සොයන්න
උණුසුම් පුවත්

පාඨක ලිපි

නව්‍යකරණය​ වූ ඉදිරි දැක්මක් සහිත ශ්‍රී ලංකාවක් ගොඩනගන්නේ කෙසේ ද?

නව්‍යකරණය වූ දැක්මක් සහිත අනාගතවාදී ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම බැලූ බැල්මටම ඔබට සිදුකල නොහැක්කක් ලෙසට හැගී යනු ඇත. නමුත් සිදු කල නොහැක්කක් නොමැතිය. ලෝකයේ බොහෝ රටවල් ඒ සඳහා උදාහරණ කොතෙකුත් සපයා ඇත. අළුතෙන්ම විසඳුම් සොයනවාටත් වඩා, වඩාත් පහසුවෙන් ලෝකයේ දියුණු රටවල් ඔවුනගේ දැවැන්ත ඉදිරි පිමි සඳහා යොදා ගත් ක්‍රියාමාර්ග අප විසින් ආදේශ කර ගැනීමම උව ප්‍රමාණවත් ය. අපට වැරදුණේ කොතැන ද? සැබවින්ම අපට වැරදුණේ යයි මා සිතන්නේ එදා මෙදා තුර ගන්නා ලද අඥාණ දේශපාලන තීන්දු තීරණ රාශියක ප්‍රතිඵලයක් වශයෙන් ය. එතකිනුදු නතර වන්නේ නැත. උසස් හර පද්ධතියක්, නිර්මලම දහමක් සහ ලොව ශ්‍රේෂ්ඨතම සදාචාරයක් සහ සභ්‍යත්වයකින් හෙබි යැයි පවසන සිංහලයා තරම් වනචාරී ගෝත්‍රිකවාදී මුග්ධ ජාතියක් මා කියවා අසා හෝ දැක නැත. ඔබ මා සමග එකග නොවූවත් සත්‍යය එයය. බහුතරයක් ප්‍රජාව වනාහි අදටත් එලෙසමය. සියල් කරපින්නා ගෙන සිටින ඔවුන් තුල අවම විනයක් හෝ සදාචාරයක් වත් නැත. පෝලිමක සිටින්නට දන්නේ නැත. තමාගේ අවට අපිරිසිදු නොකර බුලත් කෙළ තැන තැන නොගසා සිටින්නට ඔවුනට බැරිය. ඉවතලන අපද්‍රව්‍ය නිසි ලෙස ක්‍රමවත්ව බැහැර කරනුයේ කීයකින් කී දෙනාද? ප්‍රධානම නගර වල සිට ගම් දනව් සිසාරා ගමන් කර බැලූවත් මං මාවත් දෙපස, රේල් පාරවල මෙන්ම පොදු ස්ථාන අපවිත්‍ර වී ඇති අන්දම අදද මේ මොහොතේද ඔබට බලාගත හැකිවාට සැක නැත.

ගෝත්‍ර ජාතියක් වූවත් නීති පද්ධතීන්, සෘජු තීරණ සහ ක්‍රියාමාර්ගයන් මගින් වෙනස් කිරීමට විනය ගොඩනැංවීමට හැකියාවක් ඇත. හොඳම උදාහරණය වශයෙන් ශ්‍රී ලංකාවේ ඉපිද හැදී වැඩී ලෝකයේ වෙනත් දියුණු ඕනෑම රටක වර්තමානයේදී ජීවත්වන පුද්ගලයෙක් දෙස බලන්න. ඔහු ඒ රටේ ක්‍රමවේදයන්ට අනුගත වන ආකාරය විටෙක පුදුම සහගතය. පදික මාරුවකින් නිවැරදිව ගමන් කිරීමේ සිට රිය පැදවීමේදී හෝන් නාදයක් වත් නිකුත් නොකර සිටීමට තරමේ විනයක් ගොඩනැගුණේ ජීවත්වන වටපිටාවේ නිසි ක්‍රමවේදය නිසාම නොවේ ද? දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැංවීමට නම් අපට මූලිකම කාරණා වල සිට ඒ සඳහා මුල පිරිය යුතුව ඇත. දියුණු රටක සහ ශිෂ්ඨ සම්පන්න මිනිසුන් ජීවත්වන නගරයක තැන තැන තිබෙන කැළි කසල ඔබට දැකගත හැකි ද? නැත. ඒ තරම් එම නගර සහ මං මාවත් පිරිසිදුය. ඒ තුලින් ලබා දෙන පණිවිඩය නම් ඔවුන්ගේ ජන ප්‍රජාව පරිසරයට ලැදියාවක් දක්වන විනයගරුක බවින් යුත් මිනිස් ප්‍රජාවක් බවය. මෙම තත්ත්වය ශ්‍රී ලංකාව තුල ඇති කිරීමට නම් ප්‍රථමයෙන් පොදු ස්ථාන සහ විශේෂයෙන් සංවේදී කලාපයන් තුල ක්‍රමවත්ව කසල බැහැර කිරීම සඳහා වැඩ පිළිවෙලක් සකස් කල යුතුය. කසල බඳුන් වැඩි ප්‍රමාණයක් ස්ථාපිත කිරීම තුලින් මෙන්ම ඒවා නිසි වේලාවට ක්‍රමවත්ව ඒ ඒ ප්‍රාදේශීය සභාවන් වෙතට යොමු කිරීම සඳහා යාන්ත්‍රණයක් සැකසිය යුතුය. ඒ ඒ ප්‍රාදේශීය බල ප්‍රදේශයන් තුල පවත්නා පොදු ස්ථාන සහ සංචාරකයන් ගැවසෙන ස්ථාන ඇතිනම් ඒවා සහ මංමාවත් ආදිය කැළි කසල වලින් තොරව විධිමත්ව පවත්වාගෙන යාම එම සීමාවන් භාරව කටයුතු කරන නිලධරයින් ධූරාවලියේම වගකීමක් කල යුතුය. ප්‍රජාව සඳහා ක්‍රමවත්ව කසළ බැහැර කිරීමටත් නගර සහ මංමාවත් අලංකාරව තබා ගැනීමේ වටිනාකම ඇගවෙන ආකාරයේත් මාධ්‍ය දැනුවත් කිරීම් වැඩි වැඩියෙන් සිදු කල යුතුය. සමාජ මාධ්‍ය ජාල හරහා ඒ සඳහා කැපී පෙනෙන දායකත්වයක් ලබා ගත හැකිවාට සැක නැත.

