පාඨක ලිපි
වීදි මලක් (කෙටි කතාව)

අදත් වෙනදා වගේම පාරේ ලොකු වාහන තදබදයක්.වාහන තදබදය අතරතුර ඇස් පියා ගත්තේ ඊයේ රෑ ගොඩාක් නිදි මරපු නිසා.ඒත් නින්දනම් ලග පාතකවත් නෑ.නින්දත් එක්කම හිතත් ගොඩාක් ඈත අතීතයකට ඇදිලා යනවා කියලා මට තේරෙන්න වැඩි වේලාවක් ගියේ නෑ.හිත දුවන්නේ අතීතයට.මේ පාර එක්ක බැදුණු මතක සටහන්වලට.
මීට අවුරුදු 20කට විතර කලින් මේ පාරේ යන හැමෝම දකින දසුනක්.
බෝ ගහ යට පුංචි කෙල්ලෙක් එයාගේ තාත්තාත් එක්ක වාඩිවෙලා කිලිටි රෙදි කැබැල්ලකින් සපත්තු පිහිදානවා.ඒ මගේ තාත්තාගේ රස්සාව කැඩිචච සපත්තු හදන එක.තාත්තාගේ ඇගත් කැඩිච්ච සපත්තුවක් වගේ.කලුවෙච්ච අත පයත් හැමවෙලේම තියෙන කැස්සත් මහ පාරේ තියෙන දූවිල්ලේ තරම දැනගන්න හොදටම සාක්ශි.එහා ගෙදර සිරියාවතී නැන්දා කියන්නේ අපේ අම්මා වාහන තියෙන මිනිහෙක් එක්ක ගිය දවසෙ ඉදලාලු තාත්තාට මෙහෙම වුනේ. උදේට කිරි කොක්කු වගේ සුදට ඇදන් ළමයි ඉස්කෝලේ යනකොට මටත් යන්න ආසයි.තාත්තාට අපිව ඉස්කෝලේ යවන්න සල්ලි නෑ.ඒත් තාත්තා එයා දන්න විදියට අකුරු කියා දෙනවා කුප්පි ලාම්පු එළියෙන් අපේ මුඩුක්කු ගෙදරදි.මගේ එකම අයියාට අකුරු අහගන්න ඕනි නෑ.අයියා හැමවෙලේම කරන්නේ තාත්තාගෙන් සල්ලි ඉල්ලලා තාත්තාට කරදර කරන එක.
මේ හැමදේම කියන්න මට හිටපු හොදම යාලුවා බිංදු.එයා බිංදු තියෙන ලස්සනම ලස්සන ගවුමක් ඇදන් ඉන්නේ.අපේ ගේ පිටිපස්සේ තියෙන කුණු ගොඩේ තිබිලා තාත්තා මට ගෙනත් දුන්නේ එයාව.
ගොඩාක් දවස්වලට අපිට කන්න බත් තිබුනේ නෑ පාන් කෑල්ලකින් වගේ තමයි බඩ පුරෝ ගත්තේ.තාත්තා කන්නේ අපි දෙන්නා කාලා ඉවර වුනාම.සමහර දවසට තාත්තාට කන්න අයියා ඉතුරු කරන්නෑ.
අඩු පාඩු තිබ්බාත් ඒ ගෙවපු ජීව්තේ උඩු යටිකුරු වෙන්න පටන් ගත්තේ පුදුම විදියකට.
දවසක් මට අයියාගේ කලිසම් සාක්කුවක තිබිලා සුදු පාට පවුඩර් ජාතියක් හම්බුනා.සිරියාවතී නැන්දා හැමදාම හවසට යන ගමන යන්න කලින් ගාන පවුඩර් වගේ.සුවදනම් නෑ.මම ඒකෙන් ටිකක් මූණේ ගාගන්න හදනකොටම තාත්තා එතනට ආවා.තාත්තාට ඒක දැකලා හොදටම කේන්ති ගිහින්.එදා අයියා ගෙදර ආපු ගමන් තාත්තාගෙන් හොද ගුටි වරුසාවක් හම්බුනා.පවුඩර් වලට ඔච්චරටම කේන්ති යනවාද මට එදා හිතුනේ එහෙම තමා.එදා ඉදලා අද වෙනතුරු මම අයියාව දැක්කේ නෑ.
අයියා ගෙදරින් ගියාට පස්සේ තාත්තා කාත් එක්කවත් වැඩිය කතා බහක් නැතිවුණා.
මේ විදියට තාත්තාගේ ඇතිවුණ වෙනස්වීම ගොඩාක්ම දැනුනේ මට.ඒත් මේ හැමදේම බෙදාගන්න මට හිටියේ බිංදු විතරයි.
