සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

නැවත වරක් බහාලුම් රථ තදබදයක්?

කොළඹ වරාය තුළ නැවත වරක් බහාලුම් රථ තදබදයක් ඇතිවෙමින් පවතින බව බහාලුම් රථ හිමියන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල මහතා පවසනවා.

අද (25) විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ඒ මහතා මේ බව සඳහන් කළා.

අදාළ නිලධාරීන් කැබිනට් අනුකාරක සභාවේ නිර්දේශ පිළිනොපැදීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවද ඔහු මෙහිදී කියා සිටියා.

එම සංගමයේ සභාපතිවරයා පවසන්නේ ශ්‍රී ලංකා වරායට අයත් භූමියේම කොටසක් රේගුවට ලබාදෙමින් තදබදය අවම කිරීම සඳහා පසුගිය දා සියලු පහසුකම් සහිත භූමියක් වෙන්කර දී තිබුණ ද අද වන විට එම භූමියට එකඳු රථයක් ඇතුළත් කර නොමැති බවයි.

මේ හේතුවෙන් කන්ට්නර් රථ රියදුරන් සහ හිමිකරුවන් ඇතුළු බොහෝ පිරිසක් දැඩි අපහසුතාවයට පත්ව ඇති බව ඒ මහතා පෙන්වා දෙනවා.

ඔහු කියා සිටින්නේ මෙය ඉදිරියටත් සිදුවුවහොත් නැවත භාණ්ඩ ප්‍රවාහන නෞකා වෙනත් වරායකින් වෙතට ගමන් කිරීමේ අවධානමක් ඇති බවත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ඇතුළු ආහාර ද්‍රව්‍ය බහාලුම් රථවල ඇති බැවින් ඒවා කල් ඉකුත්වීමේ හැකියාවක් බවත්ය.

වැඩිදුරටත් අදහස් දක්වමින් සනත් මංජුල මහතා පැවසුවේ මෙම තත්ත්වයන් සමනය කරගැනීමට නම් අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලෙසටයි.

Tags