සොයන්න
උණුසුම් පුවත්

පාඨක ලිපි

පිරමීඩ යෝජනා ක්‍රම වලට හසු නොවීමට ඔබ දැනගත යුතු කරුණු

පිරමීඩ හෝ තහනම් යෝජනා ක්‍රම යනු කුමක්ද?

තහනම් යෝජනා ක්‍රම හෝ පිරමීඩ ලෙස හදුන්වනු ලබන්නේ පුද්ගලයින්ගේ වැඩි වීම මත හෝ තමන් ආයෝජනය කරනු ලබන මුදල වැඩි වීම මත ප්‍රතිලාභ ලබා දෙන යෝජනා ක්‍රම වේ. මෙවන් යෝජනා ක්‍රම වලට සෘජුව හෝ වක්‍රව සම්බන්ධ වීම, ප්‍රවර්ධනය කිරීම හා ප්‍රචාරණය කිරීම , කලමණාකරනය කිරීම, මූල්‍ය අනුග්‍රහය දැක්වීම  හෝ තහනම් යෝජනා ක්‍රමයක් ආරම්භ කිරීම 1988  අංක 30 දරන බැංකු පනතේ 83() වගන්තිය යටතේ වරදක් ලෙස හදුන්වා ඇත. ඒ් අනුව එවන් තහනම් යෝජනා ක්‍රම වලට සම්බන්ධවන්නන් මූල්‍යමය දඩයකට හා/හෝ සිර දඬුවමකට යටත් වේ.

1988 අංක 30 දරන බැංකු පනතේ 83() වගන්තිය සලකා බැලීමේදී පෙනී යන කරුණක් වන්නේ එම වගන්තිය මඟින් තහනම් යෝජනා ක්‍රම වලට පුද්ගලයින් සහභාගී වීමම (participation) වරදක් ලෙස දක්වා ඇති බැවින් මෙම තහනම් යෝජනා ක්‍රම වලදී අනෙකුත් අපරාධ නඩු වලදී මෙන් වින්දිතයින් හදුනාගත නොහැකි වීමයි.

තහනම් යෝජනා ක්‍රමයක් හදුනා ගත හැකි වන්නේ කෙසේද?

තහනම් යෝජනා ක්‍රම පිළිබඳව අධ්‍යයනය කිරීමේදී පෙනී යන කරුණක් වන්නේ මෙකී යෝජනා ක්‍රමයක් නිර්මාණය වීමට නම් ඉහලට මෙන්ම සමාන්තරවද පුද්ගලයින් එකතු කර ගත යුතු වීමයි. පහල ස්ථර වල විශාල ප්‍රමාණයක් සිටින අතර ඉහලයත්ම පුද්ගලයින්ගේ අඩුවීමක් දැකිය හැක. මේ අනුව පුද්ගලයින් එකතු වීම පිරමීඩාකාර ස්වභාවයක් ගනී. මෙසේ පුද්ගලයින් සම්බන්ධ කර ගැනීම සදහා අපරාධකරුවන් විසින් නොයෙකුත් ක්‍රමවේද භාවිතා කරනු ලබයි. මෙම ක්‍රමවේද වලට භාණ්ඩ හා සේවාවන් ලබා දීම හෝ මූල්‍ය වෙලඳපොල ගනුදෙනු කිරීම සඳහා අධ්‍යාපනය ලබා දීම හෝ තොරතුරු තාක්ෂණය පිලිබඳ අධ්‍යාපනය ලබා දීම ආදිය ඇතුලත් වේ. මෙහිදී මෙම ක්‍රමවේද තුල තහනම් යෝජනා ක්‍රම පවතින්නේද නොඑසේනම්  සත්‍ය ගනුදෙනුවක්ද යන්න නිරාකරණය කිරීම සඳහා කරුණු කිහිපයක් පිලිබඳව අවධානය යොමු කල යුතු වේ. තහනම් යෝජනා ක්‍රමයකදී වෙලඳපොල වටිනාකමක් නොමැති හෝ වෙලඳපොල වටිනාකමට අඩු භාණ්ඩ ඉතා ඉහල මිලකට විකුණනු ලබයි. එසේම තොරතුරු තාක්ෂණය පිලිබඳව පාඨමාලා වලට සහභාගී වීමේදී එම පාඨමාලාවල අන්තර්ගතය පිලිබඳව සැලකිලිමත් විය යුතු වේ. එයට හේතුව වන්නේ තොරතුරු තාක්ෂණය පිලිබඳ අධ්‍යාපනය ලබා දීමේ වැඩසටහන් තහනම් යෝජනා ක්‍රම ප්‍රවර්ධනය කිරීම සඳහා යොදා ගැනීමයි. තහනම් යෝජනා ක්‍රම ප්‍රවර්ධනය කිරීමේ තවත් එක මාධ්‍යයක් වන්නේ ජනතාවට අතතථ හෙවත් ක්‍රිප්ටෝ මුදල් භාවිතා කර මුල්‍ය වෙලඳපොල තුල ඉතා අධික ලාභයක් ලැබිය හැකි බව පැවසීමයි

