දේශීය පුවත්
ගොතටුව ගිලා බස්නා වළෙහි වගකීම බාරගන්නේ කවුරුන් ද?

ගොතටුව දොඩන්ගහහේන මාර්ගයේ වැසි ජලයෙන් පිරී යන දැවැන්ත ගිලා බස්නා වළ වසා දැමීමට හෝ කඩිනමින් පිළිසකර කිරීමට පියවර නොගෙන අදාළ බලධාරීන් විසින් මේ වන විට එම කටයුත්ත මග හරිමින් සිටී. ඉකුත් අඟහරුවාදා දින (19) උදෑසන පියෙකු සහ දියණියක් යතුරුපැදියකින් පාසල වෙත ගමන් කරමින් සිටියදී අඩි 16 පමණ ගැඹුරු (ප්‍රදේශවාසීන් පවසන පරිදි අඩි 06ක පමණ) ජලයෙන් පිරී ගිය මෙම වළට පතිත වන සීසීටීවී දර්ශණ සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරණය විණි.
අවට සිටි පුද්ගලයන්ගේ ඉක්මන් ක්‍රියාපටිපාටිය හේතුවෙන් ඔවුන් දෙදෙනා ආරක්‍ෂිතව මුදවා ගැනීමට එම අවස්ථාවේ හැකි විය. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් මෙම මාර්ගය අභ්‍යන්තරයේ ජල කාන්දුවක් පවතින බවට පිළිගෙන ඇති නමුත් ඉහත සිදුවීමට පෙර මෙවන් තත්ත්වයක් පිළිබඳ තමන්ට වාර්තා වී නොමැති බවට පවසා සිටියි.
මෙම සිද්ධියට ප්‍රතිචාර දක්වමින් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සේවක සංගමයේ ප්‍රධාන ලේකම්, ඉංජිනේරු උපාලි රත්නායක මහතා කියා සිටියේ ජල කාන්දුවීම් සක්‍රීයව නිරීක්ෂණය කිරීමට මණ්ඩලයට දැනට ක්‍රමවේදයක් නොමැති බවයි. එබැවින් කාන්දුවීම් පිළිබඳ පැමිණිලි අදාළ ප්‍රදේශවාසීන් විසින් හෝ ජල සම්පාදන මණ්ඩලයේ නඩත්තු කාර්ය මණ්ඩලයන් විසින් හඳුනා ගත යුතුව ඇති බවට දක්වා තිබේ.
රත්නායක මහතා වැඩිදුරටත් කියා සිටියේ එලෙස යම්කිසි ආකාරයේ පැමිණිල්ලක් ලැබීමෙන් පසුවද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් නිසි පියවර ගැනීමට අපොහොසත් වී ඇත්නම් එහිදී යම්කිසි සිදුවීමකට අදාළව වගකීම මණ්ඩලය සතු වන බවය. කෙසේ වෙතත්, ජල නලය පොළව අභ්‍යන්තරයේ පුපුරා යෑම මෙම ගිලා බැසීමට හේතුව වී ඇතැයි සඳහන් වේ.
මීට අමතරව, හානිය පිළිසකර කිරීමේ වගකීම බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියට පැවරෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේය. බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරියෙකු විසින් සඳහන් කර ඇත්තේ මෙම සිදුවීමේ වගකීම ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් දැරිය යුතු බවටය.
මෙම ප්‍රකාශයන් හරහා ඉස්මතු වන්නේ යටිතල පහසුකම් නඩත්තු කිරීම සහ අලුත්වැඩියා කිරීම සම්බන්ධ වගකීම් විවිධ බලධාරීන් අතර අවිනිශ්චිත අන්දමින් බෙදා හැරීමය.
2021 අප්‍රේල් 8 වන දින නල එලීමේ කටයුතු සඳහා කිලෝමීටර් දෙකක දුරක් නඩත්තු කිරීම ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වෙත භාර දී ඇත. ව්‍යාපෘති කොන්ත්‍රාත්තුවට අනුව මාර්ගය නඩත්තු කිරීමේ වගකීම නිල වශයෙන් ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වෙත පවරා දී තිබේ. ව්‍යාපෘතිය අවසන් වූ පසු, කාපට් ඇතිරීම සඳහා මාර්ගය පවරා ගැනීම බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ වගකීමකි. නල එලීමේ කටයුතු අවසන් වූ පසු ස්ථිර අලුත්වැඩියාව සහ නඩත්තුව සඳහා මාර්ගය නැවත බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය වෙත යොමු කල යුතුව ඇති බව මෙමගින් පෙන්නුම් කෙරේ.
ගිවිසුමේ සඳහන් පරිදි මාර්ගයේ තාවකාලික පිළිසකර කිරීම් සඳහා ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් වගකීම දැරිය යුතු වන අතර ස්ථිර අලුත්වැඩියාවන් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් දැරිය යුතුව ඇත.