මෙම ක්‍රියාමාර්ග ඵලදායීව සිදුවන්නේ දැයි අධ්‍යයනය කර එසේ නොමැති නම් නීති සම්පාදන ක්‍රියාවලියකට යාමෙහි වුවද වරදක් නැත. පොදු ස්ථාන වල සහ තැන තැන අපද්‍රව්‍ය බැහැර කරනවා නම් ඔවුනට දඩ මුදලක් ගෙවීමට සිදුවන ලෙසට නීති ඇති කල යුතුය. මූලික විනය ඇති කරලීමත් එක් පසෙකින් රාජ්‍ය ආදායම ඇති කර ගැනීම උදෙසාත් ඵලදායී තීරණ ක්‍රියාවට නැංවීමෙහි වරදක් නැත. වඩා වැදගත් වන්නේ පොදු ජනප්‍රියවාදය වෙනුවට එම නීතීන් නොවෙනස්ව පවත්වා ගෙන යාමය.

නව්‍යකරණය වූ ශ්‍රී ලංකාවක් ගොඩනැංවීමේ අඩිතාලම සැකසීම ආරම්භ කල හැකි වන්නේ අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණයන්ගෙන්‍ ය​. ශ්‍රී ලංකාවේ පවතින විභාග ඉලක්ක කර ගත් සාම්ප්‍රදායික අධ්‍යාපනික ක්‍රමවේදය කිසිවිටෙකත් ගෝලීය පුරවැසියෙකු නිර්මාණය කරන්නේ නැත​. සිංහල​, දමිල සහ ඉංග්‍රීසි භාෂාවන්ට අමතරව ඔවුනගේ තෝරා ගැනීම මත ජපන්, කොරියානු හෝ ජර්මන් වැනි භාෂාවක් අතිරේකව හැදෑරීමේ අවස්ථාව සලසා දිය යුතුය. එනයින්ම ඒ ඒ රටවල විශ්ව විද්‍යාලවලට පිවිසීමට මෙන්ම ශිෂ්‍යත්වයන් දිනා ගැනීමට හැකියාව දරුවන්ට උදා වනවා සේම මූලික භාෂාව හැදැරීමේ පාඨමාලා සඳහා මිඩංගු කල යුතු කාලයද ඔවුනට ඉතිරිවනු ඇත. තොරතුරු තාක්‍ෂණය පිළිබඳව පුළුල් දැනුමක් දරුවන්ට පාසල තුලින් ලබාදීමම එකත් පසෙකින් අනාගත ආයෝජනයක් වනවාට සැක නැත. ​. Coding, Web Designing, Graphic Designing, Creative Writing ආදී වශයෙන් නියැදි ගණනාවක් පුරා විසිරී යන විවිධ අවස්ථාන්ගෙන් විදේශ විනිමය ඉපැයීම වඩ වඩාත් පුළුල් කල යුතුමය. එහිම දිගුවක් වශයෙන් 3D Modeling, AI Developing වැනි ඒ ඒ නිශ්චිත කාලසීමාවන්ට අදාළ Trends පසුපස හඹා යෑමටත් දැයේ දරුවන් එකී තාක්‍ෂණික දැනුමෙන් සන්නන්ධ කිරීමටත් අවශ්‍ය කටයුතු සිදුකල යුතුමය. මේ තුලින් අදහස් කරන්නේ අනෙකුත් ක්‍ෂේත්‍රයන් සඳහා ශ්‍රම බලකායන් ගොඩනැංවිය යුතු නැතැයි යන්න නොවෙයි. ජනමාධ්‍ය, සංගීතය, රසාස්වාදය, කෘෂිකර්මාන්තය, ඉදිකිරීම් ක්‍ෂේත්‍රය, කර්මාන්ත ආදී වූ මෙකී නොකී සියල්ල සමාජ පද්ධතිය තුලනය කිරීම සඳහා පැවතිය යුතුය. නමුත් මේ සියළුම ක්‍ෂේත්‍රයන්ට අදාළව තාක්‍ෂණය එක්කර ගැනීම හරහා අපට එක් එක් විෂයන්හි ඵලදායීතාවය වැඩිදියුණු කරගත හැකි වනවාට සැක නැත. STEAM – Science, Technology, Engineering, Arts & Maths ප්‍රමුඛ කොට ගත් අධ්‍යාපනික ක්‍රමවේදය තුලින් අනාගත දරුවන් බලගැන්වීම සඳහා අවශ්‍ය යාන්ත්‍රණය සැකසීම නව්‍යකරණය වූ ශ්‍රී ලංකාවක් ගොඩනැගීමෙහි අනිවාර්‍ය අංගයකි. ලෝකයේ අනෙක් රටවල මෙන් දැවැන්ත ඛනිජ තෙල් සම්පත් හෝ විදේශ විනිමය ඉපයිය හැකි භෞතිකමය සම්පත් රට තුල සීමිත නිසාම අප විසින් කලයුතු වන්නේ ගොඩනැගෙමින් පවතින ඉදිරිගාමී ලෝකයට සරිලන වටිනාකමක් ලබා දිය හැකි මානව ප්‍රජාවක් බිහි කිරීමය.

