දේශීය පුවත්
රබර් ඉඩම් GIS තාක්ෂණය මගින් සිතියම්ගත කිරීමට ජාතික වැඩසටහනක්
රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව එක්ව නව්‍ය භූගෝලීය තොරතුරු පද්ධති (GIS) තාක්ෂණය යොදා ගනිමින් රබර් ඉඩම් සිතියම්ගත කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ.
මෙම වැඩසටහනේ අරමුණ වූයේ, යුරෝපා සංගමය විසින් හඳුන්වා දී ඇති නව රෙගුලාසි අනුව රබර් සැපයුම් දාමයන් වනාන්තර විනාශයට දායක නොවන බව සහතික කිරීමයි. එමෙන්ම සියලු කුඩා රබර් ඉඩම් නිවැරදිව සිතියම්ගත කිරීම සඳහා 2025 වසර තුළ භූ ඛණ්ඩාංක ලබා ගැනීමට බලාපොරොත්තු වන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය සඳහන් කළේය.
සිතියම්ගත කිරීමෙන් පසුව, රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව QR කේතයක් නිකුත් කරන අතර, රබර් නිෂ්පාදන විකිණීමේදී එම QR කේතයේ ඇතුළත් තොරතුරු වෙළඳුන් වෙත ලබාදීම අනිවාර්ය වේ.
ක්ෂේත්‍ර පරීක්ෂණ සඳහා නිලධාරීන් පැමිණෙන අවස්ථාවේ වතු හිමියන්ගේ සහභාගීත්වය අපේක්ෂා කර ඇති අතර, රබර් සිටුවීමේ බලපත්‍ර, ඉඩම් ඔප්පු හෝ නෛතික ලියකියවිලි සහ ඉඩම් සැලැස්ම ඉදිරිපත් කිරීම සඳහා ඔවුන්ගෙන් ඉල්ලිම් කරන බවද වැඩසටහන සදහන් කරයි.
