දේශීය පුවත්
අපරාධයකින් උත්පාදිත දේ විමර්ශන කොට්ඨාශය අද විවෘත කෙරේ
අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා පිහිටුවා ඇති අපරාධයකින් උත්පාදිත දේ විමර්ශන කොට්ඨාශය අද (20) විවෘත කෙරෙන බව පොලිස් මූලස්ථානය නිවේදනය කළේය. මෙම නව කොට්ඨාශය පැරණි පොලිස් මූලස්ථාන ගොඩනැගිල්ලේ පිහිටා ඇති අතර, මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරුවේ විවෘත කෙරේ.
නව කොට්ඨාශය 2025 අංක 05 දරණ අපරාධයෙන් උත්පාදිත දේ පිළිබඳ පනතේ විධිවිධාන අනුව මුදල්, දේපළ සහ වත්කම් අධීක්ෂණය කිරීම සඳහා පිහිටුවා ඇත. ඒ සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතා අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත් කර තිබේ.
කොට්ඨාශය රාජ්‍ය ආයතන 34ක් සම්බන්ධ විමර්ශනවලට සහය දීමට, සහ ඕනෑම ආකාරයකින් උපයා ගත් වත්කම් පිළිබඳ විමර්ශන සිදු කිරීමට බලය හිමිවේ. මූල්‍ය අපරාධ නොවන වත්කම් සම්බන්ධ සිවිල් නඩු පැවරීමේ හැකියාවද මෙයට අයත් වේ. එමෙන්ම, මහජනතාවට සෘජුව පැමිණිලි ඉදිරිපත් කිරීමට, නීත්‍යානුකූල නොවන ආකාරයෙන් උපයා ගත් දේපළ 30 දිනක කාලයක් සඳහා තහනම් කිරීමට හෝ පවරා ගැනීමටද කොට්ඨාශයට බලය හිමිවන බව පොලිස් මූලස්ථානය පවසයි.