ලංකාව තුල පවතින වත්මන් ආර්ථික අවපාතය සහ මිනිසුන්ගේ ජීවන මට්ටම කොතෙකුත් පහත වැටී ඇත්දැයි අමුතුවෙන් පැවසීමේ අවශ්‍යතාවයක් නැත. සඳහන් කර ඇති අධ්‍යාපනික වෙනස්කම්, නගර අලංකරණය, බාහිර වටපිටාවන්හි පිළිවෙල සහ පිරිසිදුකම ඇති කිරීම සඳහාත් රාජ්‍ය යාන්ත්‍රණය විසින් එරට ආර්ථිකය නිසැකවම ගොඩනැංවිය යුතුය. ආර්ථිකය පිරිහී ඇති සමාජයක මූලික මිනිස් අයිතිවාසිකම් හෝ රැකේවී යැයි අප කිසිවෙකුටත් බලාපොරොත්තු විය නොහැක. සොරකම්, විවිධාකාරයේ විෂමාචාරයන් හා බැඳුණු ව්‍යාපාර හා නීතියේ ආධිපත්‍යය බිඳ වැටීම ආර්ථිකය පිරිහුණු සමාජ සංස්ථාවන්හි සුලබ කාරණාවන් ය. ආර්ථිකය ගොඩනැංවීමේ වැඩපිළිවෙල සැබවින්ම ආරම්භ කල යුතු වන්නේ ඉහළ ස්ථරයේ සිට පහලටය. ශ්‍රී ලංකාව වැනි කුඩා රාජ්‍යයකට මේ සා විශාල ආණ්ඩුවක් සහ නිලධාරී මඩුල්ලක් පවත්වාගෙන යාමම කිසිසේත්ම ප්‍රායෝගික නැත. ආණ් ඩුව සහ පරිපාලනය කුඩා කිරීම නොපමාව සිදුකල යුත්තක් ය. රාජ්‍ය යාන්ත්‍රණය සඳහා තෝරාගත යුතු වන්නේම විධිමත් ක්‍රමවේදයකට අනුව සැලකිය යුතු ධාරිතාවයක් ඉසිලිය හැකි නිර්මාණශීලී සහ අනාගතවාදී පුද්ගලයන්වය. හුදු ජනප්‍රියවාදී තීන්දු තීරණ වෙනුවට රාජ්‍යයේ ඉදිරි අභිවෘද්ධිය උදෙසා කටයුතු කිරීමේ හැකියාව ඔවුනට තිබිය යුතුය. එසේ අදාළ ශක්‍යතාවන්හි ප්‍රාගුණ්‍යයන් පෙන්වීමට යම් අයෙකු හෝ පිරිසකට අපහසු වුවත් ඒ ඒ කාරණා සඳහා දායකත්වය සැපයීමට විධිමත් යාන්ත්‍රණයක් සැකසීම මගින් යම් පමණකට හෝ සාධනීය ප්‍රතිඵලයන් බලාපොරොත්තු විය හැකිය.