එදා හරිම මූසල දවසක්.උදේ ඉදලා තාත්තාගේ කැස්ස වැඩී.මම ගියා සිරියාවතී නැන්දාට කියන්න කැස්ස ගැන.මං එනකොට දැක්ක දේ.තාත්තා බිම වැටිලා ඉන්නවා නහයෙන් ලේත් ඇවිත්.මම හයියෙන් කෑගැහුවා කියලා විතරයි මතක.මට ඇහැරෙනකොට මම හිටියේ සිරියාවතී නැන්දලාගේ ගෙදර.
අනේ නැන්දේ..කෝ තාත්තා..?
තාත්තා ඔයාව දාලා ගිහින් පුතේ.
මම බිංදුවත් බදාගෙන හොදටම ඇඩුවා.මේ ලෝකේ මගේ කියලා හිටියේ එයායි අයියා යි.ඒ දෙන්නාම මාව තනි කරලා ගිහින්.තාත්තාට පිළිකාවක් තිබිලාලු සිරියාවතී නැන්දා කියනවා මට හීනෙන් වගේ ඇහුණා.
මම දවස් කීයක් ඇඩුවාද දන්නේ නෑ.කදුලු නැති වෙනකම්ම අඩලා තමා මම එළියට ආවේ.
මගේ ජීවිතේ වෙනස් කරපු දවස එදා.අපේ ගෙදර දැන් වෙන පවුලක් පදිංචි වෙලා.ලස්සන සුදු නෝනෙකුයි,මහත්තයෙකුයි ඇවිත් සිරියාවතී නැන්දා එක්ක ලොකු කතාවක්.මහත්තයා තඩි මහත ලියුම් කවරයක් නැන්දාට දුන්නා.ඒ නෝනා හෙමින් ළගට ඇවිත් මගේ අතින් අල්ලලා දුව එනවාද අපේ ගෙදර යන්න කියලා ඇහුවා.ඒත් මගේ ඇස් තිබ්බේ නෝනා ලග නෙමේ ඒ මහත්තයා ලග.ඒ ඇස්වල තිබුනේ තාත්තාගේ ඇස්වල තිබ්බ ආදරේම නිසා වෙන්නැති මම එක අතකින් නෝනාගේ අත අල්ලගෙන අනිත් අතින් බිංදුව අල්ලන් එයාලගේ වාහනේට නැග්ගේ.
**************************************************
සජිනි,සජිනි,
සජිත්ගේ කටහඩින් මම පියවි ලෝකෙට ආවා.
ඇයි මේ අඩන්නේ?දුව ඔයාට කතා කරනවා.
අහ්.සොරි. මම කදුලු පිහිද ගත්තා.
අම්මි, අර කවුද පාරේ අයිනේ චූටි ළමෙක් වාඩි වෙලා ඉන්නේ කුණු ගෑවුණු ගැවුමක් ඇදගෙන.
දුවගේ කතාවට සජිත් බැලුවේ මං දිහා.දුවට පිළිතුරක් නොදීම සජිත් වාහනේ චූටි ගෑණු ළමයා ලගින් නතර කලා.මම වාහනෙන් බැහැලා පාරේ අනිත් පැත්ත බැලුවේ නිකමට වගේ.ඉස්සර තාත්තා හිටපු තැන තවත් ගොඩාක් අය ඉන්නවා.ඒ කොනක සපත්තුවක් අතේ තියාගෙන තාත්තාව මැවිලා පෙනුණා.මැවුණ රූපේ වෙනුවට තාත්තා ඇත්තටම හිටියානම්,දුවට එයාගේ ඇත්තම සීයා පෙන්නන්න තිබුනා,තාත්තාට හැමදාම බත් දෙන්න තිබුනා.සජිත් මහරගම පිළිකා රෝහලේ වෛද්‍යවරයක නිසා තාත්තාගේ ලෙඩේ සනීප කරගන්නත් තිබුනා. අයෙමත් මගේ ඇස්වලට කදුලු ඇවිත්.දුව එයාගේ පුංචි ඇගිලි වලින් මගේ අතේ එල්ලිලා.
අම්මි,ඔයා දන්නවද?අර ඉන්නේ වීදි මලක්…
කවුද ඔයාට එහෙම කීව්වේ?
තාත්ති.
සජිත් චූටි ගෑණු ළමයා ලග වාඩි වෙලා එයාගේ ආදරණීය හිනා මූණෙන් මං දිහා බලා ඉන්නවා.
-ජනිතා රාජකරුණා-