විශේෂාංග
ආගමක් නම් පේන්නම ඕනෙද?

ආගම් ගැන මේ කාලෙ කතා බොහොමයක් සිද්ධ වෙනවා. ආගම්වලට කතාවකින් හානි වෙන හැටි, ඒ හානියෙන් ආගම බේරගන්න කට්ටිය ඉස්සරහට එන හැටි, ආගම් ඇතුළෙ ආගමිකයො හැසිරෙන හැටි, ආගමෙන් පිට ආගමිකයො හැසිරෙන හැටි, පූජ්‍ය පක්ෂය අපයෝජන කරන හැටි, ආගමක් දියුණු ආගමක් බවට පත් කරන්න බිල්ඩිං හැදෙන හැටි, ඒ ඒ බිල්ඩිං ඒ ඒ මට්ටම්වලට ගෙනියන්න බොහෝ දෙනෙක් මහන්සි වෙන හැටි මේ කාලෙ දකින්න පුළුවන්. ආගමක් කියන්නෙ මිනිස්සු එක්කහු වෙලා රකින්නට ඕන දෙයක්ද? එහෙමත් නැත්තං ආගමක් කියන්නෙ මිනිස්සු නොහොත් මනස උසස් වුන් ඒ තැන පවත්වා ගන්න තියෙන දෙයක්ද? මෙන්න මේ ගැන කතාවක් තමයි අද අපි Ceylon Journal වෙතින් ගෙනෙන්නෙ.
ආගමක් නම්…
ආගමක් කියන්නෙ මොකද්ද? ආගමක් ඕන මොකටද? ආගමක් අපි විසින් රැක ගත යුතුද? අන්න ඒ ගැන තමයි මේ කියන්න යන්නෙ. ආගමක් ඕන වෙන්නෙ මිනිස්සුන්ට හොඳින් ජීවත් වෙන්න. නමුත් හොඳින් ජීවත් වෙන්න අපහසු අයට ආගමක් විසින් හරි පාර කියන්න ඕන. අන්න ඒකට ආගම උදව්වක් කරගන්නවා මිසක් අපි ආගම වෙනුවෙන් ජීවත් වෙලා හෝ ආගම ජීවත් කරවීමට ජීවිතය පූජා කරලා වැඩක් නෑ. ඔයාට දුවන්න සපත්තු ඕන නැති වුණාට, සපත්තු තියෙද්දි දුවන්න ලේසියි. අන්න ඒ වගේ ආගමක් නිසා අපේ ජීවිතය පහසු වෙන්න ඕන මිසක් අපහසු කරගන්න එක හෝ නීතිවල බැඳෙන එක කරදරයි.
දැන් ආගමක?
දැන් ආගමක තියෙනවා ඒ ඒ කාලෙට කළ යුතු වත්පිළිවෙත්. අඳින්න ඕන ඇඳුම්. කතා කරන්න ඕන විදිය. වාඩි වෙන්න ඕන විදිය. කන බොන දේ, විවේචනයේ තහනම, ඒ ආගමිකයන්ට නීතියෙන් තියෙන විශේෂ වාසි, ඒ වගේම බලහත්කාරයෙන් ආගමට පොළඹවාගැනීම් දකින්න පුළුවන්. ඔබ දකින්න ඇති ආගමික ස්ථාන බදුවලින් නිදහස් වුණත් ඔවුන් ආගමික ස්ථාන තුළ කරන ව්‍යාපාර, ඔබ දකින්න ඇති පූජකයන් තමන්ගේ ආගමිකයන්ට වැඩි වැඩියෙන් දරුවන් හැදුවොත් මුදල් හෝ ගෙවල් තනා දෙන බවට කළ පොරොන්දු, ඔබ දකින්න ඇති පූජකයන් ආගමේ නාමයෙන් සිදු කරන වංචා සහ දූෂණ, ඉතිං අපිට ආයෙ හිතන්න වෙනවා මේ දේවල් නැති ආගමක් අපිට පිළිපදින්න ඉතුරුයිද කියලා.
ආගම් සහ බිල්ඩිං
වර්තමානයෙන් සහ අතීතයෙන් කතා දෙකක් කියලා මේ කොටස සම්පූර්ණ කරන්නම්. වර්තමාන කතාව කියන්නෙ කිසිවෙකු නොමළ ගේකින් අබ මිටක් ගෙනෙන්නට ගිය කිසාගෝතමියගේ කතාවේ දිගුවක් විදයට. ඒ තමයි එදා කිසාගෝතමිය කිසිවෙකු නොමළ ගෙයක් සොයාගැනීමට නොහැකිව අසරණ වූ විදියට ම, මේ කාලයේ අසරණ වෙන තවත් විදියක්. ඒ තමයි සදා නිම නොකළ පන්සලකින් වැලි මිටක් ගෙන එන එක.
