සොයන්න
උණුසුම් පුවත්

විදෙස් පුවත්

ලොවක් අවධානයෙන් බලා සිටි හමුව විසඳුමකින් තොරව අවසන් වෙයි

රුසියාව සහ යුක්‍රේනය අතර සටන් විරාමයක් ඇති කරගැනීම අරමුණු කර ගනිමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අතර පැවැත්වූ තීරණාත්මක සාකච්ඡාව ස්ථිර එකඟතාවයකින් තොරව අවසන්ව තිබෙනවා.

ඇලස්කාවේ වඩාත්ම ජනාකීර්ණ නගරය වන ඇන්කරේජ් හි එල්මෙක්ඩෝෆ්-රිචඩ්සන් හමුදා කඳවුරේ දී පැවැති මෙම සාකච්ඡාව ශ්‍රී ලංකා වේලාවෙන් අද (16) අළුයම අවසන් වුණා.

ඔවුන් දෙදෙනා පැය 3කට ආසන්න කාලයක් මෙහිදී සාකච්ඡා කරනු ලැබුවා.

කෙසේ වෙතත් සාකච්ඡාවෙන් අනතුරුව ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිකුත් නොකළ අතර කිසිඳු ගිවිසුමක් හෝ සටන් විරාමයක් ප්‍රකාශ නොකිරීම විශේෂත්වයක්.

දෙදෙනාගේ සාකච්ඡාවෙන් පසු ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වෙන බව ධවල මන්දිරය මීට පෙර පවසා තිබුණ ද දෙදෙනාම කිසිඳු පැනයකට පිළිතුරු නොදී පිටව ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ මෙහිදී ” ගිවිසුමක් ඇති වන තුරු ගිවිසුමක් නැහැ” යනුවෙන් ට්‍රම්ප් පැවසූ බවයි.

යුක්‍රේනයට එරෙහිව යුද්ධය අවසන් කිරීමට තමා “අවංකම උනන්දු” බව පුටින් පවසා තිබෙනවා.

කෙසේ වෙතත් ජනාධිපතිවරු දෙදෙනාම මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්නවලට පිළිතුරු ලබා නොදීම ද විශේෂත්වයක්.

මේ අතර මෙම සාකච්ඡාවට සහභාගී වීමට යුක්‍රේන ජනාධිපති වොලොදමීර් සෙලෙන්ස්කි හට ආරාධනා ලැබී තිබුණේ නැහැ.

ඒ හේතුවෙන් සාකච්ඡාවට පෙර සිටම යුක්‍රේන ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ තමන්ගේ සහභාගීත්වයෙන් තොරව පැවැත්වෙන මෙම සාකච්ඡාවේ ගන්නා තීරණ ඵලරහිත බවයි.

ඊට ප්‍රතිචාර දක්වමින් යුක්‍රේනයට සහාය දක්වන යුරෝපීය රටවල් සඳහන් කර තිබුණේ යුක්‍රේනය එකඟ නොවන කිසිඳු කොන්දේසියකට තමා එකඟ නොවන බවයි.

2022 වසරේ පෙබරවාරි මසදී යුක්‍රේන යුද්ධය ආරම්භ වීමෙන් පසුව රුසියානු ජනාධිපතිවරයා බටහිර රටක සංචාරය කරන පළමු අවස්ථාව මෙය වනවා.

තවද අමෙරිකානු සහ රුසියානු ජනාධිපතිවරුන් වසර 6කට පසු මුහුණට මුහුණ හමු වූ පළමු අවස්ථාව මෙය වනවා.

Tags