 

තහනම් යෝජනා ක්‍රම වලදී මෙසේ භාණ්ඩ, සේවා, මූල්‍ය වෙලඳ පොල ගණුදෙනු ආදිය යොදා ගනිමින් නව සාමාජිකයින් බදවා ගැනීම සඳහා ධෛර්යමත් කරනු ලබයි. එයට හේතුව වන්නේ තහනම් යෝජනා කුමයක් තුල ප්‍රතිලාභ සෑම විටම පහල සිට ඉහලට යොමු වීමයි. ඒ අනුව ඉහල ස්ථර වල සිටින පුද්ගලයින් පහල ස්ථරවලට නව සාමාජිකයින් බදවා ගැනීමේ පරමාර්ථය මත ජනතාව එක් රුස් වන ස්ථාන හෝ විවිධ ක්‍රියාකාරකම්වලට මූල්‍යමය හෝ සම්පත් දායකත්වය දක්වනු ලබයි. මේවා අතරට ක්‍රීඩා උත්සවආගමික උත්සව, සංගීත සංදර්ශන, ප්‍රඡා සත්කාර සේවාජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන්, පාසැල් හැරගිය යොවුන් පිරිසට පවත්වනු ලබන තොරතුරු තාක්ෂණික පාඨමාලා ආදිය ඇතුලත් වේ

තහනම් යෝජනා ක්‍රමයක තවත් ලක්ෂණයක් වන්නේ මෙකී යෝජනා ක්‍රමයට නව සාමාජිකයින් බඳවා ගත යුතු වීම හා ආයෝජනය කරනු ලබන මුදල වැඩිකර ගත යුතු වීමයි. මේ අනුව ආයෝජන දිරිමත් කිරීම සදහා පුද්ගලයින්ට ඉහල දීමනාවක් ලබා දේ. තහනම් යෝජනා ක්‍රමයක් තුල සාමාජිකයින් ආයෝජනය කරනු ලබන මුළු මුදලෙන් යම් කිසි ප්‍රතිශතයක් ලෙස නැවතත් සාමාජිකයින් වෙත ප්‍රතිලාභ ලෙස ගෙවනු ලබයි. මෙහිදී අවධාරණය කර සිටින්නේ ප්‍රතිලාභ ලෙස ගෙවනු ලබන්නේ මුලු මුදලෙන් තහනම් යෝජනා ක්‍රමය පවත්වා ගෙන යාම සඳහා අවශ්‍ය ප්‍රතිශතය පමණක් බවත් එය උත්පාදනය වන්නේද නව සාමාජිකයින් විසින් තහනම් යෝජනා ක්‍රමය තුල ආයෝජනය කරනු ලබන මුදලෙන් පමණක් බවත්ය.

