සොයන්න
උණුසුම් පුවත්

විශේෂාංග

ඊශ්‍රායලය ගැන දැනගත යුතුම දේ

මේ සිද්ධ වෙන ඊශ්‍රායල් පලස්තීන යුද්ධය දැන් ඛේදවාචකයක් වෙලා. ප්‍රබල රටවල් මේ යුද්ධයෙන් තමුන්ට වාසි ගන්න බලන අතරෙම, මේ යුද්ධයේ බරපතලක් නොතේරෙන අපි වගේ පොඩි රටවල් පවා දෙපැත්ත බෙදිලා මේ යුද්ධය වෙනුවෙන් රණ්ඩු වෙනවා දකින්න පුළුවන්. දෙබෑ වෙච්ච මුහුද මැදින් ඊජීප්තුවෙන් සොයාගත්තු යුදෙව් වහලුන් එක්ක ගිහින් මෝසස් හොයාගත්තු ඔවුන්ගේ ශුද්ධ වූ භූමිය තමයි ඊශ්‍රාලයලය. ලෝකයේ විද්‍යාව වෙනුවෙන් පේටන්ට් බලපත්‍ර හිමි වසරකට ඩොලර් බිලියන විස්සක් ආරක්ෂක වියදම් වෙනුවෙන් යොදනව රටක් ගැන මේ කතාව ලියන්නෙ කාවවත් සුද්ධ කරන්න නෙමෙයි. මොකද යුද්ධයක් සුද්ධ කරන්න බෑ. යුද්ධය නරකයි. ඒක ගහගන්න බැරි වයසක මිනිස්සුන්ගෙ තරහක් වෙනුවෙන් ඇනකොටා ගන්න තාරුණ්‍ය සහ එයින් විනාශයට පත් වෙන පොදු සමාජය ගැන දුක්ඛිත කතාවක්. එනිසායි යුද්ධෙ පැත්තකින් තියලා අපි ඊශ්‍රායලය ගැන විතරක් කතා කරන්නෙ. නැවත වරක් අවධාරණය කරන්න ඕන දේ තමයි Ceylon Journal අපි කිසිම මොහොතක මේ යුද්ධයේ පැත්තක් වෙනුවෙන් වැඩි විශේෂත්වයක් නොදක්වන වග.

සය දින යුද්ධය
ඊශ්‍රායලය ගැන කියද්දි ඔවුන් ගැන කියන්න ඕන ම දේ තමයි සය දින යුද්ධය කියන්නෙ. ඒ තමයි ඔවුන්ගේ හැකියාව. කිසිඳු යුධ අත්දැකීමක් නැතුව, පීඩිතව හිටපු මිනිස්සු ටිකක් රටට තියෙන ආදරේ එක්ක ඉස්සරහට ඇවිත් ලෝකයේ ප්‍රබල තෙල් සල්ලි තියෙන රටවල් එක්ක යුද්ධ කරලා දින හයකින් දිනපු කතාව ඒ. 1967 අවුරුද්දෙ ජුනි මාසෙ 05 වැනිදා සිට 10 වැනිදා දක්වා සිද්ධ වෙන මේ යුද්ධයේදි ඊශ්‍රායලයේ හතුරා විදියට එකතු වෙන්න අරාබිකරයේ ප්‍රබල රටවල් රැසක් අත්වැල් බැඳගන්නවා. ඒ අනුව ඊජිප්තුව, සිරියාව, සහ ජෝරාදානය ප්‍රමුඛව, ඉරාකය, සවුදි අරාබිය සහ කුවේට් රාජ්‍යය මේ යුද්ධයේදි ඉදිරියට එනවා. ඒ වගේම ප්‍රධාන වශයෙන් නැතත් පකිස්ථානයෙන් සහ ලෙබනනයෙන් ඔවුන්ට මේ යුද්ධයට උදව් ලැබෙනවා. කොහොම වුණත් ​මේ යුද්ධය දින හයකින් ජයගන්න ඊශ්‍රායලය යුද්ධය නිමා කරන්නෙ තමන්ගෙ හතුරන්ගෙ බිම් කොටසුත්(සිරියාවෙන් ගෝලන් හයිට්ස්, ඊජිප්තුවෙන් ගාසා තීරය, ජෝර්දානයේ බටහිර ඉවුර නොහොත් නැගෙනහිර ජෙරුසෙලම) අල්ලාගෙන. ඒ විදියටයි ලංකාවෙන් තුනෙන් එකක් පමණ වුණු ඊශ්‍රායල පසු කාලීනව ලංකාව තරමට විශාල වෙන්නෙ.