අතීත කතාව තරමක් පරණයි. කතෝලික ආගම ව්‍යාප්තියේදි ඔවුන්ගේ ප්‍රමුඛ ඉලක්කයක් වුණෙත් බිල්ඩිං. ඉතිං මේ ප්‍රමාණයෙන් විශාල බිල්ඩිං හදන්න ඔවුන්ට ගොඩනැගිලි ද්‍රව්‍ය සපයා ගැනීම තරමක් අපහසු වුණා. එකට උත්තරයක් සොයාගත්තේ වාහන ජැක් එකෙන්. කරකවද්දි ත්‍රිකෝණයක් වගේ ඉහළට ඉස්සෙන වාහන ජැක් එකෙන් අදහස අරගෙන පළල නැති උසැති පල්ලි හදලා අඩු ගොඩනැගිලි ද්‍රව්‍ය ප්‍රමාණයකින් වැඩි විශාලත්වයක් පෙන්වන්න ඔවුන් සමත් වුණා. අපි කියන්නෙ එපමණයි.
ආගම් සහ දූෂණය
කිහිප දිනකට පෙර එක්තරා ප්‍රසිද්ධ විහාරාධිපතිනමක් අපවත් වුණාම ලොකුම ප්‍රශ්නය වුණේ උන්නාන්සෙගේ අඹුවන්ට ඉඩම් බෙදාගන්න බැරුව. එක්තරා කතෝලික පාලනයේ තියෙන අනාථ නිවාසයක ගැහැනු දරුවන් පසුදින උදයේ පාසලේදී නිදා වැටෙන විට එයට හේතුව ලෙස කීවේ පාදිලියන් අතින් රාත්‍රිය පුරා සිදුවන අපයෝජනයන් ගැන. අඩු වයස් දැරියන් විවාහ කරගන්න අවුරුදු 70ත් ඉක්මවූ ඉස්ලාම් පූජකයන් ගැනත් අහන්න ලැබෙන කතා අනන්තවත් ඔබ දැක ඇති. ඉතිං අපි ආගම් සහ දූෂණය ගැන කතා කරන්න උවමනා නෑ කියල අපි හිතනවා.
ආගම් සහ භීෂණය
ආගම් සහ භීෂණය කියන්නෙ මේ වෙද්දි දරුණුවටම තියෙන දෙයක්. මරාගෙන මැරිලා හරි ආගම රකින්න හදන ආගමිකයන් ආගමෙන් ලබාගත්තු ශාන්තිය තිබ්බෙ කොහෙද? ලොකුහාමුදුරුකම අරගන්න මිනීමැරුම් කරන හිමිවරුන් අපිට අත්හරින්න කියන්නෙ මොනවද? අන්‍යාගමිකයන් රොතු පිටින් බෝම්බ පුපුරවා මරාදමන ආගමිකයන් අහසට ගිහින් කන්‍යාවියන් 72කට කියන්නෙ මොනවද? මේ ගැන අමුතුවෙන් ලංකාවෙ අපිට වටහා දෙන්න දේවල් තියෙනවාද?
ආගම් සහ දේශපාලනය
එක් ආගමක පිරිසක් තව ආගමක පිරිසක් මරා දමා පටන්ගත්තු දේශපාලන කැම්පේන් එකෙන් රජ වුණේ වෙනස් ආගමක් කෙනෙක් නේද? ආගමක් රාජ්‍ය හා බැඳීම කොයිතරම් විපාකයක්ද කියා පෙන්වන්නට ඔබ අප අවට ඕනෑ තරම් උදාහරණ දකින්නට ලැබේවි. ආගමකට රාජ්‍යයකින් ලැබෙන්න තියෙන හොඳම ගෞරවය වෙන්නෙ එය රාජ්‍යයෙන් විතැන් කිරීමම විතරයි. නමුත් එයට දේශපාලකයා සහ පූජකයා යන දෙපිරිසම බයයි. ඔවුන්ට ඔවුන් නැතුව පැවැත්මක් නෑ.
ඉතිං මේ වෙද්දි ආගම් අපිට නරක කරන්නෙ කොහොමද කියලා අපිට පැහැදිලිව පේනවා. නමුත් අපිට ආගමෙන් හොඳ කරන්නෙ කොහොමද කියලා පෙන්නන්න ඉන්න අයම මේ විනාසෙටත් මුල් වෙලා ඉන්න නිසා අපිට පිළිසරණක් හොයාගන්න තියෙන ඉඩ හරිම අඩුයි. ඇත්තටම අපි පටන් ගනිද්දි ප්‍රශ්නයක් අහලා තියෙන විදියට ආගමක් පේන්න ඕන. නමුත් ආගමක් දැනෙන්න ඕන.