එමෙන්ම මෙහිදී යොදා ගත හැකි තවත් ලක්ෂණයක් වන්නේ යම් කෙනෙකුට මෙම යෝජනා ක්‍රමය තුලට සම්බන්ධ වී නව සාමාජිකයින් බඳවා ගැනීමකින් තොරව ප්‍රතිලාභ ලබා ගත හැකිද යන්නයි. මෙහිදී යම්කිසි පුද්ගලයකු විසින් ආයෝජනය කරනු ලබන මුදලෙන් කොටසක් සේවා ගාස්තු ලෙස මෙම තහනම් යෝජනා ක්‍රම වලදී අය කර ගනු ලැබේ. මෙම තහනම් යෝජනා ක්‍රම ප්‍රවර්ධනය කරනු ලබන පුද්ගලයින් විසින් මෙම සේවා ගාස්තු අය කර ගැනීම අනෙකුත් භාණ්ඩ හා සේවාවන් ලබා දීමේදී අය කර ගනු ලබන සේවා ගාස්තුවක් සේ සාධාරණීකරණය  කිරීමට තැත් කලත් මෙම තහනම් යෝජනා ක්‍රම වලදී  ආයෝජනය කරනු ලබන මුදලෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් (30%-70% අතර) සේවා ගාස්තුවක් ලෙස අයකර ගනු ලබයි. මේ අනුව විශාල මුදලක් සේවා ගාස්තුවක් ලෙස අය කර ගැනීමේදී තවදුරටත් තහනම් යෝජනා ක්‍රමය තුල රැදී සිටීමට නම් නව සාමාජිකයින් තහනම් යෝජනා ක්‍රමය තුලට හදුන්වා දීම හෝ තව දුරටත් තමන්ගේම මුදල් ආයෝජනය කිරීමත් කල යුතු වේ.

 

තහනම් යෝජනා ක්‍රමයක් පවත්වා ගෙන යන්නේ කෙසේද?

තහනම් යෝජනා ක්‍රමයක් පවත්වා ගෙන යාමට නම් නව සාමාජිකයින් බඳවා ගැනීම මත හෝ තමන් ආයෝජනය කරනු ලබන මුදල වැඩි වීම මත මෙම යෝජනා ක්‍රමය තුල මූල්‍යමය වත්කම් නිර්මාණය කල යුතුයි. මෙසේ තහනම් යෝජනා ක්‍රමය තුල රැස්වන මුල්‍යමය වත්කම් වල කොටසක් කොමිස් ලෙස ලබාදේ. මෙම කොමිස් මුදල් ලබා දීමේ පරමාර්ථය වන්නේ නව සාමාජිකයින් තහනම් යෝජනා ක්‍රමය  තුලට හදුන්වා දීමට දිරිමත් කිරීමයි. එමෙන්ම මෙම කොමිස් මුදල බෙදා දීමට නම් තහනම් යෝජනා ක්‍රමයට සම්බන්ද වු පුද්ගලයින් දම්වැලක පුරුක් ලෙස සම්බන්ධ වී සිටිය යුතුය. ඒ් අනුව දම්වැලක පුරුක් නිර්මාණය කිරීමට නොයෙකුත් කේත ලබා දේ. මෙම කේත මඟින් පහල ස්ථර වල සිටින පුද්ගලයින් හා ඉහල ස්ථරවල සිටින  පුද්ගලයින් හෝ සමාන්තර ශ්‍රේණි වල සිටින පුද්ගලයින් එකිනෙකාට සම්බන්ද වීමක් සිදු කරනු ලබයි