පෘථිවියෙ යටම තැන
මළ මුහුද කියන්නෙ ඊශ්‍රායලය ගැන කතා කරද්දි අමතක කරන්නම බැරි දෙයක්. ඒ තමයි මළ මුහුද පෘථිවියේ පහළින්ම පිහිටි තැන විදියට සැලකෙන එක. එහි වතුරේ ඇති අධික ලුණු සහ ලවණ සාන්ද්‍රණය නිසාම එය සාමාන්‍ය මුහුදට වඩා දහ ගුණයකින් වැඩි ලුණු සංයුතියකින් හෙබි බවයි පැවසෙන්නේ. මෙම ලුණු සාන්ද්‍රණය අධික වීම නිසා සතුන්ට එම මුහුදේ වාසය කරන්නට හැකියාවක් ඇත්තේත් නෑ. එලෙස ජීවීන් රහිත වීම නිසාම එයට මළ මුහුද යන නම ලැබී තිබෙනවා. මෙය ඊශ්‍රායලය සම්බන්ධයෙන් කතා කරද්දී අමතක නොකළ යුතු කාරණයක්.

තාක්ෂණයේ ඉම
යුධ ශක්තිය, භූගෝලීය පිහිටීම වගේම ඊශ්‍රායලය ගැන කතා කරද්දි ඔවුන්ගේ විද්‍යාවේ ශක්තිය ගැනත් අමතක කරන්න බෑ. ඔවුන් දළ දේශීය නිශ්පාදිතයෙන් 4.3%ක් ඔවුන්ගේ විද්‍යා සහ තාක්ෂණ අංශය වෙනුවෙන් යොදවනවා. එය ප්‍රතිශතයක් ලෙසින් ලොව වැඩිම යෙදවීම ලෙසද දැක්වෙනවා. 2019 වන විට ඔවුන් ලොව නව නිපැයුම් කරන රටවල් අතුරින් පස් වැනි තැන හිමි කරගන්නවා. ඒ අර අපි කියූ ශ්‍රී ලංකාවෙන් ⅓ ක ප්‍රමාණයේ භූමියක සිටයි. රටේ සේවකයන් දසදහසකට විද්‍යාඥයන් 140ක් සිටීම ලොව වැඩිම අනුපාත වෙනස ලෙසද දැක්වෙනවා. රට තුළ තාක්ෂණික නව ව්‍යාපාර 6000ක් ක්‍රියාත්මකයි. එසේම ඇමරිකානු ඩොලර් බිලියනයට වඩා වැඩි වටිනාකමක් ඇති තාක්ෂණික සමාගම් වන යුනිකෝන් ස්ටාට්අප්ස් 30ක් ඔවුන් සතුයි. එය සම්පූර්ණ යුරෝපයේම එවැනි ව්‍යාපාර එකතුවටත් වඩා වැඩි සංඛ්‍යාවක් වෙනවා. ඔවුන්ගේ පේටන්ට් බලපත්‍ර සම්බන්ධයෙන් වෙනම ලිපියක් ඔබ වෙත ගෙන එන බලාපොරොත්තුව නිසාම එය ලොව වැඩිම ප්‍රතිශතය බව පමණක් පවසා මෙම කොටස හමාර කරනවා.

