සොයන්න
උණුසුම් පුවත්

විශේෂාංග

සබුද්ධිකව ඡන්දය පාවිච්චි කරන්නේ කොහොමද​?

සැප්තැම්බර් 21 වෙනදා වෙනකොට අපේ රටේ 09වන විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීම පැවැත්වෙනවා කියන එක මේ වෙනකොට ඔයාල හැමෝම දන්න කාරණයක්. අතීතය ගැනත් වර්තමානයේ අපි ගෙවමින් ඉන්න අපහසුතා ගැනත් කතා කරන එක පොඩ්ඩක් පසෙකින් තියලා, අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ රටේ දිශානතිය වෙනස් කරන්න පුළුවන් පරිචයක් තිබෙන නායකයෙක් තෝරා ගන්න කොහොමද ඔබගේ වටිනා චන්දය භාවිතා කරන්න ඕනෙ කියන එක​. විශේෂම දේ අපි මේ අදහස් පළ කරන්නේ කිසිඳු පක්‍ෂයක් ඉලක්ක කර ගෙනවත් වෙනත් කිසිඳු පක්‍ෂයක් ප්‍රමෝට් කරන්න බලාගෙනවත් නෙවෙයි. සංඛ්‍යා දත්ත​, වාර්තා යනාදිය විශ්ලේෂණය කරලා ඒ නිරීක්‍ෂණ වලින් ආව නිගමන ඔයාල අතරේ බෙදාගෙන ඔයාලවත් දැනුමින් සන්නන්ධ කරන එකයි අපේ බලාපොරොත්තුව​. එහෙනම් අපි යමු අද කතාබහට​..

මුලින්ම අපි පොඩ්ඩක් ලිහාගත්තනම් හොඳයි කියලා මට හිතුණා දේශපාලන වේදිකාවල ගිගුම් දෙන මේ “නිදහස්” කියන කොටස ගැන​. නිදහස් අධ්‍යාපනය​, නිදහස් සෞඛ්‍යය ඔය ආදී වශයෙන් අපි රාජ්‍යයෙන් භුක්ති විඳින නිදහස් සේවාවන් ටිකක් තිබෙනවානේ. හැබැයි ඒ වෙනුවෙන් මේ රටේ පුරවැසියන් බදු විදිහට යම් පිරිවැයක් දරලා තියෙනවා අර කියන නිදහස් සේවය ඔබට මට ලබාදෙන්න වගේම ඔවුන්ට භුක්ති විඳින්නත්. සැකෙවින්ම කිව්වොත් කිසිම ආණ්ඩුවක් නැත්නම් රාජ්‍ය නායකයෙක් නිකන් කිසි දෙයක් මේ රටට දීලා නැහැ. මුලින් සඳහන් කලා වගේම​ මේ රටේ බදු ගෙවන සමස්ත පුරවැසියන් තමයි ඒ සඳහා පිරිවැය දරලා තිබෙන්නේ. සංඛ්‍යා දත්ත වලට අනුව 2023 අවුරුද්දේ පමණක් නිදහස් අධ්‍යාපනය පවත්වාගෙන යාම වෙනුවෙන් ඔබේ පවුල දරලා තිබෙන වියදම ගත්තොත් දළ වශයෙන් රුපියල් 46,000ක්. නිදහස් සෞඛ්‍ය පවත්වාගෙන යන්න ඔබේ පවුල දරලා තිබෙන වියදම රුපියල් 80,000ක්. එපමණක් නෙවෙයි, මේ රටේ ජාතික ආරක්‍ෂාව තහවුරු කරන්න ගිය අවුරුද්දේ ඔබ ඇතුළු පවුල ගෙවලා තිබෙන මුදල රුපියල් 83,000ක්. රටේ ප්‍රවාහන කටයුතු පවත්වාගෙන යාම වෙනුවෙන් ගෙවලා තියෙන මුදල රුපියල් 81,000ක්. ඒ ඔබ එදිනෙදා ගන්න ප්‍රවේශ පත්‍ර ගාස්තු ඇරුණහම බදු වශයෙන් ගෙවලා තිබෙන මුදල​. පරිපාලන​, ස්වදේශ කටයුතු, පලාත් හා ප්‍රාදේශීය පාලන කටයුතු වෙනුවෙන් එක පවුල් ඒකකයක් එම අවුරුද්දේදී රුපියල් 103,000 ගෙවලා තිබෙනවා.