මීලඟට තහනම් යෝජනා ක්‍රමයක් පවත්වා ගෙන යාමට ගනු ලබන තවත් එක් ක්‍රියාමාර්ගයක් වන්නේ තහනම් යෝජනා ක්‍රම පවත්වා  ගෙන යාමට යොදා ගනු ලබන භාණ්ඩ, සේවාව හෝ මුල්‍ය වෙලඳපොල උපකරණයට (උදාහරණයක් ලෙස ක්‍රිස්ටෝ මුදල) කෘත්‍රිමව ඉහල ඉල්ලීමක් ඇති කිරීමයි. මෙසේ ඉහල ඉල්ලීමක් ඇති කිරීමට ඉහල ප්‍රතිලාභ ලබා දෙන බවට ප්‍රචාරණය කරයි. මේ සඳහා සුඛෝපභෝගී වාහන ආදිය සමඟ ගන්නා ලද ඡායාරූප සාමාජ මාධ්‍ය වෙත යොමු කරමින් ඉතා ඉක්මණින් මෙවන් වාහනයක හිමිකරුවකු බවට පත්වීමේ සිහිනය ජනතාව තුල ඇති කරයි. මෙසේ ඉහල ඉල්ලීමක් ඇති කරන විට තහනම් යෝජනා ක්‍රමය තුල භාවිතා කරනු ලබන භාණ්ඩසේවාහෝ ක්‍රිප්ටෝ මුදල භාවිතා කරනු ලබන පිරිස ක්‍රම ක්‍රමයෙන් වැඩි වේ. මෙසේ සාමාජික පිරිස වැඩිවන විට ප්‍රතිලාභ පහල ස්ථරවල සිට ඉහල ස්ථර වලට ගලා යාමත් වැඩිවේ.

තහනම් යෝජනා ක්‍රමයක් බිදවැටෙන්නේ ඇයි?

තහනම් යෝජනා ක්‍රමයක් බිද වැටීම ස්වාභාවික හේතූන් මත මෙන්ම නීතිමය කරුණු මතද සිදුවිය හැක. තහනම් යෝජනා ක්‍රමයට සම්බන්ධ වන පුද්ගලයින්ට වඩා ප්‍රතිලාභ ලබා ගැනීමට කරනු ලබන ඉල්ලීම් ප්‍රමාණය වැඩි වුවහොත් තහනම් යෝජනා ක්‍රමය ස්වභාවිකව කඩා වැටේ. එයට හේතුව වන්නේ තහනම් යෝජනා ක්‍රමයක් රදා පවතින්නේ නව සාමාජිකයින්ගේ මුදල් මඟින් කොපමණ මුදල් ප්‍රමාණයක් නැවත තහනම් යෝජනා ක්‍රමයට සම්බන්ධවුවන් වෙත ප්‍රතිලාභ හෝ කොමිස් ලෙස ලබා දිය හැකිද යන කාරණාව මත වේ. ඒ් අනුව තහනම් යෝජනා ක්‍රමයක් රඳා පැවැත්මට නම් ප්‍රතිලාභ හෝ කොමිස් මුදල් ලබා ගැනීමට කරනු ලබන ඉල්ලීම් සෑම විටම නව සාමාජිකයින් බඳවා ගැනීමේ අනුපාතයට වඩා අඩු විය යුතුයි. මෙයට තවත් එක හේතුවක් වන්නේ තහනම් යෝජනා ක්‍රම තුල ප්‍රතිලාභ ජනනය වීම නව සාමාජිකයින් බඳවා ගැනීම යන කාරණය මතම පමණක් රඳා පවතින අතර මෙම තහනම් යෝජනා ක්‍රමය තුල එකතු වන මුදල් මෙම තහනම් යෝජනා ක්‍රමයට  සම්බන්ධ වු පුද්ගලයින් අතරම සංසරණය වීමක් සිදුවන අතර වෙනත් නීත්‍යානුකූල මුදල් වෙලඳපොල වල ආයෝජනය නොවීමත්ය. එම නිසා තහනම් යෝජනා ක්‍රමයක් තුල ද්‍රවශීලීතාවය පවත්වාගෙන යාම සඳහා තහනම් යෝජනා ක්‍රම මෙහෙයවනු ලබන පුද්ගලයින් විසින් නොයෙකුත් අසත්‍ය ප්‍රකාශ හෝ ජනතාව මුලාකරන ප්‍රකාශ නිකුත් කරයි. උදාහරණයක් ලෙස තාක්ෂණික දෝෂ හේතුවෙන් අදාළ මෘදුකාංගය ක්‍රියාත්මක නොවීමප්‍රතිලාභ ලබා ගැනීමට කරනු ලබන ඉල්ලීම් සලකා බැලීම සඳහා දින කිහිපයක් ලබා ගැනීම  ආදී කරුණු හුවා දක්වමින් තහනම් යෝජනා ක්‍රමයක් තුල ප්‍රතිලාභ ලබා ගැනීමට කරනු ලබන ඉල්ලීම් අඩු මට්ටමක පවත්වා ගෙන යාමට කටයුතු කරනු ලැබේ.

