සිද්ධිය අහගන්නවා. ඊටපස්සෙ පුළුවන් විදියකට අර කතාවට ගැලපෙන විදියෙ රෑප රාමු ටිකක් හදලා මේක ප්‍රසන්ට් කරනවා. ඒ ගැන මහජන අචහස් විමසනවා. ඒ ගැන ඒ දූෂණයට ලක් වූ පාර්ශවයේ අලුත් අලුත් තොරතුරු(දූෂණයට ලක් වන දින ආහාරයට ගත් දේ, වසර තුනකට පෙර අන්තර්ජාලයෙන් නැරඹූ දේ, දූෂණයට ලක් වන මොහොතේ ඇඳ සිටි සරාගී ඇඳුම) එළිදක්වනවා.

 

ප්ලෑන් කරන්න

මේක තමයි ලංකාවෙ මාධ්‍ය ආයතනවලට කරන්න පුළුවන් නියම ම වැඩේ. තරමක් අමාරුයි තමයි. නමුත් දන්න කියන ස්ත්‍රී දූෂකයෙක් හොයාගත්තොත් නිවුස් වැලියු එක පාඩු නෑ. ඒ තමයි ස්ත්‍රී දූෂණයක් සිදු වෙන මොහොතේ සිද්ධිය වාර්ථා කිරීම. ලංකාවෙ මීඩියාවලට තියෙන කන්ටෑක්ට්ස්වල හැටියට ඕක විදි කිහිපයකට කරන්න පුළුවන්. එයාලා දන්න අඳුරන කෙනෙක්ගෙන් ඔත්තුවක් ගන්න පුළුවන්, එහෙමත් නැත්තං කලින් ස්ත්‍රී දූෂකයෙක් ගෙන් තැනයි වෙලාවයි අහගන්නත් පුළුවන්, එහෙමත් නැත්තං ඉතිං එයාලටම ඔහොම දෙයක් ස්ටේජ් කරන්නත් පුළුවන්. එතකොට සමාජෙට හානියකුත් නෑනෙ.

 

දූෂණයේ සොඳුරු පැතිකඩ

ස්ත්‍රී දූෂකයන්ගේ අවිහිංසාවදී පැතිකඩ පිළිබඳ කතා කරන දූෂණයේ සොඳුරු පැතිකඩ සොයා යන වාර්තා වැඩසටහන් ඉදිරිපත් කරන්නත් මාධ්‍ය ආයතනවලට පුළුවන්. ‍පෞද්ගලිකත්වය රකින්න ඕන නිසා ටීවී එකට පිටුපාලා වාඩි කරවන්න, මුහුණු බොඳ කරන්න, හෝ වෙස් මුහුණක් දාන්න පුළුවන්. මොකද ඉතිං ප්‍රේමවතී මනම්පේරිගෙ ඉඳන් අද වෙනකං දූෂණය වුණු කෙනෙකුගෙ මුහුණ ප්‍රසිද්ධ වුණාට කරපු අය හැංගිලානෙ හිටියෙ. ඒ නිසා හරි විදියෙ ස්ක්‍රිප්ට් එකකට අනුව හැකි තාක් හැඟීම්බර කරපු වැඩසටහනක් ඉදිරිපත් කරන්න පුළුවන් නං හොඳයි. වැඩසටහන අවසානයේ දූෂණයට ලක් වුණු කෙනා ගැන සමාජයෙන් කේන්තියක් ආවනං ඇති.

 

ඒ මොහොත මොන වගේද?

දූෂණය කරන අයටම විතරක් ඉඩ දීලා බෑනෙ. දූෂණය වෙච්ච අයටත් ඉඩක් දෙන්න ඕන. ඉතිං ඒ නිසාම දූෂණය වුණු අයගෙනුත් ඒ මොහොතේ හැඟීම ගැන අදහස් විමසනවා නං හොඳයි. දැනටම රට ම දන්න නිසා එයාලගේ මුහුණු හංගන්න දේකුත් නෑ. ඒ වගේම මේකත් ස්ක්‍රිප්ට් එකක් විදියට කරලා, හැඟීම්බර සහ වැරැද්දේ නිශ්චිත පැත්තක් නොතේරෙන විදියට හදාගන්න පුළුවන් නං හොඳයි.

 

පිළිගන්න වේදිකාවේ… ප්‍රවීන ගායක… ස්ත්‍රී දූෂක…

දූෂිතයොන්ව යොදාගෙන තවත් වැදගත් වැඩක් කරන්න පුළුවන්. ඒ තමයි දූෂිත තරුවක් තේරීම. ඉතිං දැන් නඩු තියෙන කට්ටියව වුණත් විශේෂ අවසරයක් පිට ගෙන්වා ගෙන, අපිට පුළුවන්කම තියෙනවා මේ වැඩේ කරන්න. කොහොමත් කරපු වැඩ සහ කරන වැඩ ගැන තියෙන නරක අදහස් මේ වගේ දෙයකින් වියැකී යන නිසා ඒ ස්ත්‍රී දූෂකයොන්ට ඒ තත්ත්වෙන් මිදිලා, වෙනම සැපවත් ජීවිතයක් පටන් ගන්නත් පුළුවන්.

 

විතවුට් අ කොන්ඩම්

කොෆී බොන ගමං කරන චැට්, තරු එක්ක චැට්, හිතවතියො එක්ක චැට් ආදී චැට් ප්‍රෝග්‍රෑම් කියන්නෙත් මේ වගේ ස්ත්‍රී දූෂකයන් සහ ඒ අවස්ථා යොදාගෙන ලංකාවෙ මාධ්‍ය ආයතනවලට කරන්න පුළුවන් අලුත් වැඩක්. ඒ ඒ කට්ටිය ඇවිත්, ඒ ඒ අවස්ථාවේ සිද්ධ වුණු රසබර සිදුවීම් ගැන මිනිස්සුන්ට හිනාවෙන්න පුළුවන් විදියට කියන එක තමයි මේ වැඩසටහනේ අරමුණ. එහෙම බෑ වගේ නම් රාත්‍රී කතාබහ වැඩසටහන්වලට ගායකයන්, නිළියන්, දේශපාලකයන් සමග දූෂිතයන්ද වාඩි කිරීම කරන්න පුළුවන්.

 

තිරෙන් එහා ජීවිතය

වටලන ලද ගණිකා මඩම්වල සිට ගණිකාවන්ගේ ජීවිතය සහ ඉන් ඔබ්බට ධනාත්මක චින්තන වැඩසටහන් පැවැත්වීමත් ලංකාවෙ මාධ්‍ය ආයතනවලට කරන්න ඉතුරු දෙයක්. තමන්ගේ සිසුවියන්ව සහ ඒ අයගේ මවුවරුන් අපහරණයට ලක් කරපු දේශකයින්ගෙන් තවමත් බණ අහන රටක් විදියට අපිට මේ වැඩේ ලේසියෙන්ම කරන්නත්, ඒක කරන්න කැමති අය හොයාගන්නත් පුළුවන්.

Tags