සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

කොළඹ ජාතික රෝහලේදී සැත්කමකින් පසුව කාන්තාවක් ජීවිතක්‍ෂයට​.

61 වැනි වියෙහි පසුවන නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් පසුගිය දිනෙක කොළඹ ජාතික රෝහලට ඇතුලත්ව ඇත්තේ ශල්‍යකර්මයක් සිදුකර ගැනීම සඳහායි. ඒ අනුව ඇයව මීට දින දෙකකට පෙර අදාළ ශල්‍යකර්මයට ලක්කර ඇති අතර​, රෝහල් ආරංචි මාර්ග සඳහන් කර ඇත්තේ ශල්‍යකර්මයෙන් පසු ප්‍රකෘති තත්ත්වයට පත්කිරීම සඳහා සිදුකරන ප්‍රතිසාධන ප්‍රතිකාර අවස්ථාවේදී ඇය​ ජීවිතක්‍ෂයට පත්ව ඇති බවයි.

මේ සම්බන්ධව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ මණ්ඩලයෙහි කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා පැවසූවේ ශල්‍යකර්මයෙන් අනතුරුව ඇයට ඔක්සිජන් වෙනුවට කාබන්ඩයොක්සයිඩ් ලබාදී ඇති බවට​ තොරතුරු ලැබී ඇති බවයි. මේ ඒ මහතා දැක්වූ අදහස්.

” පියයුරු සම්බන්ධයෙන් ශල්‍යකර්මයක් කිරීමට තමයි රෝගියා ජාතික රෝහලට ඇතුලත් කරලා තියෙන්නේ. අපිට දැනගන්නට ලැබිලා තියෙන විදිහට ඇයගේ ශල්‍යකර්මය සාර්ථකව කරලා තියෙනවා. ඉන් පස්සේ ඇයව සාමාන්‍ය තත්ත්වයට පත්කර ගැනීම සඳහා ඔක්සිජන් ලබාදීමේ අවශ්‍යතාවයක් තිබෙනවා. ඇයට ඔක්සිජන් ලබාදීමේදී විශාල ප්‍රමාණයක් කාබන්ඩයොක්සයිඩ් වායුව ඇතුල්වීම තමයි මේ මරණයට හේතුවෙලා තියෙන්නේ. තවම විමර්ශණ මට්ටමේ තියෙනවා කොහොමද කාබන්ඩයොක්සයිඩ් වායුව ඇතුළු වුනේ කියලා. රෝගියාගේ මරණයට හේතුව විදිහට වාර්තා කරලා තියෙන්නේ ඔක්සිජන් මදිවීම නිසා මියගිය බව​. මේක සාමාන්‍ය සිදුවීමක් වීමට ඉඩකඩ මදි කියන එකයි අපේ අපේක්‍ෂාව​. මේ සම්බන්ධයෙන් ඉක්මනින් විමර්ශණයක් කරන්න කියලා අපි සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලලා තියෙනවා.”

මේ සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතාගෙන් සිදුකරන ලද විමසීමකදී ඔහු සඳහන් කර ඇත්තේ මරණය සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් ආරම්භ කරන බවත් එතෙක් ඒ පිළිබඳව කිසිදු ප්‍රකාශයක් ලබාදිය නොහැකි බවත් ය​. මේ අතර සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කර සිටින්නේ සෞඛ්‍ය කාර්‍ය මණ්ඩලවල අතපසුවීම් පිළිබඳව වාර්‍ෂිකව පැමිණිලි 600කට ආසන්න සංඛ්‍යාවක් ලැබෙනා බවයි.

Tags