විශේෂයෙන්ම ජනාධිපතිවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩල ධූරාවලියට විවිධාකාරයේ වරප්‍රසාද ලබාදීමේ ක්‍රමවේදය මා අනුමත කරන්නේ නැත. උදාහරණයක් ලෙස ඔවුනට තීරු බදු රහිතව වාහනයක් ආනයනය කිරීමට ලබාදෙන අවස්ථාව සලකන්න. එසේ සිදු කිරීම හරහා කිසිලෙසකින්වත් ඔවුනට පොදු ප්‍රවාහන සේවයේ පවතින අපහසුතා සහ අක්‍රමිකතා පිළිබඳව අදහසක් ගත හැකිද? ප්‍රවාහන විෂය භාර අමාත්‍යවරයාගේ රාජකාරියෙහිම කොටසක් වශයෙන් අවම වශයෙන් සතියකට දිනක් හෝ දෙකක් පොදු ප්‍රවාහන ක්‍ෂේත්‍රයන්හි සිය පුද්ගලික අත්දැකීම පිළිබඳව ඔහු හෝ ඇය විසින් ශක්‍යතා අධ්‍යයනයක නිරත විය යුතුය. එය හුදෙක් මාධ්‍ය සංදර්ශණයක් නොවිය යුතුය. තමා මුහුණ දෙන ගැටළු සහ අපහසුතා පිළිබඳව අමාත්‍යංශ නිලධාරීන් සමග සාකච්ඡාවන් සිදුකොට වහ වහා ඒ සඳහා පිළියම් යෙදිය යුතුය. යටිතල පහසුකම් සංවර්ධනය කොට ප්‍රවාහන ක්‍ෂේත්‍රය වැඩිදියුණු කල යුතුය. ලෝකයේ වඩාත් දියුණුතම රටවල රාජ්‍ය නායකයින් හට සාමාන්‍ය ජනයා හා හරි හරියට පොදු ප්‍රවාහන මාධ්‍යය භාවිතා කල හැකි නම් ශ්‍රී ලංකාවේ අඩුම තරමින් විෂය භාර ඇමතිවරයාට හෝ එම කර්තව්‍ය සිදු කිරීමට නොහැකි නම් ඔවුනට එවන් අමාත්‍යංශයක් බාර දීමම ප්‍රායෝගික යැයි මා සිතන්නේ නැත. දේශපාලන යාන්ත්‍රණයේ වරප්‍රසාද කප්පාදු කොට ඔවුන්ව සාමාන්‍ය ජනයා මුහුණ දෙන එදිනෙදා ගැටළු සමග මුහු කිරීම තුල ඒවාට ප්‍රායෝගික විසඳුම් සෙවීම ආරම්භ කල යුතු යැයි යන්න මාගේ අදහසය. මෙම ක්‍රමවේදය සියළුම අමාත්‍යංශයන්වලට අදාලව විවිධ වූ ස්වරූපයන්ගෙන් ඇතුලත් කිරීම රටේ ඉදිරි ගමන සඳහා සපයන්නා වූ විශාල අඩිතාලමක් වනවාට සැක නැත. නව අදහස්, ඒ ඒ විෂයයන්ට අදාළව ලෝකයේ භාවිතා වන්නා වූ Trends අප විසින් ද රාජ්‍ය යාන්ත්‍රණයේ නව්‍යකරණයන් උදෙසා අනුගත කරගත යුතුව ඇත. අමාත්‍ය මණ්ඩලයට සහ ඔවුන්ගේ කාර්‍ය මණ්ඩලයන්ට පැවරෙන්නා වූ ඒ ඒ ඉලක්ක සපුරාලීම අනුව ඔවුන්ගේ කාර්‍ය භාරය ඇගයීම වෙනුවෙන් යම් Points ප්‍රමාණයක් එක් කිරීම හරහා වඩ වඩාත් සාධනීය තීන්දු තීරණ ගැනීම වෙනුවෙන් ඔවුන්ව දිරිමත් කල හැකිය. ඒවා ජනතාව වෙතට ද මාධ්‍ය තුලින් සම්ප්‍රේෂණය කිරීමෙන් win win situation අත්කර ගැනීමට මහජන නියෝජිතයාටත් අනෙක් පසින් රාජ්‍යයටත් හැකිවනු ඇත. බොරු කයිවාරු වැඩ බැරි දේශපාලන ප්‍රවාහයට තිත තැබීමට නම් ඉදිරි දැක්මක් ඇතිව වැඩ කිරීමෙහි ලා දක්‍ෂයින් අප විසින් දේශපාලකයන් වශයෙන් පත් කර යැවීමටත් ඔවුන්ව දිරි ගැන්වීමටත් අවශ්‍ය සහයෝගය ලබා දිය යුතුය. මේ සියලු අභිලාෂයන් මුදුන් පමුණුවා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාවට කුඩා රජයක් හොඳ හැටි ප්‍රමාණවත් ය. ඔවුන් දිරිගැන්වීම සඳහා යම්කිසි ඉහල තලයක වැටුපක් ලබා දුන්නත් අනවශ්‍ය පරිදි දීමනාවන් සහ වරප්‍රසාදයන් ලබා දීමට උවමනාවක් නැත. පොදුවේ රාජ්‍ය ආයතන හරහා ඔවුන් ලබාගන්නා සේවාවන් වලට (විශේෂයෙන් ජලය සහ විදුලිය වැනි) නියමිත ගෙවීම් අනිවාර්‍යයෙන්ම සිදු කිරීමට ඉහල සිට පහල පෙල දේශපාලකයා වන තෙක්ම වග බලා ගත යුතුය. එවිට “අසවල් ඇමතිවරයාගෙන් මෙච්චර විදුලි බිලට පොල්ලක්” ආකාරයේ ලැජ්ජාසහගත හෙඩිම් අපට විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍යයන් ගෙන් දැක බලා ගැනීමට නොහැකි වනු ඇත.

නීතියේ ආධිපත්‍යය සියල්ලන්ටම එක හා සමානව ක්‍රියාත්මක කිරීම යනු ශිෂ්ඨ සම්පන්න රටවල හරය ලෙස හඳුන්වන්නක් ය. ශ්‍රී ලංකාව තුලනම් නැත්තේද එයමය. තරාතිරම මිල මුදල් අනුව නීතිය නැවෙන, නමන සමාජයක රජ කරලන්නේ අශිෂ්ඨ කම සහ පාදඩකමය. අවාසනාවක තරම කොතෙක් ද යත් අප රටේ පහල වූ විධායක බලය සහිත ජනාධිපතිවරුන් සියළු දෙනා පාහේ කරනු ලැබුවේ තම තමන් ගේ බලය රැක ගැනීම සඳහා නීතියේ ආධිපත්‍යය වලපල්ලට යැවීමය. රටේ පොලීසිය පිළිබඳව මහජනයාට කිසිදු විශ්වාසයක් එදා සිට අද වනතුරුම තිබුණා දැයි යන්න සැක සහිතය. යම් තරමකින් හෝ විශ්වාසයක් ගෞරවයක් රැකගෙන ඇත්නම් ඒ මෙරට අධිකරණ පද්ධතිය පමණක් ය. මේ තත්ත්වය වෙනස් කිරීම සඳහා මා යෝජනා කරන්නේ නීතිය හා සාමය ආරක්‍ෂා කිරීමට බැඳී සිටින පොලීසිය එම නීති කඩකරනවානම් තරාතිරම නොබලා ඔවුනට දැඩි දඩුවම් පැමිණවීමත් සේවයෙන් පහ කිරීමත් වැනි ක්‍රියාපටිපාටීන් මගින් ය. නීතිය වල්වැදී ඇති ශ්‍රී ලංකාව වැනි රටවල බොහෝ විට එවන් දූෂිත පොලිස් නිලධාරීන්ට ලැබෙන ඉහළම දඩුවම වනාහි ස්ථාන මාරුය. ස්ථාන මාරුවක් මගින් දූෂිත පොලිස් නිලධාරියෙන් එතැනත් ඔවුනගේ දූෂිත ක්‍රියාකලාපය වෙනුවෙන් තෝතැන්නක් කරගන්නවා හැරෙන්නට සිදුවන වෙනත් සාධනීය යමක් නම් නැත්තේය. ව්‍යවහාරයේදී අප පවසන ‘අමාත්‍යංශ හාපු එවුන්ට ඉතින් තවත් අමාත්‍යංශයක් හාන්න දෙන එකනේ ලංකාවේ හැටි’ යැයි යනුවෙන් පැවසීමට සිදුවීම කෙතරම් අභාග්‍ය සම්පන්න තත්ත්වයක් ද?

