සොයන්න
උණුසුම් පුවත්

පාඨක ලිපි

පීඩාකාරී ජීවිතයෙන් වෙනත් මානයකට.

පෘථග්ජන මිනිසුන් වශයෙන් අප කිසිවෙකුවත් සර්ව සම්පූර්ණ හෝ සියල්ලෙහි පරිපූර්ණයන් වශයෙන් අර්ථකථනය කල නොහැක. අප එකිනෙකා සතුව අපටම ආවේණික වූ අඩුපාඩු සහ දුර්වලතාවයන් කොතෙකුත් ඇත. වඩා වැදගත් වනුයේ හැකි උපරිමයෙන් ඒවා අවම කර ගැනීමත් සුභවාදී දිවි පෙවෙතක් ගත කිරීම සදහා ගතහැකි ක්‍රියාමාර්ගයන් ප්‍රගුණ කිරීමත් ය. සටහන තබන මා තුලද දුර්වලතා කොතෙකුත් ඇති බව විවෘතව සදහන් කල යුතු අතරම කෙටි කාලයක සිට ඒවා මගහරවා ගැනීම සදහා ප්‍රගුණ කරනු ලබන යම් යම් කරුණු ඔබ හා බෙදා හදා ගැනීම වටිණේයයි සිතුණි. පහත කරුණු තුලින් ඔබගේ ජීවිතයේත් යම් වෙනසක් ඇති කල හැකි කරුණක් හෝ කිහිපයක් ලගා කර ගත හැකි නම් එය සතුටුදායක වනු ඇති බව මෙහි ලා සදහන් කල යුතුමය.

01. ස්තුති වන්ත වන්න. ඔබ වෙනුවෙන් කැප වෙන පුද්ගලයන් අගය කරන්න.

දෙමාපියන්, සහෝදර සහෝදරියන්, යහලු මිත්‍රාදීන් වශයෙන් මෙකී කුමන ආකාරයකින් සැලකූවත් ජීවිතයේ ඔබට කුමන හෝ ලෙස උදව් උපකාර කරනු ලබන පිරිස් ඇතිවාට සැක නැත. නමුත් මොහොතක් කල්පනා කර බලන්න. ඔවුන් අප වෙනුවෙන් සිදු කරන ලද කැපවීම් උදෙසා අප ඔවුනට ස්තුතිවන්ත වී තිබෙනවා ද කියා.. ස්තුතිවන්ත වීමත් පිදිය යුත්තන් පිදීමත් (අගය කිරීමත්) ඔබට සිදු කල හැකි නම්, සැබවින්ම එය ඔබගේ ජීවිතයට එක් කර ගත හැකි වටිනා ගුණාංගයකි.

02. නවමු අත්දැකීම් ජීවිතයට එකතු කර ගන්න.

ජීවිතයේ අප ලබන අත්දැකීම් යනු මිල මුදල් වලින් තක්සේරු කල නොහැකි අවස්ථානෝචිතව යොදා ගත හැකි වටිනා දැනුම් සම්භාරයක් ලෙස සදහන් කිරීමේ වරදක් නැත. මුදල් පසු පසම හඹා යන සමාජ ක්‍රමයක සාධනීය වූ අත්දැකීම් තම ජීවිතයට එකතු කර ගනු ලබන්නන් දුලභ වී ඇත. එබැවින් ඔබත් ඒකාකාරී ජීවන රටාවෙන් මිදී වෙනස් වූ යහපත් වූ අත්දැකීම් වෙනුවෙන් ඔබගේ කාල වේලාව වෙන් කරගන්න. දිනක ආපසු මතකාවර්ජනයක යෙදෙන විට ඔබගේ මුවෙහි සිනහවක් නංවනු ලබන්නේ මෙම අත්දැකීම් ගොන්නම පමණි.

03. අනෙකාට උපකාර කරන්න.