මීලගට පෙනී යන කරුණක් වන්නේ නීතිය ක්‍රියාත්මක වීම තුලින්ද යම් යෝජනා ක්‍රමයක් තහනම් යෝජනා ක්‍රමයක් ලෙස හදුන්වා ගැනීමත් සිදුකල හොත් එම යෝජනා ක්‍රමය සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගත හැක වීමයි. මෙහිදී අවධාරණය කල යුතු කරුණක් වන්නේ තහනම් යෝජනා ක්‍රමයක් බවට යම්කිසි යෝජනා ක්‍රමයක් 1988 අංක 30 දරන බැංකු පනතේ පවරා ඇති බලතල ප්‍රකාරව තීරණය කර තිබෙන අවස්ථාවක එවන් යෝජනා ක්‍රම වලට පුද්ගලයින් සහභාගී වුවහොත් ඔවුන්ට වැඩි දඬුවමක් ලැබෙන බවයි. එමෙන්ම තහනම් යෝජනා ක්‍රමයක් පවතින බවට සාධාරණ සැකයක් පවතින්නේ නම් 2006 අංක 5 දරන මුදල් විශුද්ධිකරනය වැලැක්වීමේ පනත හෝ 2006 අංක 6 දරන මුදල් වාර්තා කිරීමේ පනතේ බලතල ප්‍රකාරව මෙවන් තහනම් යෝජනා ක්‍රම වලට අදාල දේපල භාවිතා කිරීම තාවකාලිකව වලක්වාලීමට අධිකරණයට නියෝග නිකුත් කල හැකි වීමයි. මේ අනුව තහනම් යෝජනා ක්‍රම තවදුරටත් පවත්වාගෙන යාමට වත්කම් නොමැති වීම තුලින් තහනම් යෝජනා ක්‍රම කඩා වැටේ.

තවත් කරුණක් වන්නේ මෙම තහනම් යෝජනා ක්‍රම පවත්වා ගෙන යනු ලබන්නේ ඉහලම ස්ථරයේ සිටින ඉතාමත් සුළු පිරිසක් බැවින් ඔවුන්ගේ අභිමතය පරිදි ඔවුන්ට අවශ්‍ය ඕනෑම මොහොතක මෙම තහනම් යෝජනා ක්‍රම නවත්වාලිය හැකි බවයි. එවිට එම තහනම් යෝජනා ක්‍රම වල මුදල් ආයෝජනය කර ඇති පුද්ගලයින්ගේ මුදල් ක්ෂණිකව නැති වී යයි.

තහනම් යෝජනා ක්‍රම සමාජය තුල ප්‍රචලිත වීම වලක්වා ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද?

ප්‍රධාන වශයෙන් ජනතාව මෙවන් තහනම් යෝජනා ක්‍රම වලින් හෝ වෙනත් මුල්‍යමය අපරාධ (Panzi schemes, scams) වලට හසු නොවී සිටීමට නම් ජනතාවගේ මුල්‍යමය සාක්ෂරතාවය දියුණු කල යුතුවේ. ඒ් අනුව මූල්‍යමය සාක්ෂරතාවය ලබා දීම පාසල් මට්ටමේ සිටම ආරම්භ කල යුතු අතර සියලුම මට්ටමේ සමාජ ස්ථර ආවරණය වන අන්දමින් ජනතාව දැනුවත් කිරීමේ ක්‍රමවේදයක් ඇති කල යුතුවේ.