ධූරාවලියේ ඉහල සිට පහල පුද්ගලයා වන තෙක්ම එක හා සමානව ක්‍රියාත්මක වන නීතියක් කිසියම් හෝ බලයට එනු ලබන රජයක් විසින් ඇති කරනවානම් අපගේ රට නිවැරදි දිශානතියක් හරහා ගමන් ගන්නා මග සෑදෙන්නේ එතැන් සිටය. එවිට වැරදි සිදුකොට වෙට්ටු දමා පලා යාමට මොන හයිකාරයාටවත් හැකියාවක් ලැබෙන්නේ නැත. පුරවැසියාගේ සිට රාජ්‍යයේ ඉහළම තරාතිරමක් හොබවන නිලධාරියෙකු වුව ද එනයින් වැරදි සිදු කිරීමට කිසිසේත්ම පෙළඹෙනුයේ නැත. කිසිදු පාර්ශවයක බාහිර බලපෑමකින් තොරව ස්වාධීනව සහ නීතිගරුකව කටයුතු කිරීම සඳහා ඒ ඒ ආයතනයන්ට බලය පැවරිය යුතුය. “එක රටක් එක නීතියක්” යන්න දේශපාලනික ටැග් ලයිනයක් වනවා වෙනුවට මේ මහපොළොව තුල යථාර්තයක් වනවා දැකීම නීතිගරුක පුරවැසියන් සැවොමගේ ඒකායන බලාපොරොත්තුවය.

අප බොහෝවිට අසා ඇති කාරණයක් වන්නේ ලාංකේය ජන සමාජය තුල නීති ගරුක නොවෙමින් විනය කඩමින් ජීවත්වන පිරිස් විදේශයන්හි හරි අපූරුවට දළු ලනවා යැයි කියාය. එය එලෙස වන්නේ ඇයි දැයි යනුවෙන් විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයෙකු විසින්ම පැහැදිලි කරනු ලැබුවේ මේ ආකාරයෙන් ය. “ලංකාවේ වගේ නෙවෙයි, විදෙස් රටකට ආවහම ඇත්තටම අපට හොඳ ජීවන තත්ත්වයක් තිබෙනවා. විශේෂයෙන්ම යුරෝපානු රටවල මේ දේ හොඳට අත්දකින්න පුළුවන්. හොඳ වැටුපක් ලැබෙනවා. උසස් ජීවන මට්ටමක් නිතැනින්ම හිමි වෙනවා. හොඳ නිවසක් වාහනයක් වගේ දේවල් අත්කර ගැනීම බොහොම පහසුයි. තත්ත්වය තරාතිරම අනුව කිසිම පුද්ගලයෙක් විශේෂ කොට සලකන්නේ නැහැ. සෑම ක්‍ෂේත්‍රයකම රැකියාවන්ට සමාන ගෞරවයක් වගේම ඉතා හොඳ වැටුප් හිමි වෙනවා. මොකද ඔවුන් තේරුම් අරගෙන තිබෙනවා සමාජ සංස්ථාවක අඛණ් ඩතාවය පවත්වාගෙන යාමට කසළ එකතු කරන්නාගේ සිට නීති සම්පාදකයා වනකන්ම ඔවුනොවුන් කරන රාජකාරිය ඉතා වැදගත් කියලා. ඉතින් සරලවම කිව්වොත් ජීවත් වෙන එක පහසු වෙන්න වෙන්නම සහ තරගකාරීත්වය එකිනෙකා පරයා යෑම වගේ දේවල් ජීවත්වීම වෙනුවෙන් කරන්න වෙන්නේ නැති වෙනකොට මිනිස්සු නිකන්ම ශිෂ්ඨ සම්පන්න වෙනවා. ජීවන තත්වය ඉහළ තලයක තියෙනකොට නීතිමය රාමුවක් සහ ප්‍රජාතන්ත්‍රවාදය ඇතුලේ මිනිස්සු නිතැතින්ම ඒ Values ආරක්‍ෂා කරනවා.”