උදව් අවැසි අයෙකු වෙතොත්; ඔහු හෝ ඇය වෙනුවෙන් යම් උපකාරයක් කිරීමේ හැකියාව ඔබ සතු වේ නම් නොපමාව එය ඉටු කිරීමට කටයුතු කරන්න. ඒ තුලින් උපකාරය ලබා ගන්නා තැනැත්තා ලබන චිත්ත ප්‍රීතිය ජීවිතයේ එක වරක් හෝ පාඨක ඔබ අත්දැක ඇතුවාට සැක නැත. අපගේ උපකාරයක් කරණ කොට තවත් පුද්ගලයෙකුට එකී චිත්තප්‍රීතිය ලබා දිය හැකි නම් එය කොතරම් අගනා මානසික අස්වැසිල්ලක් වේ දැයි සිතා බලන්න.

04. ස්වභාවධර්මයේ ආශ්වාදය අත්විදින්න. ඔබ වටා ඇති සුන්දර ස්ථාන නැරඹීමට යොමු වන්න.

වර්තමාන ආර්ථික හා සාමාජයීය තත්වයන් තුල තරමක් අපහසු වුවත්, සොබාදහමේ සිත් ඇද බැද තබා ගත හැකි අපූරු ස්ථාන නැරඹීමට එම ආශ්වාදය අත්විදීමට ඔබට කටයුතු කල හැකි නම් මා මුලින් සදහන් කල ඔබගේ අත්දැකීම් ගබඩාවට තවත් බොහොමයක් සිත් ඇදගන්නා මතක එකතු කර ගැනීමේ හැකියාව ඇත. මාගේ පුද්ගලික උපදෙස නම් පොදුවේ අප හැම දෙනාම නතර වන ආකර්ශණීය ස්ථානයන් ගේ නවතිනවාටත් වඩා ඔබ උත්සාහ කල හොත් ඔබට ආසන්නතම වට පිටාවෙන්ම අඩු පිරිවැයක් යොදා අත්විදීමට හැකි සුන්දර ස්ථාන සොයා සපයා ගත හැකි වනු ඇත. (උදාහරණ වශයෙන් පෞරාණික වෙහෙර විහාර, ආරණ්‍ය සේනාසන, කදු පන්ති, ගංගා දිය ඇළි ආදී වශයෙන්)

05. භාවනාව ප්‍රගුණ කරන්න. එය ඔබගේ ජීවිතයේ පැහැදිලි වෙනසක් ඇති කරනවා නොඅනුමානය.

ආනාපානසති භාවනාව හෝ මෛත්‍රී භාවනාව ඔබ නින්දට යාමට පෙර හෝ ඔබගේ දෛනික කාල සටහනේ පහසු වේලාවක ක්‍රමානුකූලව ටිකෙන් ටික පුහුණු කිරීම ආරම්භ කරන්න. මුල් අදියර වලදී එය ඔබට අපහසු කටයුත්තක් විය හැකි නමුත් ක්‍රමානුකූලව එම කටයුත්ත වර්ධනය කර ගැනීම හරහා භාවනාව ඔබගේ ජීවිතයේ කොටසක් වනු ඇති. නිවැරදි සිහිය පිහිටුවා ගැනීමට ආවේගයන් පාලනය කර ගැනීමට මෙන්ම අනෙකා කෙරෙහි දයාව කරුණාව වැපිරීමට භාවනාව තුලින් ලබා ගත හැකි දායකත්වය ඔබ විසින් ප්‍රගුණ කොට අත්දැකිය යුතුමය.

06. පෝෂ්‍යදායී ආහාර ලබා ගැනීමට කටයුතු කරන්න.

පෝෂණ ගුණයෙන් ඉහල සෞඛ්‍යාරක්‍ෂිත ආහාර වර්ග ඔබගේ එදිනෙදා ආහාර වේලට එකතු කර ගැනීම ලෙඩ රෝග අවම කර ගැනීමටත් ශරීරයට නිසි පෝෂණයක් ලබා දීමටත් මග පාදනු ලබයි. පලා වර්ග, ධාන්‍ය වර්ග වැඩි වශයෙන් ආහාරයට ගැනීමත් ක්‍ෂ්ණික ආහාර භාවිතය හැකිතාක් අවම කිරීමත් වඩාත් යෝග්‍යය.

