සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ IMF නියෝජිතයින් අතර සාකච්ඡාවක්

ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයන් අතර සාකච්ඡාවක් අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

මෙම සාකච්ඡාව පැවැත් වූයේ, ශ්‍රී ලංකා ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය යටතේ IMF විසින් ලබා දෙන හයවෙනි වාරිකය ලබාදීමට පෙර සිදුවන පස්වැනි සමාලෝචන අවස්ථාවට අදාළවය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අවස්ථාවේදී පැවසූයේ, බංකොලොත් වූ ශ්‍රී ලංකා ආර්ථිකය නැවත ගොඩනැගීම හා සංවර්ධනය කරගෙන යාම රජයේ ප්‍රමුඛ අරමුණක් බවත්, එම අරමුණ සැබෑ කිරීමට නියමිත උපායමාර්ගික වැඩපිළිවෙලක් රජය සතුව ඇති බවත්ය.

තවද, IMF විසින් ලබා දෙන සහය රටේ ආර්ථික සංස්කරණ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමට ඉතා වැදගත් බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ආර්ථික පුනර්ජීවනයක් ලැබිය හැකි රටක් බවට ශ්‍රී ලංකාව පත් කිරීමට නම්, IMF විසින් නියම කළ ඉලක්ක පමණක් නොව ඒවා අභිබවා යාමටත් රජය කැපවී ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

තවත් අදහස් පළ කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන්නේ, ආර්ථිකය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා දේශීය හා විදේශීය ආයෝජකයින් රටට ආකර්ෂණය කළ යුතු බවත්, ඒ සඳහා ආයෝජනයට හිතකර පරිසරයක් සකස් කිරීම අත්‍යවශ්‍ය බවත්ය.

රජය ගෙන ඇති ආර්ථික ප්‍රතිසංස්කරණ පියවර පිළිබඳව IMF නියෝජිතයින් සතුට පළ කරමින්, ඉදිරියේදී අනුගමනය කළ යුතු වැඩපිළිවෙල පිළිබඳවද දෙපාර්ශ්වය සාකච්ඡා කළහ.

මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මුදල් අමාත්‍යංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ආර්. අපොන්සු, ජනාධිපති උපදේශක දුමින්ද හුලංගමුව, සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන අය සහභාගී වූහ.

IMF පාර්ශ්වයෙන් මෙරට දූත මණ්ඩල ප්‍රධානී එවන් පපාජෝර්ජියු (Evan Papageorgiou), හා නිත්‍ය නියෝජිත මාර්තා වෝල්ඩමයිකල් (Martha Woldemichael) ඇතුළු නියෝජිතයන් පිරිසක්ද සාකච්ඡාවට සහභාගී වූහ.

Tags