දැන් මේ එක එකක් වෙන වෙනම අරගෙන බැලුවොත් අපේ රටේ පුරවැසියන්ට ඒ කියන ගුණාත්මක සේවය අපිම පත් කරගත්තු ආණ්ඩු වලින් ලැබිලා තියෙනවද කියලා පොඩ්ඩක් ප්‍රශ්ණ කරලා බලන්න​. ගුරුවරු, යටිතල පහසුකම් නැති පාසල් කොපමණ තියෙනව ද​? සෞඛ්‍ය ක්‍ෂෙත්‍රයේ බාල බෙහෙත් නිසා අපේ පුරවැසියෝ ජීවිත වලින් වන්දි ගෙවපු අවස්ථා පසුගිය කාලයේ කොපමණ වාර්තා වුණා ද​? කී දෙනෙකුගේ දෑස් අන්ධ වුණා ද​? රටේ මහජන ආරක්‍ෂාව සාක්‍ෂාත් කරන්න අසමත් වුණු පාස්කු බෝම්බ ප්‍රහාරය​, පාතාල ඝාතන​, මත්ද්‍රව්‍ය ජාවාරම් කොපමණ නම් උඩු දුවලද​? එනයින්ම අපිට පුළුවන්කම තියෙන්න ඕන අපි බදු විදිහට රාජ්‍යය පවත්වාගෙන යන්න දරල තියෙන මුදලට හරියන ගුණාත්මක සේවාවක් ලැබෙන්නේ නැති උණහම ඒ සමස්ථ රාජ්‍ය යාන්ත්‍රණයම ප්‍රශ්ණ කරන්න විතරක් නෙවෙයි ඔබට වගකීමක් තිබෙනවා එකී බදු මුදල් නිසි කළමණාකාරීත්වයෙන් සහ ඉහළ සේවාවක් රට වැසියන්ට ලබාදීම වෙනුවෙන් කැපවෙන නායකත්වයක් සහ දේශපාලන සාමූහිකයක් තෝරා පත්කරගන්න​. ඒ ඇරුණහම ඔය නම් ගහගෙන අරයා කරා මෙයා කරා අපේ අසවල් පුද්ගලයා කරපුවා තමයි මේ කියන වගේ පුහු දේශපාලන කතානම් විශ්වාස කරන්න එපා. ජනතාවක් රජයක් පත් කරගන්නෙම රට දියුණු කරන්න​, ගොඩනගන්න​. ඒ සඳහා පිරිවැය දරන්නෙත් මේ රටේ මහජනතාව​.

ලංකාවේ ලොකුම සම්පත අපේ රටේ මිනිස්සු

වේදිකා වල ජනතාව මුලා කරන අනෙක් විශාලම කතාව තමයි අපේ රට සශ්‍රීකයි ස්වයංපෝශිතයි, නෙක සම්පත් වලින් බොහොමයි ලෝකෙට වුණත් ණය දෙන්න පුළුවන් වැනි දේවල්. නමුත් යථාර්තය වෙන්නේ නම් අපිට තියෙන්නේ බොහොම සීමිත සම්පත් ප්‍රමාණයක්. සාගරය​, මේ රටේ භූ විෂමතාව සහ සංස්කෘතිය​, අවම වශයෙන් තිබෙන මැණික් සහ පොස්පේට් නිධි උපයෝගීතාවය මත යම් මට්ටමක දැවැන්ත ආර්ථිකයන් බවට පරිවර්තනය කළහැකි දේවල්. නමුත් කුමන හෝ බලය ලබා ගැනීමේ අරමුණින් සිටින පාර්ශවයක් මේ රටේ මානව සම්පත හා එහි උපයෝගීතාවය රටේ ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් යොදාගන්න බලාපොරොත්තු වෙනවනම් එය තමයි කෙටිකාලීනව රටේ දැවැන්ත පරිවර්තනයක් අත්පත් කරගන්න පුළුවන් සාධනීයම විසඳුම වෙන්නේ​. අධ්‍යාපනයෙන් ගෝලීය වෙළඳපලට සරිලන පුද්ගලයෙක් නිර්මාණය කිරීමත් ඒ හරහා රටට ආර්ථිකමය වශයෙන් ප්‍රතිලාභ ලබා ගැනීමේ ඉලක්ක සපුරා ගැනීමට දක්‍ෂ වන නායකත්වයක් තෝරා ගැනීමත් පුරවැසි ඔබගේ වගකීමක් වනු ඇති.