07. ජීවිතයේ ඉලක්කයන් සපුරා ගැනීම වෙනුවෙන් කටයුතු කරන්න.

මිනිසුන් වශයෙන් ගත් කල අප සෑම දෙනා තුලම ජීවිතයේ යම් යම් ඉලක්කයන් ඇත. එම ඉලක්ක පසුපස හඹා යාමත් ඒවා සාර්ථකව ලගා කර ගැනීමත් ජීවිතයේ අප ලබන ජයග්‍රහණයන් වශයෙන් හැදින්වීමට පිලිවන. එබැවින් ඒ වෙනුවෙන් කටයුතු කරන්න. අන්‍යයන් ගේ ඉලක්ක ඉටු කර ගැනීම වෙනුවෙන් ද ඔබට හැකි දායකත්වය ලබා දීමට කටයුතු කරන්න.

08. දිනපතා ව්‍යායාම වල යෙදෙන්න.

ශාරීරික යෝග්‍යතාවය ප්‍රශස්ත මට්ටමින් පවත්වා ගැනීම සදහා ව්‍යායාම යනු අත්‍යවශයම වූ සාධකයකි. පුද්ගලිකව මා හට ද යම් යම් කාර්‍යබහුලත්වයන් හේතුවෙන් මේ සදහා කාලය වෙන් කිරීමේ ගැටලු ඇතිවූ අවස්ථා, කාය වර්ධන මධ්‍යස්ථාන වල නියමිත කාල සටහන් සදහා අඛණ්ඩව සම්බන්ධ වීමට නොවීම වැනි ගැටලු රාශියකට මුහුණ පෑමට සිදුවී ඇත. නමුත් මැදි වයස ඉක්මවා යත්ම අපට පොදුවේ වැළදෙන ලෙඩ රෝග බොහොමයක් අවම කර ගැනීමට නිතිපතා ව්‍යායාම සිදු කිරීම මගින් හැකියාව ලැබෙනු ඇති. එබැවින් නිවසේ සිට හෝ ව්‍යායාම වෙනුවෙන් නිශ්චිත කාල සීමාවක් වෙන් කර ගත හැකි නම් සැබවින්ම එය ඔබ වෙනුවෙන් කරගනු ලබන අනාගත ආයෝජනයකි.

09. සිනහ පිරි මුවින් කල් ගෙවීම

සිනහව ඔබ තුල තිබෙනා සියලුම පන්නයේ ආතතීන් ඔබගෙන් පලවා හරිනු ඇති. එය ඔබටත් අන් අයටත් සුභවාදී ලෙස තම හැඟීම් ප්‍රකාශනය කල හැකි බලගතු මාධ්‍යයකි. හාස්‍ය අගය කිරීමත් අනෙකාව විනෝදයට පත් කිරීමත් තුලින් ඔබට සිනහව නම් වූ වත් පොහොසත්කම උරුම කොට ගත හැකිය.

10. ප්‍රමාණවත් විවේකය

අවසාන වශයෙනුත් වඩා වැදගත්ම සාධකය වශයෙනුත් ප්‍රමාණවත් විවේකයක් ඔබගේ ශරීරයට ලබා දීම හැදින්විය හැකිය. ඉන් ද්‍රියන්ගේ නිසි ක්‍රියාකාරීත්වයටත් මොළයේ කාර්‍යක්‍ෂමතාවය වැඩි කිරීමටත් මෙන්ම අපගේ මනෝභාවය වැඩිදියුණු කිරීමටත් ප්‍රමාණවත් විවේකය, විශේෂයෙන්ම නින්ද අත්‍යවශය සාධකයකි. එය අපගේ එදිනෙදා කාර්‍යයන් කෙරෙහි අවධානය යොමු කිරීමට සහ ඒවා පහසු කිරීමට මග පාදනු ලබයි.

Sameera Roshan

Tags