සොයන්න
උණුසුම් පුවත්

Movie Review

21 Grams සිනමා නිර්මාණය​

ඛේදජනක අනතුරක් සහ ඒ හා බැඳුණු චරිත ත්‍රිත්වයක සංවේදනීය දිග හැරුමක් ලෙස 2003 වසරේදී එළිදක්වනු ලැබූ 21 Grams සිනමා පටය හැඳින්විය හැක​. අතීත සහ වර්තමාන සිදුවීම් අතර එකිනෙකට දෝලනය වෙමින් අවසානාත්මක තත්පරය තෙක්ම කුතුහලයෙන් යුතුව ප්‍රේක්‍ෂකයා නතු කර ගැන්මේ හැකියාව නිර්මාණකරුවාගේ සුවිශේෂී දක්‍ෂතාවයක් ලෙස සිතිය හැකි අතරම විශේෂයෙන්ම මීට දශක දෙකක කාලයකට පෙරාතුව එවන් පරිකල්පනයකින් නිර්මාණයක් ගොඩනැංවීමම විශිෂ්ඨත්වයේ සංකේතයක් ලෙස සැලකිය හැකිය​.

Paul Rivers යනු ගණිතය විෂය පිළිබඳ මහාචාර්යවරයෙකි. ඔහු දුම්බීමෙහි ලා දැඩිව ඇබ්බැහි වී සිටින්නෙකු වන අතර, සිනමා පටය ආරම්භයේදීම හදවත් බද්ධ කිරීමක අවශ්‍යතාවය පිළිබඳව හැගවීමක් සිදු කෙරෙයි. Paulගේ සහ බිරිඳගේ බලාපොරොත්තුව ඒ ආකාරයේ වුව ද ඔවුනට ඇති අවස්ථාවන් ඉතා සීමිතය. Paul Rivers මිය යාමට තිබෙන ඉඩකඩ ද වැඩි නිසා බිරිඳ වන Mary Rivers, දෙදෙනාට දාව දරුවෙකු සාදා ගැනීම පිළිබඳව ද පසුවන්නේ දෙගිඩියාවකිනි.

අතීත වැරදි ගණනාවකටම සිරකරුවෙක්ව සිට ඇති Jack Jordan වර්තමානය තුළ අපට පෙනෙනුයේ ආගමික ජීවිතයකට අනුගත වූ සහ යහපත් පවුල් ජීවිතයක් ගත කිරීමට වෙර දරන​ දෙදරු පියෙක් වශයෙනුයි. ගොල්ෆ් සාමූහිකයක සහායකයෙකු වශයෙන් රැකියාව කරමින් සිටින ඔහුට ඉන් ඉවත් වන්නට සිදු වන්නේ ටැටූස් කිහිපයක් (ගෙලෙහි) ආවරණය නොවී තිබීම පිළිබඳ ඉහළ නිලධාරීන් ගන්නා තීරණයක් නිසාවෙනි. සමාජ සේවා කටයුතු වෙනුවෙන් ස්වේච්ඡාවෙන්ම සම්බන්ධ වන Jack ප්‍රශ්ණකාරී තරුණයන්ට ද උපදෙස් ආදිය ලබා දෙමින් ඔවුන්ව​ යහමගට ගැනීමේ උත්සාහයක නියැලේ. ඔහුගේ කැබ්රියේ ගැටී සිදුවන අනතුර චරිත ත්‍රිත්වයේම ජීවිත උඩු යටිකුරු කරනු ලබන අතර සිනමා පටය නැරඹීමෙන්ම එම කාරණාවන් පසක් කර ගැනීමට ඔබ වෙත ඉඩ තබමි.