දෙවන කරුණ වන්නේ මෙවන් තහනම් යෝජනා ක්‍රම ප්‍රවර්ධනය කරනු ලබන පුද්ගලයින් හදුනා ගෙන ඉතා ඉක්මණින් මෙම ප්‍රවර්ධනයන් වැලැක්වීමට නම් ඒ් සඳහා ජනතාවට තොරතුරු ලබා දිය හැකි දුරකථන අංකයක් හදුන්වා දිය යුතු අතර මෙවන් ප්‍රවර්ධකයන් පිලිඳව විමර්ෂනය කර ඔවුන් නීතිය ඉදිරියට පැමින වීම සඳහා විමර්ෂණ ඒකකයක් ස්ථාපනය කල යුතු වේ.

තුන්වනුව ජනතාව මුදල් ආයෝජන කිරීමට ප්‍රථම එය තහනම් යෝජනා ක්‍රමයක්ද? නැද්දයන්න හඳුනා ගැනීම සඳහා ඊට විශේෂිත වු වෙබ් අඩවියක් නිර්මාණය කල යුතු අතර මෙම වෙබ් අඩවිය මඟින් තහනම් යෝජනා ක්‍රමයක් හෝ නීත්‍යානුකූල යෝජනා ක්‍රමයක් හදුනා ගැනීම සදහා වීඩියෝ දර්ශන, තහනම් යෝජනා ක්‍රම හදුනා ගැනීම සම්බන්ධයෙන් වු සාකච්ඡාප්‍රශ්න හා උත්තර ක්‍රමවේදයක් ආදිය ඇතුලත් කල යුතු වේ.

හතරවන කරුණ වන්නේ නීතිමය ප්‍රතිපාදන යාවත්කාලීන  විය යුතු වීමයි. අපරාධකරුවන්ට ලබා දෙන දඬුවම නැවත සමාලෝචනයට ලක් කල යුතුවේ. නීතියට අනුව තහනම් යෝජනා ක්‍රම වලට සම්බන්ධ වුවන්ට හා තහනම් යෝජනා ක්‍රම ප්‍රවර්ධනය කරනු ලබන පුද්ගලයින්  හා එක හා සමාන  දඬුවමක් ලැබෙන බැවින් තහනම් යෝජනා ප්‍රවර්ධනය කරන්නන්ටසම්බන්ධ වන පුද්ගලයින්ට වඩා වැඩි දඬුවම් ලබා දිය යුතු වේ.

එමෙන්ම තහනම් යෝජනා ක්‍රමයක් යන්න අර්ථ දැක්වීම වඩා පුළුල් විය යුතු වේ. අපරාධකරුවන් විසින් නීතියේ රැහැනට හසු නොවීමට නොයෙකුත් ක්‍රියා මාර්ග ගන්නා බැවින් ඒ පිලsබඳව නීති කෙටුම්පත් කරන්නන්ගේ අවධානය යොමු විය යුතුවේ. එමෙන්ම තහනම් යෝජනා ක්‍රම ආදී මූල්‍යමය අපරාධ මැඩලීම සඳහා තාක්ෂණික සහය ලබා ගත යුතු අතර මෙවැනි තහනම් යෝජනා ක්‍රම සමාජ ජාලා තුල ප්‍රවර්ධනය කිරීම වැලැක්වීම සඳහා අවධානය යොමු කල යුතුවේ

 

මෙම අදහස් හුදෙක් කතෘගේ අදහස් වන අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ අදහස් නොවන බව කරුණාවෙන් සලකන්න…

 

  – නොරගල් දස්නි ලක්මාලී හේමචන්ද්‍

 

Tags