මේ කරුණු කාරණා decode කරගතහොත් සමාජයක් වශයෙන් අප කෙතරම් පසුගාමී දැයි යන්න අමුතුවෙන් පැවසිය යුතු වන්නේ නැත. තරුණයෙකුට හොඳ තත්ත්වයේ යතුරු පැදියක්වත් මේ වන විට රැකියාවකින් ලැබෙන වැටුපකින් ඉතිරිකොට මිලට ගැනීමට හැකියාවක් ලංකාව තුල නැත. එනයින් නිවසක් ඉදි කිරීම, කාර් රථයක් මිලට ගැනීම හෝ තමාට කැමති ව්‍යාපාරයක් කිරීමටවත් අවශ්‍ය කරන මූල්‍යමය නිදහස අප රටේ බහුතර පිරිසකට කිසිලෙසකින්වත් ඉතිරි වී නැත. දුප්පත්කමින් පීඩාවෙන් හෙම්බත් වී සිටින මිනිසුන් කොහෙන් හෝ පතන්නේ සරණක් ය. බෞද්ධ විශ්වාසයට අනුව නම් මරණින් මතු හෝ සුගතිගාමී ජීවිතයක් ය. සමාජයක් ලෙසින් පවතින මේ අසරණභාවය නිසාම ජාවාරම් කරුවන්ට හා විවිධ වූ මිත්‍යා දෘෂ්ඨික මානසික රෝගීන්ට ශ්‍රී ලංකාව යනු තෝතැන්නක් ය. පිරමීඩ ජාවාරම් වලට හසුවූ මිනිසුන් කොතෙක් දැයි සලකන්න. තමා මතු බුදුවනවා යැයි කියා ලිමෝසීන් රථයකින් කැළණි විහාරයට පැමිණෙන මානසික රෝගියෙකුගේ බැතිමතුන් පිරිස ලෙස එකතු වන්නන් ගේ කුලකය සලකන්න. කොටින්ම කියනවා නම් ජනාධිපතිවරණයක් ජයග්‍රහණය කිරීමට වුව ද ආගමික විශ්වාසයන් හා බද්ධ වූ බොරු නාඩගමක් රගදැක්වීම ලාංකීය ජන සමාජය නොමග යැවීම සඳහා හොඳහැටි ප්‍රමාණවත් ය. ඉදින් මේ තත්ත්වය වෙනස් කිරීම උදෙසා ආර්ථික සමෘද්ධියක් මේ කුඩා රට තුල ඇති කොට මිනිසුන්ට උසස් ජීවන තත්ත්වයක් ඇති කරලීම ස්ථීර වශයෙන්ම සිදුවිය යුත්තක් ය. ඒ සඳහා යම් කාල සීමාවක කැපකිරීමක් සිදුකිරීමට Generation කිහිපයකට සිදුවිය හැකි නමුත් අපට මුහුණ දීමට සිදුවූ අභාග්‍ය සම්පන්න කාලය අපගේ දරුවන්ට ද උරුම වීමට සැලැස්වීම කිසිසේත්ම යුක්ති සහගත නැත. එම නිසාම තාක්‍ෂණය හිනිපෙත්තට පියනැග ඇති මෙවැනි කාල සීමාවක පුරවැසියන් දැනුමින්, තර්කානුකූල චින්තනයෙන් මෙන්ම තමාට හිමි පුරවැසි අයිතීන් වෙනුවෙන් හඩ නගන සටන් කරනු ලබන නිශ්චයකට බල ගැන්විය යුතුය. පාලකයන්ට වහල්කම් කරමින් ජීවත්වන කොඳු කැඩුණු පුරවැසියන් බහුතරයක් රට තුළ වූවා නම්; අඩුපාඩු කොතෙකුත් හමුවේ වුව ද නරුම පාලකයෙකු එලවීම සඳහා පොලු මුගුරකින්වත් තොර වූ සුන්දර අරගලයක් බිහි නොවන්නට ඉඩ තිබුණාට සැක නැත. නමුත් එය එසේ වූයේ නැත. පටු වාසි සහ දේශපාලනික අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා පැමිණි සුළුතරයක් අතරේ නිර්දේශපාලනික සහ සද්භාවයෙන්ම සහාය දැක්වූ සොඳුරු මිනිසුන්ගෙන් පිරි අරගලයක් ක්‍රියාත්මක කිරීමට හැකි විණ. එහි යාවජීව කුඩා පුරුකක් වශයෙන් සටහන තබන මම ද සටන් පාඨ කියමින් දහඩිය මුගුරු වගුරුවමින් බොහෝ වාරයකුත් සහ කොළඹ දුහුවිලි පිරුණු මහපාරේ එක රැයක් නිදිවර්ජිතව කාඩ්බෝඩ් කැබැල්ලක පහන් කළා යැයිත් පවසන්නේ නිහතමානී ආඩම්බරයකිනි. අරගලයේ පශ්චාත් සමය අප බලාපොරොත්තු වූ පරිද්දෙන්ම සිදු නොවූවත්, සාධනීය දෑ බොහෝමයක් අත්පත් කරගැන්මට හැකි වූවා යැයි යන්න මාගේ අදහසය.