වෛද්‍ය විද්‍යාවට ඉඩක්
පෙර කොටසේ දිගුවක් ලෙසින් මේ පවසන්නේ ඔවුන් වෛද්‍ය විද්‍යාවට තිළිණ කළ දේ කිහිපයක් පිළිබඳවයි. ඔවුන් සුවඳßන් රෝග නිශ්චය කළ හැකි ස්නිෆ්ෆෝන් නම් උපකරණයක් සොයාගන්නවා. බ්‍රෙතලයිසරයක් ලෙසින් ක්‍රියා කරන එය 86% – 93% දක්වා නිරවද්‍යතාවයකින් යුක්ත බව සඳහන්.
එක්සොස්කෙලටන් නමින් බැට්‍රි තියෙන ඇටකටු පද්ධතියක් ඔවුන් නිෂ්පාදනය කරන්නේ යටි කය පණ නැතිවූ මිනිසුන් වෙනුවෙන්. ඔවුන්ට පහසුවෙන් හිට ගැනීමට පමණක් නොව, ඇවිදීමට සහ පඩිපෙළ නැගීමට පවා මෙම බැට්‍රියකින් බලගැන්වෙන පද්ධතියෙන් උදව් ලැබෙනවා.
පිල්කැම් නමින් ගිලින කැමරාවද නිපදවන්නේ ඔවුන්. ශරීර අභ්‍යන්තරයේ ඇති ලෙඩ රෝග හඳුනාගැනීමට පහසු වෙන ලෙසින් නිපදවා ඇති මෙය වඩා ලේසියෙන් රෝග නිශ්චය කරගත හැකි ලෙස සකසා තිබෙනවා.
මීට අමතරව තවත් බොහෝ දෘඩාංග සහ මෘදුකාංග ඔවුන් අතින් නිමවී තිබෙනවා.

ආර්ථිකය
මේ සියල්ලට පණ පොවන ඔවුන්ගේ අති සාර්ථක ආර්ථිකය ගැනත් නොකියා බැහැ. කෝටියකට අඩු ජනගහණයක් සිටින ඊශ්‍රායලයේ දල දේශීය නිෂ්පාදතය ඇමරිකානු ඩොලර් බිලියන 600කට ආසන්නයි. නිදහස් වෙළඳපොළ ආර්ථිකයක් හිමි එරට දිළිඳු රේඛාවෙන් යට ජීවත් වන්නේ ජනගහණයෙන් 15%කට ආසන්න පිරිසක් පමණයි. රැකියා විරහිත තරුණ පිරිස 5%කට ආසන්න අගයක් වෙන අතර, සාමාන්‍ය මාසික වැටුප යුරෝ 3500ක පමණ නොහොත් රුපියල් ලක්ෂ 12කට ආසන්න අගයක් ගන්නවා.

මේ සරළ කාරණා එක්ක ඊශ්‍රායලය කොයිතරම් ඉහළින් සිටිනවාද කියන දේ අපි අමුතුවෙන් කියන්න උවමනා වෙන්නේ නැහැ. යුදෙව්වන් ගැන, අයින්ස්ටයින්, චේ ග්වේරා, සකර්බර්ග් වැනි චරිත වගේම ගාල් ගැඩෝ වැනි සුරූපිනියන් සහ යුදෙව් සම්භවය ගැනත් අපි ඉිදිරි සටහනකින් දීර්ඝ විස්තරයක් කරන්න සූදානම්. එහෙමනම් මේ සටහන නවතින්නේ ලෝකයේ දැන් ඇවිලෙන යුද ගිනි දැල් නිවිලා ලෝකයටම තවතවත් සේවය කරන්නට මේ තාක්ෂණයෙන් පිරි ඉදිරිගාමී රටට හැකිවේවා කියන පැතුමත් එක්කමයි.

Tags