නායකත්වය තුල තිබිය යුතු හර පද්ධතීන්

රටක නායකයෙක් තෝරා පත් කරගනිද්දී ඔබ විසින් මැනිය යුතුම දෙයක් තමයි එකී පුද්ගලයා තුල තිබෙන නායකත්ව ගුණාංග​, හර පද්ධතීන්, ඔහුගේ හෝ ඇයගේ දේශපාලන භාවිතය සහ ලෝකයේ වෙනස්කම් නව තාක්‍ෂණයන් වගේ දේවල් එක්ක ගැබ් වෙලා කටයුතු කරන්න තිබෙන හැකියාවන් මොනවගේද කියන එක​. පුද්ගලයෙක් අනිවාර්‍යයෙන්ම තමන් විශ්වාස කරන හර පද්ධතීන් වෙනුවෙන් පෙනී සිටිමින් අනෙකාගේ අදහස් ද එකී හර පද්ධතීන් වැඩිදියුණු කරගැන්ම උදෙසා යොදාගනිමින් කටයුතු කල යුතුමයි. ප්‍රායෝගිකවාදී නොවන සහ වචන වලට පමණක් සීමා වන පොරොන්දු දේශපාලන සංස්කෘතියට තිත තැබීම මෙහිලා පුරවැසි අප හැමෝගෙම​ වගකීමක්. තමන් සතු අධිකාරී බලය භාවිතා කරමින් මහා පරිමාණ වංචා සහ දූෂණ සිදු කරනු ලැබූ රාජ්‍ය නායකයින් නැවතත් ඒ කිසිවක් සිදු නොකල පරිද්දෙන් ඔබගේ මනාපය ඉල්ලා මෙවර ජනාධිපතිවරණයේත් අපේක්‍ෂකයන් වශයෙන් ඉදිරිපත්ව සිටිනවා දැකගැනීමට පුළුවන​. මතක තබා ගන්න එවැන්නවුන් තුලින් ආදර්ශමත් දේශපාලන සංස්කෘතික ලක්‍ෂණ අත්විඳීමට ඔබට කිසිලෙසකින් හෝ හැකියාවක් නොලැබෙනු ඇත​.

පිනට බෙදන දේශපාලනය නම් කිසිවෙකුගෙන් බලාපොරොත්තු වන්න එපා

මේක දශක ගණනාවක් තිස්සේ මේ රටේ පිළිලයක් වෙලා තිබෙන දේශපාලකයින් විසින් ඇති කරපු සහ තවමත් කරන්න බලාපොරොත්තු දෙන ඉතාමත් නරක පූර්වාදර්ශයක්. ඒ තමයි මිනිසුන්ට නිකරුණේ සහනාධාර ලේබල් අලවලා මුදල් ලබා දීම​. ඒ විතරක් නෙවෙයි තව තව බොහෝ දේවල් නොමිලයේ ඔවුන්ට බෙදා දීම​. නිකන් දීමත් නිකන් ලබාගැනීමට බලාපොරොත්තුවෙනුත් සිටින රටකට නම් එක දශමයක්වත් ඉදිරියට යන්න අමාරුයි. මොකද ඒ රටේ බහුතරයක් මෙම කැත පුරුද්ද නිසා සමස්ත ආර්ථික ක්‍රියාවලියට දායක වෙන්නේ නැහැ. එපමණක් නෙවෙයි, මේ දේශපාලකයන් නිකන් දෙන නිසාම ඔවුන්ගේ ජීවිත වල මහන්සි වෙලා වැඩ කරලා තම ඉලක්ක ජයගන්න තියෙන අරමුණු ක්‍ෂය වෙලා කියන්නත් පුළුවන්. ආබාධිත වගේම රෝග වලින් පෙළෙන්නන්, වැඩිහිටි ප්‍රජාව සඳහා සමාජ ආරක්‍ෂණ දැලක් එනයින් අවශ්‍ය නැහැ කියලා නෙවෙයි මේ කියන්නේ. ඒත් පොදුවේ ආර්ථික ක්‍රියාවලියට මොනම හරි අයුරකින් දායක කරගන්න පුළුවන් පිරිසක් රජයෙන් සහනාධාර සහ මුදල් දිදී නඩත්තු කිරීම කිසිලෙසකින්වත් ඵලදායී නැහැ. ඒ නිසා එවන් අදූරදර්ශී නායකයෙක් රටේ බලයට පත් වුණොත් ණය උගුලින් තව තවත් මිරිකෙනවා විණා වෙන විසඳුමක් මේ රටට​ ඉතිරි වන එකක් නැහැ.