නව්‍යකරණය වූ ශ්‍රී ලංකාවක් ගොඩනැංවීම වෙනුවෙන් වෙනස් විය යුතු වැදගත්ම කරුණු කාරණා කිහිපයක් මෙම සටහනේ අවසානාත්මක වශයෙන් සාරාංශගත කිරීමට කැමැත්තෙමි. අප බලාපොරොත්තු වන ආර්ථික සමෘද්ධිය ශ්‍රී ලංකාව තුල ඇති කරලීම උදෙසා නිදහස් සහ තරගකාරී වෙළඳපලකට අවශ්‍ය කරන මංපෙත් රට තුල විවර කිරීම තවත් එක් මූලිකාංගයක් ය. රජය ව්‍යාපාරයන් සිදු කිරීම තුලින් අත්කරගෙන ඇති අතිශය ලෙස පාඩු ලබන තත්ත්වය වනාහි තවදුරටත් අප වැනි රටකට දැරිය නොහැක්කක් ය. අතිරික්ත සේවකයින් පිරිසක් නඩත්තු කරමින් කිසිදු කාර්‍යක්‍ෂම භාවයකින් සහ නවීනත්වයෙන් තොර රජයේ ආයතන පාඩු පිට පාඩු ලබන විට ඒ බරද සුපුරුදු ලෙසම පැටවී ඇත්තේ මෙරට මහජනතාවගේ පිටය. Sri Lankan Airlines යනු ඒ සඳහා කදිම උදාහරණයක් ය. එනයින් ලාබ ලැබීමක් සිදුවන්නේ නැතිනම් සහ ඒ ඒ රාජ්‍ය ආයතන වල ඵලදායීතාවයක් නොමැති නම් වහ වහාම සිදු කල යුතු වන්නේ එම ආයතනයන් ප්‍රතිව්‍යුහගත කිරීම හෝ පෞද්ගලික අංශය වෙතට භාර කිරීමය. රජයක් විසින් ව්‍යාපාර සිදු කරනවා වෙනුවට ඒවා නියාමනය කිරීම සහ අවශ්‍ය බදු මුදල් එක්‍රැස් කර ගැනීම සැබවින්ම ප්‍රමාණවත් ය. නිදහස් සහ තරගකාරී වෙළඳපල තුල ගුණාත්මකභාවය මෙන්ම මිල උච්චාවචනයන් ද රජයේ අවම නියාමනයන් යටතේ වඩාත් සාර්ථක අයුරින් ගොඩනැගෙනු ඇත.ඉදින් රජය තව තවත් පාඩු ලබන ව්‍යාපාර පවත්වාගෙන යාමෙහි සාධනීය පදනමක් මා හට පෙනී යන්නේ නැත. 

වංචාව සහ දූෂණය පිටුදැකීම ද රජයක් විසින් සිදු කල යුතු අනිවාර් ය අංගයක් ය. මා සටහන තුල පෙර සඳහන් කල පරිද්දෙන් නීතිය සැමට එක හා සමානව ක්‍රියාත්මක වීම තුලින්ම මිස එම කඩ ඉම අපට ජයග්‍රහණය කල නොහැකිය. කෘෂිකර්මාන්තයට තාක්‍ෂණය එකතු කිරීමත් ඵලදාව වැඩි වශයෙන් ලබා ගැනීමත් මෙන්ම වෙළඳපල දක්වා ගෙනයන සංකීර්ණ ක්‍රියාවලියේදී එම ඵලදාව පරිභෝජනයට නුසුදුසු සහ භාවිතයෙන් ඉවත් කෙරෙන තත්ත්වයකට පත් නොවීමට වග බලා ගැනීම සඳහාත් විෂය ප්‍රාමාණිකයන්ගේ දැනුම ලබාගනිමින් ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කල යුතුය. ආහාර සුරක්‍ෂිතතාවය යනු රාජ්‍ය පාලනයේ දී මූලික අවධානය හිමිවිය යුතු ඉතා වැදගත් අංගයක් ය. වෙළඳපල තුල අනාගත ඉලක්ක හඳුනා ගැනීමත් ඒ අනුව අවශ්‍ය බෝගයන් වගා කිරීම සඳහාත් ගොවි ජනතාවට තාක්‍ෂණය යොදා ගනිමින් අවශ්‍ය දැනුම සහ මගපෙන්වීම ලබාදීම සිදුකල යුතුය. ආසන්නතම නිදසුන වශයෙන් ගතහොත් ඉන්දියාව ඔවුනගේ කෘෂිකාර්මික දියුණුව අත්පත් කරගත්තේම ගොවි ජනතාව තාක්‍ෂණයත් සමග බද්ධ කරලීම හරහාය. කාලගුණ අනාවැකි වල සිට ඵලදාව වැඩි කර ගැනීම දක්වා අවශ්‍ය සියළුම උපදෙස් ඔවුන් විසින් ගොවීන්ට සපයනු ලැබුවේ Alerts මගින් ය. අප විසින් ද සිදුකල යුතුව ඇත්තේ ගොවි ජනතාවට අතමිට සරුවන අන්දමින් කෘෂිකර්මාන්තය තෘප්තිමත්ව සිදුකරගෙන යෑම සඳහා අවශ්‍ය කරන මගපෙන්වීම සහ යෙදවුම් ලබාදීම සිදුකිරීමය. එතකිනුදු නොනැවතී අස්වැන්න ලබාගත් පසු ඒ සඳහා වටිනාකමක් එක් කිරීමටත් දේශීය මෙන්ම විදේශීය වෙළඳපල තුල ද අවශ්‍ය පංගුව හිමිකර ගැනීම සඳහාත් රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් වෙළඳ ගිවිසුම් ඇති කර ගැනීමත් ඉතා වැදගත් ය.

