සොයන්න
උණුසුම් පුවත්

උණුසුම් පුවත්

දේශබන්දු තෙන්නකෝන් සංවිධානාත්මක අපරාධකරුවන්ටත් වඩා භයානක තැනැත්තෙක් – අතිරේක සොලිසිටර් ජනරාල්

අද පැවති නඩු විභාගයේදී දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශානක රණසිංහ අධිකරණය හමුවේ කරුණු දක්වමින් W15 හෝටලයේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කිරීමෙන් පසුව තම සේවාදායකයා අභියාචනාධිකරණය ඉදිරියේ නඩුකරයක් ගොනුකරමින් සහනයක් අපේක්ෂා කළ බවත් එය ප්රතික්ෂේප වූ වහාම අද පෙරවරුවේ අධිකරණයට පැමිණ භාර වූ බවත් සඳහන් කළා.
 
සැකකරු පොලිස්පතිවරයා වශයෙන් “යුක්තිය” යනුවෙන් විශාල මෙහෙයුමක් කළ බවත් එහිදී අපරාධ ක්රියාවලට සම්බන්ධ විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන මේ වන විටත් බන්ධනාගාරගත කර තිබෙන අතර සැකකරු බන්ධනාගාර ගත කළහොත් ඔහුගේ ආරක්ෂාව තහවුරු විය යුතු බවත් තම සේවාදායකයා ඕනෑම කොන්දේසියක් මත ඇපමත මුදා හරින ලෙසටත් එහිදී ඉල්ලා සිටියා.
 
එම ඇප ඉල්ලීමට දැඩිව විරෝධය පල කරමින් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ මෙලෙස කරුණු දක්වා තිබෙනවා.
 
“ස්වාමීනී, අද පෙරවරුවේ මට ආරංචියක් ලැබුණා අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තු නිකුත් කර තිබෙන මේ සැකකරු ටයිකෝට් වලින් සැරසි බෙන්ස් රථයකින් ඇවිත් මාතර උසාවිය තුළ වාඩිවෙලා ඉන්නවා කියලා. ඒක සැලවීමෙන් පසුවයි මා මේ අධිකරණයේ පෙනී සිටින්න තීරණය කළේ. මේ මෝසම ගැන අපට දැනුම්දීමක් නොකර හොර පූසා වගේ උසාවියට ඇවිත් පාලු ගෙයි වලන් බිඳලා ඇප අරගෙන යන්න මේ සැකකරු හිතාගෙන ඉන්න ඇති. මම උසාවියට එන අවස්ථාවෙත් මේ සැකකරු ටයිකෝට් වලින් සැරසිලා ඉදිරිපෙළේ බංකුවක වාඩිවී සිටියා. ස්වාමීනී මම අහන්න කැමතියි. මොහු බංකුවක වාඩිවෙලා ඉන්නේ කොහොමද? ඔහු සිටිය යුත්තේ කූඩුවේ. මොහු අපරාධකාරයෙක්. අපරාධකරුවෙකු උසාවියට එන්න ඕනේ බිම දිගේ බඩගාගෙන. මෙහෙම සිංහ ලීලාවෙන් ඇවිත් ඉන්න බෑ. මොහු ෆෝන් ඕෆ් කරගෙන යටිකූට්ටු ගේම් ගහමින් දින විස්සක් පමණ අධිකරණය මගහැර හැංගිලා සිටියා. සංවිධානාත්මක අපරාධකරුවන් හැටියට සැලකෙන මාකඳුරේ මදුෂ්, හරක් කටා වැනි අපරාධකරුවන්ටත් නොදෙවෙනි පුද්ගලයෙක් තමයි මොහු. ඒ වගේම මොහු හොඳ රංගන ශිල්පියෙක්. ඔහු උසාවියට ආවේ නහය ළඟටම වතුර ගලාගෙන ආවට පස්සේ. මේ සැකකරු අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමේ පළමු වන වගඋත්තරකරු ලෙස නම් කර තිබුණේ ඔබතුමාවයි. ඔබතුමා අධිකරණ ශාලාවේ දොර අගුළු වහගෙන කුමන්ත්රණය කරනවා කියලත් ඒ පෙත්සමේ චෝදනා කර තිබුණා.”
 
“ස්වාමීනි..මේ සැකකරු අත්අඩංගුවට ගන්නා ලෙස ඔබතුමා නියෝගයක් නිකුත් කිරීමෙන් පසුව ප්රභාකරන් හොයනවා වගේ විශාල පොලිස් කණ්ඩායමක් මොහු සොයා මෙහෙයුම් ආරම්භ කළා. මොහුට තිබෙන සමාජ බලයත් ආගමික බලයත් පාවිච්චි කරගෙන ඊයේ දවස වනතුරු මොහු හැංගිලා හිටියා. මේ සැකකරු පදිංචිව සිටින ලිපිනය ලෙස දාලා තිබිච්ච ලිපිනයේ ඉන්නේ හාමුදුරු නමක්. පසුගිය දින කීපයේදීම මෙයා ගැන පොලිසිය නිලමේවරු, දේශපාලකයින් ඇතුළු විවිධ පුද්ගලයින්ගෙන් ප්රශ්න කළා. මොහු ඩීල් දාලා තියෙන්නේ ඒ වගේ පුද්ගලයොත් එක්කයි. මේ සැකකරුගේ නිවස පරීක්ෂා කළ අවස්ථාවේ එහි තිබී මත්පැන් බෝතල් 795 ක් සොයාගෙන තිබෙනවා. කෝටියකට වඩා වටිනා මත්පැන් බෝතල් සොයාගත්තා. හැම්පර් විතරක් එකසිය ගානක් තිබ්බා. රජයේ සේවකයින්ට තුටු පඬුරු ලබාගන්න බැහැ. එසේ නම් ඔහු ඒවා ලබා ගත්තේ කොහොමද? මොහුගේ නිවස ගෙයක් නෙවෙයි ඒක ඉස්කාගාරයක්. කිසිම දේපළක් මොහුගේ නමට ලියාපදිංචි වෙලා නැහැ. එහෙත් ඔහුට ගෙවල් අටක් පමණ තිබෙන බව අපි හොයාගෙන තිබෙනවා. ඒ නිසයි මම කිව්වේ මේ පුද්ගලයා සංවිධානාත්මක අපරාධකරුවන්ට වඩා භයානක තැනැත්තෙක් කියලා.”
 
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්රාත්වරයා දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් වන නියෝගය හෙට දින ප්රකාශයට පත් කරන බවට නියෝග කර තිබෙනවා.
Tags