කලාපීය වැදගත්කම තේරුම්ගත්ත නායකයෙක්

අපි ජීවත්වෙන්නේ දකුණු ආසියාතික කලාපයේ රටක බව ඔබ මේ වන විටත් දන්නවා. ලෝකයේ එක්තරා සුවිශේෂීම කලාපයක් වශයෙන් මෙය හැඳින්වීමෙහිත් වරදක් නැහැ. මොකද​, මෙහි ජනගහනය වශයෙන් බිලියන 1.7ක් ජීවත්වෙනවා. ඒ වගේම වෙළඳ නෞකා මෙකී කලාපයේ ප්‍රධාන වශයෙන් ගමන් කිරීම සිදුවන්නේත් ශ්‍රී ලංකාව හරහා. ඉදින් මෙකී නාවික ගමනාගමන කටයුතු වෙනුවෙන් හොඳ සේවා සපයන්නෙක් විදිහට ශ්‍රී ලංකාව ඔසවලා තබන්න විරතක් නොවෙයි විශේෂඥයන් පවසන විදිහට මේ කලාපයේ ඩොලර් වලින් ගණුදෙනු කිරීමේ විභවය ගත්තොත් ඩොලර් බිලියන 100ක්. නමුත් වර්තමානයේදී ශ්‍රී ලංකාව තුළ​ එකී ගණුදෙනු සිදුවන්නේ ඩොලර් බිලියන 20ක වගේ සීමාවක​. ඉන්දියාව කලාපීය බලවතා වශයෙන් පත්ව සිටිනා මොහොතක ඔවුන් සමග ඇති කරගන්නා නාමික නොවන සැබවින්ම ශ්‍රී ලංකාවට වාසිදායක වෙළඳ ගිවිසුම් මගින් අපට ආර්ථිකයේ නව පිම්මක් පහසුවෙන්ම පැනගන්නටත් හැකියාව ලැබෙනවාටත් සැක නැහැ. එපමණක් නොව දේශපාලනික වශයෙන් කලාපීයව පවතින අර්බුධ ගණනාවක් සාකච්ඡා කිරීමෙහි මැදිහත්කරුවෙකු වශයෙන් ද ශ්‍රී ලංකාවට නිවැරදි නායකත්වයක් තුලින් එයටම ආවේණික වූ අනන්‍යතාවයක් ගොඩනගා ගන්නත් පුළුවන්

සාකච්ඡා කිරීමට කරුණු කොතෙකුත් ඇතත් ඒවා සියල්ල ලිපියක් මගින් පල කිරීම ප්‍රායෝගික නොවන නිසා සහ සම්පිණ්ඩනාත්මක කරුණු ගෙන ඒමේ වැදගත්කම හේතුවෙන් තමයි මේ විදිහට පල කරන්න හිතුවේ. ඉදින් මීළග වසර 05 සඳහා රටට ගැලපෙන නායකත්වයක් තෝරගන්න ඔබ වගකීමෙන් කටයුතු කරනු ඇතැයි කියලා අපි හිතනවා. ඒ පුද්ගලයා කවුරුන් ද යන්න කියන කතා මත පදනම් නොවී දත්ත සහ නිර්ණායක ප්‍රායෝගික බව කියන මිණුම් දඩු තුලට දාලා බලන්නත් අමතක කරන්න එපා. නැවත හමුවෙමු!

ඔබට සුභ දවසක්!

Tags