Cristina පසුවන්නේ දැඩි කම්පාවකිනි. වේදනාව සමනය කර ගැනීම සඳහා ඇය තදින් මතට ඇබ්බැහි වී සිටිනා අතර රාත්‍රී සමාජ ශාලා වල කාලය ගෙවීමට පෙළඹෙන්නේ ද​ සිය පාළුව හා තනිකම මකාග​නු පිණිසය​. සිය​ ජීවිතය නැවත ගොඩනඟා ගැනීමේ උත්සාහයක් ද පෙනෙන්නට තිබෙනා අතරම;​ අතීතයට දෝලනය වූ විගස තම​ දියණියන් දෙදෙනා සමග ඉතාම කෙළිදෙලෙන් පසුවන දර්ශණ ද ප්‍රේක්‍ෂකයාට​ දැකගන්නට ලැබේ.

අනපේක්ෂිත ආකාරයෙන් ඡේදනය වන මෙම චරිත ත්‍රිත්වය මගින් ආදරය, ශෝකය සහ ඉන් මිදීමට දරනා වූ කටුක යතාර්ථය පිළිබඳ දසුන් එකිනෙකට පෙළගස්වනු ලබයි. රේඛීය නොවන ආඛ්‍යාන ව්‍යුහය මුලින් සඳහන් කල පරිද්දෙන්ම පැය දෙකකුත් මිනිත්තු හතරක කාලයක් පුරාවට ඔබව නිර්මාණය තුළම​ ඇඳ බැඳ තබා ගනු ඇති. ප්‍රධාන චරිත තුනෙහිම රංගණ විශිෂ්ඨත්වය පැසසිය යුතුම අතර ඒ සඳහා දායකත්වය ලබා දෙනුයේ පිළිවෙළින් Sean Penn, Benicio Del Toro සහ Naomi Watts විසිණි​. සිනමා පටයේ අන්තර්ගත නිර්මාණාත්මක​ කාරණා පිළිබඳ වැඩි වශයෙන් ගෙන හැර දැක්වීම උචිත නොවන්නේ කුතුහලය පිණිසත් රසවින්දනය සඳහාත් යමක් ඉතිරි කළ යුතු යැයි හැගෙන නිසාවෙනි.

ප්‍රධාන චරිතයට පණ පොවනු ලැබූ හොඳම නිළිය සඳහා 2004 වසරේදී Naomi Watts ඔස්කාර් සම්මානයට නිර්දේශ වී ඇති අතරම එම වසරේම සහය භූමිකාවක හොඳම නළුවා වශයෙන් Benicio Del Toro ද​ ඔස්කාර් සම්මානය සඳහා නිර්දේශ වී ඇත​. සිනමා පටය වෙනුවෙන් දිනා ගෙන ඇති මුළු සම්මාන ප්‍රමාණය 30 සහ නිර්දේශ වීම් සමස්ථයක් ලෙස 79කි. විශිෂ්ඨ වූ අධ්‍යක්‍ෂණ දායකත්වයෙහි ලා Alejandro G. Iñárritu මෙන්ම තිර රචනයෙන් Guillermo Arriaga දැවැන්ත කාර්ය භාරයක් ඉටු කර ඇත​. Crime, Drama, Thriller වශයෙන් වර්ගීකරණය වන 21 Grams සටහන තබන මොහොත වන විටදී දෙලක්‍ෂ හතලිස් දෙදහසක ප්‍රේක්‍ෂක ප්‍රතිචාර අතුරින් 7.6/10 වැනි ඉහළ අගයක රැඳී තිබීමත් TOMATOMETER අගය 81% පැවතීම​ හරහාත් නිර්මාණයේ ගුණාත්මකභාවය පිළිබඳ උවමනාවටත් වඩා නිදර්ශක ඔබ වෙත සපයනු ඇත​.

නොදැනුවත්වම හෝ ඇසට කඳුළක් උණනු ඇතැයි ඔබ විශ්වාස කරනවා නම් නරඹන්න​.. 21 Grams සිනමා පටය​..

පූර්ව ප්‍රචාරක පටය පහත සබැඳියෙන්:

Tags