රට තුල නාගරීකරණය වී තිබෙන සීමාවන්හි පවත්නා අධික රථවාහන තදබදය සඳහා ද සාධනීය විසඳුම් සෙවීමෙහි අවශ්‍යතාවයක් පැන නැගී ඇත. මේ නිසා සිදුවන කාබන් විමෝචන අගය පහළ දැමීම සඳහා විද්‍යුත් වාහන සහ Hybrid වාහන බදු සහන ලබාදීම මගින් හෝ ප්‍රවර්ධනය කිරීමෙහි වැඩපිළිවෙලක් ආරම්භ කල යුතුය. විද්‍යුත් වාහන ආරෝපණය කර ගැනීම සඳහා අවශ්‍ය සේවාවන් සපයන ආයතන ස්ථාපනය කිරීමත්, ඒ තුලින් නව ව්‍යාපාරික අවස්ථාවන් සලසා දීමත් සිදුකල හැකිය. එසේම සටහන මුලදී මා සඳහන් කල පරිද්දෙන්ම පොදු ප්‍රවාහන ක්‍ෂේත්‍රය ගුණාත්මක සහ කාර්‍යක්‍ෂම සේවාවක් කිරීමට නවීකරණය වූ ව්‍යාපෘතීන් රට තුල ඇති කල යුතුය. Rail Buses ඒ සඳහා වන කදිම නිදසුනක් ය. ජපානය වැනි රටවල් ඒ සඳහා අවශ්‍ය දැනුම, තාක්‍ෂණය මෙන්ම මූල්‍යමය සහයෝගය ද ලබා දීමට කටයුතු කරමින් සිටි පසුබිමක එවන් වටිනා ව්‍යාපෘතීන් අතහැර දැමීම රජයන් විසින් සිදු කල ඥාණාන්විත නොවන ක්‍රියාවන් වශයෙන් හුවා දැක්විය හැකිය. 

මේ ආකාරයෙන් දියුණු නව්‍යකරණය වූ ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට නම් වඩාත්ම වැදගත් කාර්‍යභාරය සිදු කිරීමට ඉතිරි වී තිබෙන්නේ මෙරට මහජනයාටය. එනම් අනාගතවාදී දැක්මකින් හෙබි දේශපාලන නියෝජිතයින් රාජ්‍ය බලය හෙබවීම සඳහා පත්කර යැවීම හරහා ය. එදා සිට අද දක්වාම පටු වාසි අරමුණු කරගනිමින් දූෂිතයන් සහ දැක්මකින් තොර නොහැකියාවන් ගෙන් පිරි පුද්ගලයන් බලය හෙබවීමට සහ තීන්දු තීරණ ගැනීමට පත්කර යැවීම තුලින් අත්කරගෙන තිබෙන විනාශය අද ද මේ මොහොත දක්වා ද අප විසින් භුක්ති විඳිමින් සිටින්නෙමු. එම තත්ත්වය ඉදිරියටත් ඇති නොවීමට නම් ජනාධිපතිවරණයක් සහ මහමැතිවරණයක් එළඹීමට නියමිත ඉදිරි කාලසීමාවේදී සමාජ ක්‍රියාකාරිකයින්ට මෙන්ම Whistle Blowers ලා වෙතට විශාල කර්තව්‍යයක් ඉටු කිරීම සඳහා පැවරී ඇත. ප්‍රජාව දැනුමින් සන්නන්ධ කිරීම සහ වහල් දේශපාලනික ප්‍රතිපත්තීන් වලින් මිදී රටේ අභිවෘද්ධිය වෙනුවෙන් තීරණ ගැනීමට අවශ්‍ය පරිකල්පනය ගොඩනැංවීමේ මගපෙන්වීම සිදුකල හැක්කේ ඔවුන්ටය. නැතිනම් ජඩ මාධ්‍ය වල පටු දේශපාලනික Agendas වලට රැවටී බහුතරය නැවතත් සිදු කරනු ලබන්නේ තක්කඩියෙකු රටේ පාලකයා වශයෙන් පත්කර ගැනීමය. එය එසේ නැවත නැවතත් සිදු නොවිය යුත්තක් ය. එමෙන්ම වර්තමාන ලෝකයේ වේගයෙන් දියුණුව අත්පත් කරගත හැකිවන්නේ ගෝලීයකරණය වීම හරහා ය. ලෝක බලවතුන් සමග පවත්වා ගන්නා රටට හිතකර වන විදේශීය සබඳතා යනු ආර්ථිකය ඉහළ නංවා ගැනීමෙහි කශේරුකාව වශයෙන් හැඳින්වීමෙහි වරදක් නැත.

ඉදින් ප්‍රාර්ථනාවන්ගෙන් ඔබ්බට ගොස් සමෘද්ධිමත් රාජ්‍යයක් ගොඩනැංවීම උදෙසා අප සියල්ලන් මතම වගකීම් ගොන්නක් පැටවී ඇත. අප විසින් අත්විඳි පීඩාවන් සහ දුෂ්කරතා කිසිලෙසකින් හෝ අපගේ අනාගත පරම්පරාවට ද දායාද කිරීම සිදු නොවිය යුත්තක් ය. එම නිසා නිසි පුද්ගලයන් රාජ්‍යයේ අනාගත ගමන් මග එළි පෙහෙළි කිරීම උදෙසා පත්කිරීමට අප විසින් වගබලා ගත යුතුව ඇත. පුරවැසියන් ලෙසින් තමන්ගේ ශක්තිය හඳුනාගනිමින් සාධනීය තීන්දු තීරණ ගැනීම උදෙසා අවශ්‍ය මැදිහත්වීම් දිගින් දිගටම සිදු කිරීමට කටයුතු මෙහෙයවිය යුතුව ඇත. “පුරවැසියන්ගේ නැගී සිටීමකින් තොරව රාජ්‍යයකට අනාගත පිමි අභිමුව යාමේ හැකියාවක් නැත්තේය.”

Sameera Roshan Kulathunga

Tags