දේශීය පුවත්
නියෝජ්‍ය ඇමති අරුණට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංග යෝජනාවක්
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහිව සමඟි ජන බලවේගය ප්රමුඛ විපක්ෂය ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාවට දැනට අත්සන් 50කට වැඩි ප්‍රමාණයක් ලැබී ඇති බව සමඟි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසනවා.
ඊට අදාළව අත්සන් ලබා ගැනීමේ කටයුතු ඊයේ (06) ආරම්භ කෙරුණා.
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය ධූරයේ කටයුතු කිරීම හේතුවෙන් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව සිදුකරන විමර්ශනවලට බාධාවක් බව පවසමින් ඔවුන් මෙම විශ්වාසභංග යෝජනාව ගෙන එනු ලබනවා.
විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) පාර්ලිමේන්තු සංකීර්ණයේ දී මේ සම්බන්ධව සාකච්ඡාවක් පැවැත්වූ අතර එහිදී සියලු දෙනාගේ ඒකමතික තීරණයෙන් යුතුව මෙම විශ්වාසභංග යෝජනාව ගෙන ඒමට තීරණය කළා.
ඊට සමඟි ජන බලවේගය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ, සර්ව ජන බලය, ඉලංගෙයි තමිල් අරසු පක්ෂය ඇතුළු විපක්ෂයේ සියලු පක්ෂවල නායකයින් සහ නියෝජිතයින් සහභාගි වී තිබෙනවා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා කියා සිටියේ ලබන සඳුදා මෙම විශ්වාසභංග යෝජනාව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න වෙත භාරදීමට නියමිත බවයි.
