සොයන්න
උණුසුම් පුවත්

විදෙස් පුවත්

ඊශ්‍රායල ප්‍රහාරයෙන් IRGC අණදෙන නිලධාරියෙක් මරුට

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ලකළ ගුවන් ප්‍රහාර මාලාවෙන් ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ (IRGC) අණදෙන නිලධාරී ජෙනරාල් හුසේන් සලාමී මියගොස් තිබෙනවා.

ඉරානයේ මාධ්‍ය විසින් මේ බව තහවුරු කර ඇති බව සඳහන්.

ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඇතුළු ස්ථාන කිහිපයක් වෙත ඊශ්‍රායලය මෙම ගුවන් ප්‍රහාර මාලාව එල්ල කර තිබෙනවා.

මෙහිදී ඊශ්‍රාලයේ ප්‍රධානම ඉලක්කය වී ඇත්තේ ඉරානයේ බලගතුම හමුදා ඒකකය ලෙස සැලකෙන ඉරාන ඉස්ලාමීය විප්ලවාදී හමුදාවේ මුලස්ථානයයි.

තවද ඉරාන හමුදාපති මොහොමඩ් බගේරී ඇතුළු හමුදා ප්‍රධානීන් මෙන්ම ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ විද්‍යාඥයින් රැසක් ද මෙම ප්‍රහාරවල ඉල්ලකයන් වී ඇති බව වාර්තා වනවා.

මේ අනුව ඉලක්ක රැසකට ප්‍රහාර එල්ල කළ බවද ඊශ්‍රායලය පවසනවා.

මියගිය පිරිස අතර IRGC අණදෙන නිලධාරීන්ට අමතරව ඉහළ පෙළේ හමුදා නායකයින් සහ න්‍යෂ්ටික විද්‍යාඥයින් සිටින බව ඉරාන රාජ්‍ය මාධ්‍ය විසින් ද තහවුරු කර ඇති බව සඳහන්.

ඊශ්‍රායලය මෙම ප්‍රහාර නම් කර ඇත්තේ ‘සතුරා අඩපණ කිරීමේ ප්‍රහාර’ ලෙසයි.

IAF ජෙට් යානා යොදා ගනිමින් ඊශ්‍රායලය මෙම ප්‍රහාර සිදුකර තිබෙනවා.

ප්‍රහාර පිළිබඳව අදහස් පළ කරමින් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කර ඇත්තේ අවශ්‍ය ඕනෑම කාලයක් දක්වා ඉරානය වෙත ප්‍රහාර එල්ල කිරීම තම සැලසුම බවයි.

මෙය පළමු ප්‍රහාරය පමණක් බවද ඔහු අවධාරණය කරනවා.

ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සඳහන් කරන්නේ ඉරානය න්‍යෂ්ටික අවියක් අත්පත් කර ගැනීම වැළැක්වීම සහ එමඟින් සිය ජනතාව ආරක්ෂා කර ගැනීම මෙම ප්‍රහාරය සිදු කළ බවයි.

කෙසේ වෙතත් ඉරානය සිය ගුවන් සීමාව දැනටමත් වසා දමා තිබෙනවා.

මේ අතර ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ (IRGC) නව අණදෙන නිලධාරීයා ලෙස අහමඩ් වහිඩි පත්කර ඇති බව වාර්තා වනවා.

Tags